නික්මයාම 35
35
සබත් නීති
1මෝසෙස් මුළු මහත් ඉශ්‍රායෙල් ජන සමාජය එක් රැස් කරවා, ඔවුන් අමතමින්, “ඔබ විසින් ඉටු කරන පිණිස, ස්වාමින්වහන්සේ අණ කළ දෑ මේවා ය: 2හය දවසක් වැඩ කළ හැකි ය. එහෙත් හත් වන දවස ඔබට ශුද්ධ දවසක් හා ස්වාමින්වහන්සේ උදෙසා විවේකයක් වූ සබතක් ය. ඒ දවසේ යම් වැඩක් කරන කවරකු වුව මරනු ලැබිය යුතු ය. 3සබත් දවසේ, ඔබේ කිසි නිවහනක ගිනි නො දැල්විය යුතු යැ” යි පැවසී ය.
මණ්ඩපය සඳහා වූ ද්‍රව්‍ය
4මෝසෙස් මුළු මහත් ඉශ්‍රායෙල් ජන සමාජය අමතා මෙසේ පැවසී ය. “ස්වාමින්වහන්සේඅණ කළ දෑ මේවා ය: 5ඔබ සතු දෙයින් ස්වාමින්වහන්සේ උදෙසා පූජා-පඬුරක් ගෙනෙන්න. ස්ව-කැමැත්තෙන් පඬුරු ගෙනෙන හැම කෙනකු ම ස්වාමින්වහන්සේට ගෙන ආ යුතු දෑ:
“රත්රන්, රිදී හා ලෝකඩ;
6නිල්, දම් හා තද රත් පැහැ නූල් හා දුහුල් හණ පිළි;
එළු ලොම්;
7රතු සායම් පෙවූ බැටළු හම් හා තහෂ්#35:7 නිශ්චිත ව නම් කළ නො හැකි සත්වයෙකි. ඩූගොං හෝ ඩොල්ෆින් හෝ විය හැක. හම්;
අකේෂියා ලී;
8පහන් සඳහා තෙල්;
ආලේප තෙල් හා සුවඳ දුම් සඳහා සුගන්ධ ද්‍රව්‍ය;
9ඒපොද් සැට්ටයට හා ළය වැස්මට ඔබ්බවනු සඳහා ගෝමේද ඇතුළු සෙසු මැණික් ද යන දෑ ය.
10“ඔබ අතරේ ශිල්පීය දක්ෂතා ඇති හැම කෙනෙක් ම පැමිණ, ස්වාමින්වහන්සේ අණ කළ හැම දෙයක් ම සාදත්වා:
11“මණ්ඩපය සහ එහි උඩු වියන් කූඩාරම, එහි තිර වැස්ම, එහි කොකු, ලෑලි, හරස් පොලු, කණු හා පාද තල;
12කරඬුව සහ එහි පොලු; කරුණාසනය#35:12 කරුණාසනය හෙවත් පාප වන්දි නිවාරණ වැස්ම හා එහි වැසුම් තිරය;
13මේසය සහ එහි පොලු, එහි සියලු උපකරණ හා දේවාභිමුඛ රොටි;
14ආලෝකය සඳහා පහන් රුක, එහි උපාංග, පහන් හා පහන් දැල්වීමට තෙල්;
15සුගන්ධ ධූම ද්‍රව්‍ය පූජාසනය සහ එහි පොලු, ආලේප තෙල් සහ සුගන්ධ ද්‍රව්‍යය, මණ්ඩප පිවිසුම් දොරටුව සඳහා වූ තිර;
16දවන යාග පූජාසනය හා එහි ලෝකඩ ගිනි මැස්ස, පොලු හා එහි සියලු උපකරණ;
ලෝකඩ ජල බේසම හා එහි අඩිය;
17මළුවේ තිර, එහි කණු හා පාද තල, මළුවේ පිවිසුම් දොරටුව සඳහා වන තිරය;
18මණ්ඩපය හා මළුව සඳහා වන කූඤ්ඤ, ඒවායේ ලණු;
19ශුද්ධස්ථානයේ මෙහෙවර සඳහා අඳින ගෙත්තම් වස්ත්‍ර වන පූජක ආරොන්ගේ ශුද්ධ වස්ත්‍ර හා පූජක සේවයේ නියැළෙන කල, ඔහුගේ පුතුන් අඳින වස්ත්‍ර ද යන වශයෙනි” යි පැවසී ය.
20එවිට මුළු මහත් ඉශ්‍රායෙල් ජන සමාජය මෝසෙස් ඉදිරියෙන් ඉවත් ව ගියහ. 21තවද, ස්ව-කැමැත්තෙන් දීමට හදෙහි පෙලඹවීමක් ඇති වූ සැවොම පැමිණ, හමුවීමේ කූඩාරමේ වැඩ සහ එහි සියලු සේවා සඳහාත්, ශුද්ධ වස්ත්‍ර සඳහාත් ස්වාමින්වහන්සේට පුද පඬුරු ගෙනාවෝ ය. 22ස්ව-කැමැත්තෙන් පෙලඹුණු පුරුෂ හා ස්ත්‍රී දෙපිලෙහි ම සියල්ලෝ පැමිණ, පුද පඬුරු වශයෙන් හාරිච්චි, කුණ්ඩලාභරණ, මුදු, මාල යන හැම මාදිලියකම රන් අබරණ ගෙනාහ. ඔවුහු සියල්ලෝ තම තමන්ගේ රත්රන් ස්වාමින්වහන්සේට තේව කිරීමේ පූජාවක් වශයෙන් පිළිගැන් වූහ. 23නිල්, දම් හා තද රත් පැහැ නූල් හෝ දුහුල් හණ පිළි, එළු ලොම්, රතු සායම් පෙවූ බැටළු හම්, තහෂ් හම් යන දෑ තිබූ සියල්ලෝ ඒ දෑ ගෙන ආහ. 24රිදී හෝ ලෝකඩ හෝ පිළිගැන්විය හැකි වූ හැම කෙනෙක් ම ස්වාමින්වහන්සේට පඬුරක් වශයෙන් ඒවා ගෙන ආහ. අදාළ කාරියේ යම් වැඩකට යෝග්‍ය අකේෂියා ලී තිබූ හැම කෙනෙක් ම ඒවා ගෙන ආහ. 25නූල් කැටීමෙහි සමත් හැම කාන්තාවක් ම තම තමන්ගේ දෝතින් කටින ලද නිල්, දම් හා තද රත් පැහැ නූල් හෝ දුහුල් හණ පිළි ගෙන ආවාහ. 26ස්ව-කැමැත්තෙන් පෙලඹුණු සියලු දක්ෂ කාන්තාවෝ එළු ලොම් කටින්නට වූවෝ ය. 27නායකයෝ ඒපොද් සැට්ටයේ හා ළය වැස්මේ එබ්බවීම පිණිස ගෝමේද හා සෙසු මැණික් ගෙන ආවෝ ය. 28තවද ඔවුහු පහන් සඳහා ද ආලේප තෙල් හා සුගන්ධ ධූම සඳහා ද තෙල් හා සුගන්ධ ද්‍රව්‍යය ගෙනාහ. 29ස්ව-කැමැත්තෙන් පෙලඹුණු පුරුෂ හා ස්ත්‍රී සියලු ඉශ්‍රායෙල්වරු, ස්වාමින්වහන්සේ මෝසෙස් මගින් ඔවුනට කරන්නට අණ කළ සියලු වැඩ සඳහා ස්වාමින්වහන්සේට ස්වේච්ඡා පූජා ගෙන ආහ.
බෙසලෙල් හා ඔහොලියාබ්
30ඉන්පසු මෝසෙස් ඉශ්‍රායෙල් ජනයා අමතමින්, “බලන්න, ස්වාමින්වහන්සේ යූදා ගෝත්‍ර වංශයේ හූර්ගේ පුත්‍ර ඌරීගේ පුත් බෙසලෙල් තෝරා ගෙන ඇත. 31උන්වහන්සේ සියලු ආකාර ශිල්පීය නිපුණත්වය ද හැකියාව හා අවබෝධය ද සමඟ දෙවියන්වහන්සේගේ ආත්මයාණන්ගෙන් උන්වහන්සේ ඔහු පූර්ණ කරන ලද්දේ, 32රනින්, රිදීයෙන් හා ලෝකඩින් ශිල්පීය නිර්මාණකරණය පිණිසත්, 33මැණික් කැපීම හා එබ්බවීම ද ලී කැටයම් වැඩ ද ඇතුළු සියලු ශිල්පීයකරණ නිර්මාණවල නියැළෙන පිණිසත් ය. 34තවද අන් අයට ඉගැන්වීමට උන්වහන්සේ ඔහුට ද දාන් ගෝත්‍ර වංශයේ අහිසාමක්ගේ පුත්‍ර ඔහොලියාබ්ට ද ආනුභාව දුන් සේක. 35කැටයම්කරුවන් හා නිර්මාණ ශිල්පීන් වශයෙන් ද නිල්, දම් හා තද රත් පැහැ නූල් හා දුහුල් හණ පිළි ගෙත්තම්-ශිල්පීන් වශයෙන් ද රෙදි වියන්නන් වශයෙන් ද ඒ සියලු කර්මාන්ත සඳහා වූ ආනුභාවයෙන් උන්වහන්සේ ඔවුන් පිර වූ සේක්, ඒ හැම කාරියක් සඳහා ම ඔවුන් විශාරද ශිල්පීන් ද නිර්මාණකරුවන් ද කළ සේක.
දැනට තෝරාගෙන ඇත:
නික්මයාම 35: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.