එසකියෙල් 29

29
ඊජිප්තුවට එරෙහිව
1දහ වන අවුරුද්දේ දහ වන මාසයේ දොළොස් වන දවසේ ස්වාමින්වහන්සේගේ වචනය මා වෙත පැමිණ කියනුයේ: 2“මනුෂ්‍ය පුත්‍රය, ඊජිප්තුවේ රජු වන පාරාවෝට එරෙහිව ඔබගේ මුහුණ යොමා, ඔහුට එරෙහිවත්, මුළු මහත් ඊජිප්තුවට එරෙහිවත් දිවැසි වැකි පවසමින්, 3ඔහුට මෙසේ කියන්න. ‘පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක:
“ ‘මම නුඹට විරුද්ධ ය, එම්බා පාරාවෝ, ඊජිප්තුවේ රජුනි!
නුඹේ ඇළදොළ අතරේ ලගින මකර යෝධය,
නුඹ කියන්නේ, “නයිල් ගඟ මගේ ය;
එය තනා ගත්තේත් මම ම ය” කියා ය.
4මම නුඹේ හකුවලට කොකු දමා,
නුඹේ ඇළ-දොළවල මත්ස්‍යයන් නුඹේ කොරපොතුවල ඇලෙන්නට සලසන්නෙමි.
නුඹේ කොරපොතුවල ඇලුණු නුඹේ ඇළ-දොළවල සියලු මසුන් සමඟ
මම නුඹේ ඇළදොළවලින් නුඹ ගොඩට අදින්නෙමි.
5කාන්තාරයේ මම නුඹ අතහරින්නෙමි.
නුඹටත්, නුඹේ ඇළ-දොළවල සියලු මසුන්ටත් එසේ කරමි.
නුඹ එළිමහන් බිම පිට වැටී සිටිනු ඇත.
කිසිවකු විසින් හෝ නුඹ ඇහිඳගනු ලබන්නේවත්, වළලනු ලබන්නේවත් නැත.
මම පොළොවේ වන මෘගයන්ටත්, අහසේ පක්ෂීන්ටත්
නුඹ අහර කොට දෙන්නෙමි.
6එවිට ඊජිප්තුවේ වෙසෙන සියල්ලෝ ස්වාමින්වහන්සේ මා වග දැනගන්නෝ ය.
“ ‘මන්ද, ඉශ්‍රායෙල් වංශයට නුඹලා බට දඬු සැරයටියක් වූහ. 7ඔවුන් තම අත්වලින් නුඹ ඇල්ලූ කල, නුඹ පතුරුවලට බිඳී, ඔවුන් සියල්ලන්ගේ උරහිස් ඉරා දමන්නේ ය. ඔවුන් නුඹට හේත්තු වූ කල, නුඹ බිඳී, ඔවුන් සියල්ලන්ගේ පිට සූරා දමන්නේ ය.
8“ ‘එබැවින් පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: මම නුඹට එරෙහිව අසිපතක් ගෙනවුත් නුඹේ මිනිසුන් ද ඔවුන්ගේ සතුන් ද මරා දමන්නෙමි. 9ඊජිප්තුව, පාළු මුඩු බිමක් බවට පත් වන්නේ ය. එවිට ස්වාමින්වහන්සේ මා වග ඔවුන් දැනගන්නවා ඇත.
“ ‘මන්ද, “නයිල් ගඟ මගේ ය. මම ම එය තනා ගත්තෙමි” යි නුඹ කී හෙයිනි. 10එබැවින් මම නුඹට එරෙහිව සිටිමි. නුඹේ ඇළ-දොළවලටත් එරෙහිව සිටිමි. මිග්දෝල් පටන් සෙවේනේ#29:10 සෙවේනේ එනම් අස්වාන් දක්වා, කූෂ් දේශ සීමා දක්වා ඊජිප්තු දේශය ජරාවාසයක් ද පාළු මුඩු බිමක් ද බවට පත් කරන්නෙමි. 11මිනිස් පයක, සත්ව පයක පහස නො ලබන එහි හතළිස් වසරක් කිසිවකුත් වාසය නො කරනු ඇත. 12පාළුවට යවන ලද දේශ අතරෙහි මම ඊජිප්තු දේශය පාළුවට යවන්නෙමි. ඇගේ පුරවර, ජරාවාස වූ පුරවර අතරෙහි හතළිස් වසරක් පාළුවට යැවෙන්නේ ය. මම ඊජිප්තුවරුන් ජාතීන් අතරෙහි විසුරුවා හරිමින් රට රටවලට ඔවුන් පලවා හරිමි.
13“ ‘එසේ වුවත්, පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: හතළිස් අවුරුද්ද අවසානයේදී ඔවුන් විසුරුවන ලද ජාතීන් අතරින් මම ඊජිප්තුවරුන් එක් රැස් කරන්නෙමි. 14මම වහල්කමින් ඔවුන් මුදා ගෙනවුත්, ඔවුන්ගේ ජන්ම දේශය වන පත්‍රෝස්ට#29:14 පත්‍රෝස්ට එනම් ඉහළ ඊජිප්තුවට ඔවුන් ආපසු යවන්නෙමි. එහිදී ඔවුන් දීන රාජ්‍යයක් වනු ඇත. 15එය රාජ්‍යයන්ගේ දීන ම රාජ්‍යය වනු ඇතිවක් මෙන් ම යළි කිසි කලෙක සෙසු ජාතීන් අභිබවා උසස් නො වන්නේ ය. යළි කිසි කලෙක සෙසු ජාතීන් ආණ්ඩු කළ නොහෙන පිණිස, මම ඔවුන් දුර්වල කරන්නෙමි. 16ඊජිප්තුව තවදුරටත් ඉශ්‍රායෙල් ජනයාගේ විශ්වාසයට පාත්‍ර නො වන්නේ ය. උපකාර පතා ඊජිප්තුව වෙත හැරීමේ පාපය ඔවුන්ට සිහිගැන්වීමක් වනු ඇත. එවිට පරමාධිපති ස්වාමින්වහන්සේ මා වග ඔවුන් දැනගන්නවා ඇත.’ ”
බබිලෝනි ආක්‍රමණය
17විසිහත් වන අවුරුද්දේ පළමු මාසයේ පළමු දින ස්වාමින්වහන්සේගේ වචනය මා වෙත පැමිණ කියනුයේ: 18“මනුෂ්‍ය පුත්‍රය, බබිලෝනියේ රජු නෙබුකද්නෙසර්, තීර්ට එරෙහිව දැඩි හමුදා මෙහෙයුමක් දියත් කළේ ය. ඒ හැම කෙනකුගේ ම හිස්වල තට්ටය පෑදී, උරහිස් රළු විණ. එහෙත්, තීර්ට එරෙහිව ඔහුත්, ඔහුගේ හමුදාවත් කළ වෙහෙසකාර මෙහෙයුමෙන් ඔවුන් ලද වාසියක් නැත. 19එබැවින් පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: බබිලෝනියේ රජු, නෙබුකද්නෙසර්ට මම ඊජිප්තු දේශය දෙන්නෙමි. ඔහු එහි වස්තුව රැගෙන යනු ඇත. තම හමුදා සෙබළුන්ගේ ගාස්තුව වශයෙන් ඔහු එම දේශය කොල්ලකනු ඇත; පැහැර ගනු ඇත. 20ඔහුගේ වෙහෙසට ගාස්තුව වශයෙන් මම ඊජිප්තු දේශය ඔහුට දුන්නෙමි. මන්ද, ඔහුත්, ඔහුගේ හමුදාවත් එය කළේ මා උදෙසා යැයි පරමාධිපති ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
21“ඒ දවසේ මම ඉශ්‍රායෙල් වංශය උදෙසා ශක්තියේ අඟක් වැඩෙන්නට සලස්වන්නෙමි. ඔවුන් අතරෙහි මම ඔබේ මුව විවර කරන්නෙමි. එවිට, ස්වාමින්වහන්සේ මා වග ඔවුන් දැනගන්නවා ඇත.”

දැනට තෝරාගෙන ඇත:

එසකියෙල් 29: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න