එපීස 5

5
1එබැවින් අති ප්‍රේමණීය දරුවන් සේ දෙවියන්වහන්සේ අනුකරණ කරන්නන් වන්න. 2දෙවියන්වහන්සේට මිහිරි සුවඳක් හා යාගයක් ව අප උදෙසා තමන් ම පරිත්‍යාග වෙමින්, ක්‍රිස්තුස්වහන්සේ අපට ප්‍රේම කළ සේ ප්‍රේමයේ ජීවිතයක් ගත කරන්න.
3ලිංගික අනාචාරකම් හෝ කවර දුරාචාරයක් හෝ තණ්හාවක් හෝ පිළිබඳ සඳහනකුදු ඔබ අතරේ නො විය යුතු ය. ශුද්ධවන්තයින්ට ඒවා නොහොබනා ය. 4තවද අසභ්‍ය, අමන කතා හෝ අශ්ලීල කවටකම් ද ඔබ අතරේ නො විය යුතු ය. ඒවා සුදුසු නැත. ඒ වෙනුවට ස්තුති දීම් පවසන්න. 5මේ වග නිසැක ව දැනගන්න! අනාචාරකම් කරන්නකුට, දුරාචාරයේ යෙදෙන්නකුට, තණ්හාව නැමති රූප අදහන්නකුට ක්‍රිස්තුස්වහන්සේගේ හා දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ කිසි උරුමයක් නැත. 6පුහු තර්කවලින් ඔබ රවටන්නට කිසිවකුටත් ඉඩ නො දෙන්න. මන්ද ඒවා හේතු කොට අකීකරු වන්නන් පිට දෙවියන්වහන්සේගේ උදහස පැමිණේ. 7එබැවින් එවැන්නවුන් හා හවුල් නො වන්න.
8වරක් ඔබ අන්ධකාරය ව සිටි නමුදු දැන් ඔබ ස්වාමින්වහන්සේ තුළ ආලෝකය ය. එබැවින්, ආලෝකයේ දරුවන් සේ ජීවත් වෙමින්, 9(ආලෝකයේ පලවලට හැම අයුරක ම යහපත, ධර්මිෂ්ඨකම හා සත්‍යය ඇතුළත් ය.) 10ස්වාමින්වහන්සේ ප්‍රිය මනාප දෑ කවරේදැයි සොයා දැනගන්න. 11අන්ධකාරයේ වඳ ක්‍රියා හා සම්බන්ධ නො වී, ඒවා එළිදරවු කරන්න. 12මන්ද ඔවුන් රහසේ කරන දෑ කීම පවා ලජ්ජා සහගත ය. 13එහෙත් ආලෝකයෙන් එළි කරන හැම දෙයක් ම පෙනෙන්නට වෙයි. 14මන්ද පෙනෙන්නට සලස්වන හැම දෙයක් ම ආලෝකයයි. මෙසේ කියා ඇත්තේ එබැවිනි:
“එම්බා නිදාසිටින්නාණනි, අවදි වන්න.
මළවුන්ගෙන් නැගිට සිටින්න.
එවිට, ක්‍රිස්තුස්වහන්සේ ඔබ මත්තෙහි බබළනු ඇත.”
15එබැවින්, ඔබ ජීවත් වන අයුර ගැන වඩාත් සැලකිලිමත් වන්න. අනුවණ ලෙස නො ව, නුවණ ඇත්තන් සේ කටයුතු කරමින්, 16හැම අවස්ථාවකින් ම හැකි තරම් ප්‍රයෝජන ගන්න#5:16 එනම් කාලය ඉතා හොඳින් පාවිච්චි කරන්න.. මන්ද, මේ දවස් නපුරු ය. 17එනිසා අනුවණ නො වී, ස්වාමින්වහන්සේගේ කැමැත්ත කවරේදැයි වටහා ගන්න. 18මිදි යුෂ බී, මත් නො වන්න. එයින් දුරාචාරයට මං පෑදේ. ඒ වෙනුවට ආත්මයාණන්වහන්සේගෙන් පූර්ණ වන්න. 19කාව්‍යයෙන් ද ගීතිකාවලින් ද ආත්මික ගීයෙන් ද එකිනෙකා අමතන්න. ඔබේ හදවතින් ස්වාමින්වහන්සේට සංගීත නගමින්, ගී ගයන්න. 20හැම දෙයක් ගැන, හැම විට යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේගේ නාමයෙන් පියාණන් වූ දෙවියන්වහන්සේට තුති පුදන්න.
කිතුනු පවුලට උපදෙස්
21ක්‍රිස්තුස්වහන්සේ වෙත ඇති ගෞරවයෙන් එකිනෙකාට යටත් වන්න.
22භාර්යාවනි, ස්වාමින්වහන්සේට යටත් වන සේ ඔබේ පුරුෂයනට යටත් වන්න. 23මන්ද ස්වකීය ශරීරය වූ සභාවේ ගැලවුම්කරු වන ක්‍රිස්තුස්වහන්සේ එහි හිස වන්නා සේ ම, පුරුෂයා භාර්යාවගේ හිස ය. 24මෙසේ සභාව ක්‍රිස්තුස්වහන්සේට යටත් වන්නා සේ, භාර්යාවන් ද හැම කරුණකදී තම පුරුෂයනට යටත් විය යුතු ය.
25පුරුෂයිනි, ක්‍රිස්තුස්වහන්සේ සභාවට ප්‍රේම කොට, ඇය උදෙසා තමන් ම පූජා වූ සේ ඔබත්, ඔබගේ භාර්යාවනට ප්‍රේම කරන්න. 26උන්වහන්සේ එසේ කළේ, වචනය මගින් ජලයෙන් සේදීමෙන් ඇය පවිත්‍ර කර, ශුද්ධවත් කිරීමටත්, 27පැල්ලමක්, රැළි වැටීමක් හෝ අන් කැළලක් නැති ශුද්ධ වූ, නො කැළැල් තේජවත් සභාවක් ව තමන්ට ම ඇය පිළිගන්වා ගැනීමටත් ය. 28එලෙස පුරුෂයන්, තම සිරුරට ප්‍රේම කරන්නා සේ තම භාර්යාවනට ප්‍රේම කළ යුතු ය. තම භාර්යාවට ප්‍රේම කරන්නා තමාට ම ප්‍රේම කරයි. 29කිසිවෙක් කිසි කලෙක තම සිරුරට ද්වේෂ කර නැත. ක්‍රිස්තුස්වහන්සේ සභාවට කරන්නා සේ ඔහු කරන්නේ එය පෝෂ්‍ය කිරීමයි; රැක බලා ගැනීමයි. 30මන්ද උන්වහන්සේගේ සිරුරේ අවයව අප ය. 31මෙනිසා “පුරුෂයෙක් තම පියා හා මව අතැර තම භාර්යාවට බැඳෙයි. ඔවුහු එක මාංසයක් වෙති.”#5:31 උත් 2;24 32මෙය ගැඹුරු අබිරහසකි. එහෙත් මෙහිදී මා කතා කරන්නේ, ක්‍රිස්තුස්වහන්සේ හා සභාව ගැනයි. 33කෙසේ වුව ඔබ හැම කෙනෙක් ම තම භාර්යාවට ප්‍රේම කළ යුත්තේ, තමාට ම ප්‍රේම කරන පරිද්දෙනි. භාර්යාව තම පුරුෂයාට ගරු සැලකිලි දැක්විය යුතු ය.

දැනට තෝරාගෙන ඇත:

එපීස 5: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න