නික්මයාම 32
32
රන් වස්සා
1මෝසෙස් කන්දෙන් බැස ඒමට ප්‍රමාද වන බැව් දුටු ජනයා, ආරොන් වටා එක් රැස් වී, ඔහුට කතා කොට, “එන්න, අපට පෙරටුවෙන් යන්නට අපට දෙවිවරුන්#32:1 දෙවියකු. 23 හා 31 එසේ ම ය හදා දෙන්න. මන්ද ඊජිප්තුවෙන් පිටතට අප ගෙන ආ මේ මිනිසා මෝසෙස්, ඔහුට මොනවා වුණාදැයි අප දන්නේ නැතැ” යි කීහ.
2ආරොන් ඔවුන්ට පිළිතුරු දෙමින්, “ඔබේ භාර්යාවන්ගේ ද ඔබේ පුතුන්ගේ ද ඔබේ දියණියන්ගේ ද කන්වල ඇති රන් කුණ්ඩලාභරණ ගලවා, මා වෙත ගෙනෙන්නැ” යි කීවේ ය. 3එබැවින් මුළු ජනතාව තමන්ගේ රන් කුණ්ඩලාභරණ ගලවා, ආරොන් වෙත ගෙන ආහ. 4ඔහු ඔවුන් අතින් ඒවා ගෙන, උණු කර, අච්චුවක ලා, උපකරණයකින් හැඩකොට, ගොන් පැටවකුගේ පිළිරුවක් වාත්තු කළේ ය. එවිට ඔවුහු, “එම්බා ඉශ්‍රායෙල්, ඊජිප්තුවෙන් පිටතට නුඹලා ගෙන ආ දෙවියො මෙන්නැ” යි කීහ.
5ආරොන් එය දුටු කල, ඒ පිළිරුව ඉදිරිපිට පූජාසනයක් ඉදිකර, “හෙට ස්වාමින්වහන්සේට මංගල්‍යයකි” යි නිවේදන කළේ ය. 6එබැවින් ජනයා පසු දා උදෑසනින් නැගිට, දවන යාග පූජා කොට, ශාන්ති පූජා පිළිගැන් වූහ. පසුව ජනයා කන්නටත්, බොන්නටත් වාඩිගෙන, සැප සෙල්ලමට නැගී ගියහ.
7එවිට ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, “පහළට බැස යන්න. අන්න! ඔබ, ඊජිප්තුවෙන් පිටතට ගෙන ආ ඔබගේ ජනයා තුමූම දූෂ්‍ය කර ගෙන! 8මා ඔවුන්ට අණ කළ මාර්ගයෙන් මෙතරම් ඉක්මනින් ඔවුන් හැරී ගොසින්; ඔවුහු ගොන් පැටවකුගේ හැඩයට තමන්ට පිළිමයක් වාත්තු කොට, ඊට නමස්කාර කරමින්, ඊට යාග ඔප්පු කරමින්, ‘එම්බා ඉශ්‍රායෙල්, ඊජිප්තුවෙන් පිටතට නුඹලා ගෙන ආ දෙවියො මෙන්න’ කියා කියති” යි කී සේක.
9 ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, “මා මේ ජනයා දුටුවා. ඔවුන් තද මුරණ්ඩු ජනතාවක්. 10ඔවුන්ට විරුද්ධ ව මගේ කෝපය ඇවිළී, මවිසින් ඔවුන් විනාශ කර දමන්නට මට ඉඩ දෙන්න. පසුව මම නුඹෙන් මහත් ජාතියක් සාදන්නෙමි” යි කී සේක.
11එහෙත් මෝසෙස්, තම දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට ආයාචනා කරමින්, “අහෝ ස්වාමින්වහන්ස, මහා බලයකින් හා බලගතු හස්තයකින් ඔබ ම ඊජිප්තු දේශයෙන් පිටතට ගෙන ආ ඔබගේ ම ජනයාට එරෙහිව ඔබගේ කෝපය ඇවිළෙන්නේ ඇයි? 12ඊජිප්තුවරුන් කතා කරමින්, ‘උන්වහන්සේ ඔවුන් පිටතට ගෙන ගොස් ඇත්තේ, කඳුකරයේදී ඔවුන් මරා දමා, පොළෝ තලයෙන් ඔවුන් අතු ගා දමන නපුරු චේතනාවකිනි’ යි කියන්නට ඉඩ සලසන්නේ ඇයි? ඇවිළෙන ඔබේ කෝපය නිවාගත මැනව. සිත වෙනස් කර ගත මැනවි. ඔබේ ජනතාව පිටට මේ විපත්තිය නො පැමිණෙවුව මැනව. 13ඔබගේ සේවකයින් වූ ආබ්‍රහම් ද ඊසාක් ද ඉශ්‍රායෙල් ද සිහි කළ මැනව. ඔබ ඔවුන්ට ඔබගේ ම නාමයෙන් දිවුරුමින්, ‘ඔබගෙන් පැවත එන්නන් අහසේ තරු මෙන් අසංඛ්‍ය වන්නට සලසමි. මා පොරොන්දු වූ මේ මුළු දේශය, ඔබෙන් පැවත එන්නන්ට දෙන්නෙමි. සදහට ම එය ඔවුන්ට උරුම වනු ඇතැයි’ පැවසූ සේක් නො වේ දැ?” යි කන්නලව් කළේ ය. 14එවිට ස්වාමින්වහන්සේ තම සිත වෙනස් කර, ස්වකීය ජනතාවට කරන්නේ ය කියූ විපත්තිය නො පැමිණෙවු සේක.
15ඉන්පසු මෝසෙස් ආපසු හැරී, කන්දෙන් බසින්නට වන්නේ ය. ගිවිසුමේ ගල් පුවරු දෙක ඔහුගේ අත්වල තිබිණ. ඒවායේ දෙපැත්තේ, ඉදිරිපස සහ පසු පස ලියා තිබිණ. 16එම ගල් පුවරු දෙවියන්වහන්සේගේ නිමැවුම ය. එම පුවරුවල කැටයම් ලියවිල්ල දෙවියන්වහන්සේගේ ලියවිල්ල ය.
17ජනයාගේ ඝෝෂාවේ හඬ, යෝෂුවාගේ සවන් වැකුණු කල, ඔහු මෝසෙස් අමතමින්, “කඳවුරෙහි රණ හඬක් ඇසේ” යි කීවේ ය.
18මෝසෙස් පිළිතුරු දෙමින්,
“එය ජය ඝෝෂාවක් නො වේ.
පරාජයේ හැඬීම් හඬක් ද නො වේ.
මට ඇසෙන ඒ හඬ ගීත ගායනයකි” යි
කීවේ ය.
19මෝසෙස් කඳවුරට ළඟා වෙත් ම, ගොන් පැටවා ද නැටුම ද දුටුවේ ය. එවිට ඔහු කෝපයෙන් ඇවුළුණේ ය, ඔහු තම දෑතේ වූ ගල් පුවරු වීසි කරමින්, ඒවා කඳු පාමුල කැබලිවලට බිඳ දැමී ය. 20ඉන්පසු ඔහු, ඔවුන් සාදා තිබූ වස්සා ගෙන, ගින්නෙහි ලා පිලිස්සී ය. පසුව එය සිහින් කුඩු වන තුරු කුඩු කළ ඔහු, ඒවා ජලය පිට ඉස, ඉශ්‍රායෙල්වරුනට බොන්නට සැලසී ය.
21ඉන්පසු ආරොන් ඇමතූ මෝසෙස්, “මේ තරම් බරපතළ පවක් ඔබ මේ ජනයා පිට පැටවීමට ඔවුන් ඔබට මොකක් ද කළේ?” යි ඇසී ය.
22ආරොන් පිළිතුරු දෙමින්, “තදින් කෝප ගන්න එපා මා ස්වාමිනි; මේ ජනයා කොතරම් නපුරට නැමී සිටීදැයි ඔබත් දන්නවා. 23ඔවුන් මට කතා කර, ‘අපට පෙරටුවෙන් යන්නට අපට දෙවිවරුන් හදා දෙන්න. මන්ද ඊජිප්තුවෙන් පිටතට අප ගෙන ආ මේ මිනිසා, මෝසෙස්ට මොනවා වුණාදැයි අප දන්නේ නැතැ’ යි කීවා. 24එබැවින් මා, ‘රන් අබරණ ඇති අය ඒවා ගලවත්වා!’ යි ඔවුන්ට කී විට, ඔවුන් ඒවා මට දුන්නා. මා ඒවා ගින්නේ ලූ විට, මේ ගොන් පැටවා එයින් නික්ම ආවා” යි කීවේ ය.
25ජනයා වියරු වැටී ඇති වග ද පමණ ඉක්මවා යෑමට ආරොන් ඔවුනට ඉඩ දී ඇති වග ද එහෙයින් ජනයා ඔවුන්ගේ සතුරන්ගේ සමච්චලයට ලක් වී ඇති වග ද මෝසෙස් දුටුවේ ය. 26එබැවින්, මෝසෙස් කඳවුරු දොරකඩ නැගී සිට, “ස්වාමින්වහන්සේගේ පැත්තට සිටින්නේ කවුරු ද? ඔවුන් මා ළඟට එනු” යි කීවේ ය. එවිට ලෙවීගේ පුත්‍රයින් සියල්ලෝ ඔහු වටා එක් රොක් වූහ.
27මෝසෙස් ඔවුන් අමතමින්, “ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: ‘ඔබ හැම කෙනෙක් තම කඩුව බැඳගෙන, කඳවුරේ එක් කෙළවරක සිට අනෙක් කෙළවරට ඔබ මොබ යමින්, තම සහෝදරයා ද තම මිතුරා ද තම අසල්වැසියා ද මරා දමනු’ යි” කීවේ ය. 28ලෙවීවරු මෝසෙස් අණ කළ පරිදි කළහ. ඒ දවසේ ජනයාගෙන් තුන්දහසක් පමණ දෙනෙක් මළහ. 29එවිට මෝසෙස් කතා කරමින්, “ඔබ අද දවසේ ස්වාමින්වහන්සේගේ මෙහෙයයට ඔබ ම කැප කර ගෙන ඇත. එසේ කර ඇත්තේ ඔබේ ම පුතුන්ටත්, ඔබේ සහෝදරයින්ටත් එරෙහිව යමිනි. එබැවින් උන්වහන්සේ අද දවසේ ඔබ පිට ආශිර්වාදයක් වගුරා ඇතැ” යි කීවේ ය.
30ඊළඟ දවසේ ජනයා ඇමතූ මෝසෙස්, “නුඹලා මහා පාපයක් කර තියේ. ස්වාමින්වහන්සේ වෙත මම දැන් කන්දට නගින්නෙමි. ඇතැම් විට නුඹලා උදෙසා පාප වන්දි නිවාරණය සලසන්නට මට හැකි වේ” යැයි කීවේ ය.
31එබැවින් මෝසෙස්, ස්වාමින්වහන්සේ වෙත ආපසු ගොස්, මෙසේ පැවසී ය. “අහෝ! මේ ජනතාව කර ඇත්තේ මොන තරම් මහා පාපයක් ද! ඔවුන් තමනට රන් දෙවිවරුන් හදාගෙන ඇත. 32එහෙත්, දැන් ඔවුන්ගේ පාපයට කමා වුව මැනවි. කමා නො කරන්නේ නම්, ඔබවහන්සේ ලියා ඇති පොතෙන් මගේ නම කටුගා දමනු මැනවි” යි ඉල්ලී ය.
33 ස්වාමින්වහන්සේ මෝසෙස්ට පිළිතුරු දෙමින්, “මට එරෙහිව පව් කළ කවුරුන් වුවත්, මගේ පොතෙන් මම කටුගා දමන්නෙමි. 34දැන් ගොස්, මා කියා තිබූ තැනට ජනයාට මග පෙන්වන්න. මෙන්න! මගේ දූතයා ඔබට පෙරටුව යන්නේ ය. කෙසේ වෙතත් දඬුවම් දීමේ කාලය පැමිණි විට, ඔවුන්ගේ පාපයට මම දඬුවම් කරන්නෙමි” යි පැවසූ සේක.
35ඉන්පසු ස්වාමින්වහන්සේ වසංගතයකින් ජනතාවට පහර දුන් සේක. එසේ කළේ ආරොන් සෑදූ ගොන් පැටවා සම්බන්ධ ව ඔවුන් කර තිබූ දෑ නිසා ය.
දැනට තෝරාගෙන ඇත:
නික්මයාම 32: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.