එස්තර් 6
6
මොර්දෙකයි ගෞරවයට පැමිණවීම
1ඒ රැයේ රජුට නින්ද ගියේ නැත. එබැවින්, රාජ්‍ය-තොරතුරු ස්මරණීය ලේඛන පොත ගෙනෙන්නට ඔහු නියෝග කළේ ය. ඔහු ඉදිරියේ ඔවුහු එය කියවූහ. 2වාසල්-කඩ ආරක්ෂක රජුගේ නපුංසක නිලධාරීන් ව සිටි බිග්තාන්#6:2 බිග්තාන් හෙබ්‍රෙව් බිග්තානා හා තෙරෙෂ් යන දෙදෙනා අහෂ්වේරොෂ් රජු ඝාතන කිරීමට කළ සැලසුම මොර්දෙකයි විසින් අනාවරණ කරන ලද වගට වූ වාර්තාව හමු විණ.
3“මේ උදෙසා මොර්දෙකයිට කවර ගරු සම්මානයක්, කවර උපහාරයක් පිරිනැමුවා දැ?” යි රජු විමසී ය.
රජුට මෙහෙවර කළ පරිවාරකයෝ පිළිතුරු දෙමින්, “ඔහු වෙනුවෙන් කිසිවක් ම කර නැතැ” යි කීවෝ ය.
4“මාලිග මළුවේ කවුරු සිටී දැ?” යි රජු ඇසී ය. එවිට ම හාමාන්, මාලිගාවේ පිට මළුවට පැමිණියා පමණි. ඔහු පැමිණියේ තමන් පිළියෙල කළ එල්ලුම් ගහේ මොර්දෙකයි එල්ලීම ගැන රජු හා කතා කිරීමට ය.
5රජුගේ පරිවාරකයෝ පිළිතුරු දෙමින්, “හාමාන් මළුවේ සිටගෙන සිටිතැ” යි කීහ.
“ඔහු ඇතුළට කැඳවන්නැ” යි රජු කීවේ ය.
6හාමාන් එහි පිවිසි කල්හි, රජු ඔහු අමතමින්, “ගරු සම්මාන දැක්වීමට රජු ප්‍රසන්න තැනැත්තාට සැලකිය යුත්තේ කෙසේ දැ?” යි ඇසී ය.
එවිට හාමාන්, “රජු ඔතරම් ගෞරව දක්වන තැනැත්තා මා මිස අන් කවුරු දැ?” යි තමා තුළෙහි ම සිතා ගත්තේ ය. 7එබැවින් ඔහු, රජුට පිළිතුරු දෙමින්, “ගරු සම්මාන දැක්වීමට රජු ප්‍රසන්න තැනැත්තාට මෙසේ සලකත්වා. 8රජු හැඳි රාජකීය සළු ද රජු නැග ගිය රාජකීය කිරීටයක් හිස ලූ අශ්වයකු ද ගෙනෙනු ලැබේවා! 9ඉන්පසු රජුගේ උසස්තම අධිපතියකු අතට එම සළු හා අශ්වයා බාර දෙනු ලැබේවා! එවිට ගරු සම්මාන දැක්වීමට රජු ප්‍රසන්න තැනැත්තාට ඒ සළු හඳවා, ඒ අසු පිට නංවා, ‘ගරු සම්මාන දැක්වීමට රජු ප්‍රසන්න තැනැත්තාට සලකනු ලබන්නේ මෙලෙස යැ’ යි ඔහුට පෙරටුවෙන් ප්‍රකාශ කරවමින්, නගර වීදි ඔස්සේ ඔහු ගෙන යත්වා!” යි පැවසී ය.
10එවිට රජු හාමාන් අමතමින්, “හනික යන්න; ගොස්, ඔබ කී පරිදි සළු හා අශ්වයා ගෙන, රජ වාසල හිඳ සිටින මොර්දෙකයි යුදෙව්වාට එසේ කරන්න. ඔබ සඳහන් කළ කිසිවක් අතපසු නො කරන්නැ” යි නියෝග කළේ ය.
11එබැවින් හාමාන්, රාජ සළු හා අශ්වයා ගෙන, මොර්දෙකයිට සළු හඳවා, අසු පිට නංවා, “ගරු සම්මාන දැක්වීමට රජු ප්‍රසන්න තැනැත්තාට සලකනු ලබන්නේ මෙලෙස යැ” යි මොර්දෙකයි ඉදිරියෙන් ප්‍රකාශ කරමින්, ඔහුට පෙරටුව නගර වීදි ඔස්සේ සැරි සැරී ය.
12ඉන්පසු මොර්දෙකයි රජ වාසල වෙත ආපසු ආවේ ය. එහෙත් හාමාන් ශෝකයෙන් මුහුණ වසාගෙන, වහ වහා ගෙදර ගියේ ය. 13ඔහු තම බිරිඳ, සෙරෙෂ්ට හා ඔහුගේ සියලු මිතුරන්ට තමාට සිදු වූ හදිය පැවසී ය.
එවිට ඔහුගේ උපදේශකයෝ හා ඔහුගේ බිරිඳ සෙරෙෂ් කතා කරමින්, “ඔබගේ වැටීම ඇරඹුණේ මේ යුදෙව් ජාතික මොර්දෙකයි ඉදිරියෙනි; ඔහුට එරෙහිව නැගී සිටින්නට ඔබට නො හැකි ය; ඔබේ පරිහානිය නියත යැ!” යි පැවසූහ. 14ඔවුන් කතා කරමින් සිටියදී ම රජුගේ නපුංසක නිලධාරීහු එහි පැමිණ, එස්තර් විසින් පිළියෙල කොට තිබූ භෝජන සංග්‍රහයට වහා ඔහු කැඳවාගෙන ගියහ.
දැනට තෝරාගෙන ඇත:
එස්තර් 6: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.