එස්තර් 1:9-18

එස්තර් 1:9-18 SCV

වෂ්තී බිසව ද අහෂ්වේරොෂ් රජුගේ මාලිගයේදී කාන්තාවන් සඳහා ප්‍රිය සාදයක් පැවැත්වූවා ය. හත් වන දවසේ රජු මිදි යුෂ පානයෙන් ප්‍රමුදිත ව සිටියදී, රජු ඉදිරියේ මෙහෙවර කළ මෙහූමාන්, බිස්සෙතා, හර්බෝනා, බිග්තා, අබග්තා, සේතර් හා කර්කස් යන නපුංසක නිලධාරීන් හත් දෙනාට නියෝග කළ අහෂ්වේරොෂ් රජු, වෂ්තී බිසව ඇගේ රාජකීය ඔටුන්න පලඳා, තමන් ඉදිරියට කැඳවා එන ලෙස අණ කළේ, බලන්නට ලස්සන ඇගේ රූ සිරි ජනතාවටත්, අධිපතීන්ටත් පෙන්වන පිණිස ය. එහෙත් රාජ නපුංසකයින් රජුගේ නියෝගය දැන් වූ කල, වෂ්තී බිසව පැමිණීම ප්‍රතික්ෂේප කළා ය. එවිට රජු කෝපයෙන් වියරුව, තරහින් ඇවුළුණේ ය. නීතිය හා විනිශ්චය පිළිබඳ කරුණුවලදී විශාරද උපදෙස් විමසීම රජුගේ සිරිත වූ බැවින් රජු කාලයන් දන්නා ප්‍රාඥයින් විමසී ය. රජුට වඩාත් සමීප වූත්, රජුගේ මුහුණ දැකීමේ අවසරය ලත් රාජ්‍යයේ මුලින් ම අසුන් ගන්නන් වූත්, පර්සියා හා මේදියා අධිපතීන් හත්දෙනා වන කර්ෂෙනා, ෂේතාර්, අද්මාතා, තර්ෂිෂ්, මෙරෙස්, මර්සෙනා හා මෙමූකාන් ඇමතූ රජු, “නීතියට අනුව වෂ්තී බිසවට කළ යුත්තේ කුමක් ද? නපුංසක නිලධාරීන් විසින් ඇය වෙත ගෙන යන ලද අහෂ්වේරොෂ් රජුගේ නියෝගයට ඇය අකීකරු වී ඇතැ” යි කීවේ ය. එවිට රජු ද අධිපතීන් ද ඉදිරියෙහි පිළිතුරු දුන් මෙමූකාන්, “වෂ්තී බිසව වරද කර ඇත්තේ, රජුට එරෙහිව පමණක් නො වේ; සියලු අධිපතීන්ටත්, අහෂ්වේරොෂ් රජුගේ සියලු ප්‍රාන්තයන්හි ජනතාවටත් එරෙහිවයි. මන්ද බිසවගේ හැසිරීම කාන්තාවන් හැමට දැනගන්නට ලැබුණු විට, ඔවුන් තම සැමියනට ගර්හා කොට, ‘අහෂ්වේරොෂ් රජු තමන් ඉදිරියට වෂ්තී බිසව පමුණු වන්නට අණ දුන් නමුත්, ඈ පැමිණියේ නැතැ’ යි කියනු ඇත. බිසවගේ හැසිරීම ගැන අසන පර්සියාවේ හා මේදියාවේ කුල කාන්තාවන්, මේ අද දවසේ ම රජුගේ අධිපතීන්ටත් ඒ අයුරින් ම ප්‍රතිචාර දක්වනු ඇත. මේ ගරු සරු නැතිකමේත්, විරෝධයේත් නිමක් නො වනු ඇත.

මෙයට අදාළ වීඩියෝ

එස්තර් 1:9-18 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය