එසකියෙල් 22:26-30
එසකියෙල් 22:26-30 SCV
ඇගේ පූජකවරු මගේ ව්‍යවස්ථාවට බලහත්කාරකම් කරමින්, මගේ ශුද්ධ දෑ කෙලෙසති. ශුද්ධ හා සාමාන්‍ය දෑ අතරෙහි වෙනස ඔවුහු නො හඳුනති. අපවිත්‍ර හා පවිත්‍ර දෑ අතරෙහි වෙනසක් නැතැයි ඔවුහු උගන්වති. ඔවුන් අතරෙහි මා කෙලෙසනු ලබන පිණිස, මගේ සබත් පැවැත්වීමෙහි ලා ඔවුහු දෑස් පියා ගනිති. ඇය තුළ සිටින ඇගේ අධිපතීන් තමන්ගේ ගොදුර ඉරා දමන වෘකයින් වැන්න. අයුතු ලාභ පතා ඔවුහු ලේ වගුරුවමින්, ජනයා මරා දමති. ඇගේ දිවැසිවරු ව්‍යාජ දර්ශන හා මුසා පේනකීම් මගින් ඔවුන්ගේ එම අනිටු ක්‍රියා මත සුදු හුණු ගාති. ස්වාමින්වහන්සේ කිසිවක් නො පැවසූ කල්හිත් ඔවුහු කතා කොට, ‘පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ පැවසූ සේකැ’ යි කියති. දේශයේ ජනයා ගසාකෑම් හි යෙදෙති. මංකොල්ල කති. ඔවුහු දුගියනට හා අසරණයනට පීඩා කරති. විදෙස්සනට යුක්තිය කිරීම පිටුදකිමින් ඔවුන්ට අකටයුතුකම් කරති. “මවිසින් දේශය විනාශ නො කරන පිණිස, දේශය උදෙසා පවුරු ගොඩ නගන්නට හා මා ඉදිරියේ ඇති හිඩැස අවුරා සිටගන්නට මිනිසකු ඔවුන් අතරෙහි මම සොයා බැලීමි. එහෙත් කිසිවකුත් හමු නො විණ.

