2 සාමුවෙල් 7

7
දෙවියන්වහන්සේගේ පොරොන්දුව
1රජු තම ගෘහයේ පදිංචි විය. ඔහු වටා වූ ඔහුගේ සියලු සතුරන්ගෙන් ස්වාමින්වහන්සේ ඔහුට විවේකය දී තිබිණ. 2දිවැසිවර නාතාන් ඇමතූ රජු, “මෙන්න! මා දේවදාර ලීයෙන් කළ නිවසක වාසය කරනවා. එහෙත් දෙවියන්වහන්සේගේ කරඬුව කූඩාරමක් ඇතුළත වාසය කෙරේ” යැයි කීවේ ය.
3නාතාන්, රජුට පිළිතුරු දෙමින්, “යන්න! ඔබේ සිතේ ඇති සියලු දෑ කරන්න. මන්ද ස්වාමින්වහන්සේ ඔබ සමඟ වන සේකැ” යි කී ය.
4එහෙත් ඒ රැයේ ම ස්වාමින්වහන්සේගේ වචනය නාතාන් වෙත පැමිණියේ ය.
5“ගොස් මගේ සේවක දාවිත්ට මෙසේ කියන්න. ‘ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: වාසය පිණිස ඔබ මට ගෘහයක් ගොඩ නගනවා ද? 6ඉශ්‍රායෙල් ජනයා ඊජිප්තුවේ සිට ගෙනා දවසේ පටන් අද දවස දක්වා ම මා ගෘහයක වාසය කළේ නැත. මා තැනින් තැන ගමන් කරන්නේ, කූඩාරමක් මගේ නිවස්න කර ගෙන ය. 7එසේ මුළු ඉශ්‍රායෙල් ජනතාව මධ්‍යයේ මා ගිය කොතැනකදී වුව, “දේවදාර ගෘහයක් නුඹ මට ඉදි නො කළේ මන්දැ?” යි මගේ ඉශ්‍රායෙල් ජනයා රැක බලා ගැනීමට මා අණ කළ ඔවුන්ගේ නායකයන්ගෙන් කෙනකුට කිසි දින මා පවසා තියේ ද?’
8“එබැවින් දැන්, මගේ සේවක දාවිත්ට මෙසේ කියන්න: ‘සේනාංකවල ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක; මගේ ජනතාව වන ඉශ්‍රායෙල්ගේ අධිපතියා වන පිණිස, තණ බිම් වෙතින්, බැටළුවන් පසු පස යෑමෙන් මම නුඹ ගත්තෙමි. 9ඔබ ආ-ගිය කොතැනකදී වුව මම ඔබ සමඟ සිටිමින්, ඔබගේ සියලු සතුරන් ඔබ ඉදිරියෙන් සිඳ දැමුවෙමි. තවද මේ පොළොවේ ශ්‍රේෂ්ඨතම මිනිසුන්ගේ නාම හා සමාන ශ්‍රේෂ්ඨ නාමයක් මම ඔබට සලසා දෙන්නෙමි. 10මගේ ඉශ්‍රායෙල් ජනයාට ස්ථානයක් නියම කර දී, ඔවුන් එහි පැලපදියම් කරන්නේ, තමන්ගේ ම වූ තැනක වාසය කරන්නට ඔවුන්ට හැකි වන පිණිසත්, තවදුරටත් කැලඹීම් ඇති නො වන පිණිසත් ය. දුෂ්ට මිනිසුන් ඉහතදී කළාක් මෙන්, 11මගේ ඉශ්‍රායෙල් ජනයාට මා විනිසුරුවන් පත් කර දුන් කාලයේ මෙන් තවත් ඔවුන්ට පීඩා නො කරනු ඇත. ඔබේ සියලු සතුරන් වෙතින් මම ඔබට විවේකය දෙන්නෙමි.
“ ‘එපමණක් නො ව, ස්වාමින්වහන්සේ ඔබට වංශයක්#7:11 වංශයක් හෙබ්‍රෙව් ගෘහයක් 16, 19, 25, 26, 27 සහ 29 පදවල ද එසේය. සාදා දෙන වග ස්වාමින්වහන්සේ ම ඔබට ප්‍රකාශ කරන සේක; 12ඔබේ දවස් සම්පූර්ණ වූ කල, ඔබේ පියවරුන් සමඟ ඔබ සැතපෙන කල, ඔබට පසුව ඔබේ ම ශරීරයෙන් පැවත එන ඔබේ ම දරුවකු ඔබේ තැන ගැනීමට නැගිටුවා, ඔහුගේ රාජ්‍යය ස්ථාපිත කරන්නෙමි. 13මගේ නාමයට ගෘහයක් ගොඩ නගන්නා ඔහු ය. ඔහුගේ රාජ්‍යයේ සිංහාසනය මම සදහට ම ස්ථාපිත කරන්නෙමි. 14මම ඔහුගේ පියාණන් වන්නෙමි; ඔහු මගේ පුතණුවන් වන්නේ ය. ඔහු අයුතුකම් කළ විට මම මිනිස් ඉපලෙන් ඔහු හික්ම වන්නෙමි. මනුෂ්‍ය පුත්‍රයන්ගේ ඉපලෙන් තලවන්නෙමි. 15එහෙත් මම ඔබ ඉදිරියෙන් පහ කළ සාවුල්ගෙන් ඉවත් කර ගත් පරිදි, මගේ නොමියෙන ප්‍රේමය ඔහු වෙතින් ඉවත් නො කරන්නෙමි. 16ඔබගේ වංශයත්, ඔබගේ රාජ්‍යයත් නිසැක ව මා ඉදිරියේ සදහට ම පවතිනු ඇත. ඔබේ සිහසුන සදහට ම ස්ථාපිත කරනු ලබන්නේ යැ’ යි” පැවසූ සේක.
17මෙම සියලු වචනවලට අනුකූලව, මෙම මුළු දර්ශනයට අනුකූලව නාතාන් දාවිත්ට පැවසී ය.
දාවිත්ගේ යාච්ඤාව
18එවිට දාවිත් රජු ඇතුළට ගොස්, ස්වාමින්වහන්සේ ඉදිරිපිට හිඳගෙන මෙසේ පැවසී ය:
“අහෝ පරමාධිපති ස්වාමින්වහන්ස, ඔබවහන්සේ මේ සා දුරකට මා ගෙන එන්නට මා කවරෙක් ද? මගේ පෙළපත මොකක් ද? 19අහෝ පරමාධිපති ස්වාමින්වහන්ස, ඔබවහන්සේගේ ඇස් හමුවේ එසේ කිරීමෙන් නො නැවතුණු ඔබ, ඔබගේ සේවකයාගේ වංශයේ දුර අනාගතය ගැනත් කතා කළ සේක. එයත් අහෝ පරමාධිපති ස්වාමින්වහන්ස, හුදෙක් මනුෂ්‍යයෙකුට ය.
20“ඔබවහන්සේට දාවිත් තව මොනවා කියන්න ද? මන්ද ඔබවහන්සේ ඔබගේ සේවකයා දන්නා සේක; අහෝ පරමාධිපති ස්වාමින්වහන්ස, 21ඔබගේ පොරොන්දුව නිසා, ඔබගේ හදවතට අනුකූලව මේ මහත් දේ කළ ඔබවහන්සේ, ඔබගේ සේවකයාට එය දැනගන්නට සැලසූ සේක.
22“එබැවින් අහෝ පරමාධිපති ස්වාමින්වහන්ස, ඔබවහන්සේ උතුම් ය! මන්ද ඔබ වැනි කෙනකු තවත් නැත. අපගේ කන්වලින් අප අසා ඇති පරිදි, ඔබ හැර අන් දෙවියන්වහන්සේ කෙනකු නැත. 23ඔබගේ ජනයා වූ ඉශ්‍රායෙල්ට සමාන අන් කවුරු ද? තමන්ට ම වූ ජනතාවක් වශයෙන් මුදා ගන්නා පිණිසත්, තමන්ට ම නාමයක් උපදවා ගන්නා පිණිසත්, ඊජිප්තු දේශයෙන් ඔබ මුදා ගත් ඔබේ ජනතාව ඉදිරිපිටින් ජාතීන් ද ඔවුන්ගේ දෙවි-දේවතාවුන් ද පන්නා දැමීමෙන් ඔවුන් උදෙසා ශ්‍රේෂ්ඨ වූත්, භයානක වූත් හාස්කම්#7:23 මෙම පදයේ ඊජිප්තු යන වචනයේ සිට හාස්කම් යන වචනය දක්වා කොටස පරිවර්තනය කර ඇත්තේ ග්‍රීක සහ 1 ලේක 17;21 හි ආකෘතියට අනුව ය. කරන පිණිසත් දෙවියන්වහන්සේ පිටත් ව ගිය අන් කවර ජාතියක් මේ මිහි පිට වේ ද? 24ඔබ, ඔබගේ ජනයා වන ඉශ්‍රායෙල්, ඔබට ම වූ ජනතාවක් කොට සදහට ම තහවුරු කර ගත් ඔබ, ඔවුන්ගේ දෙවියන්වහන්සේ බවට පත් වූ සේක, අහෝ ස්වාමින්වහන්ස.
25“දැන්, දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්ස, ඔබගේ සේවකයා ගැන හා ඔහුගේ වංශය ගැන ඔබ කතා කළ වචනය සදහට ම ස්ථිර කළ මැනවි. ඔබ කී පරිද්දෙන් කළ මැනවි. 26මෙසේ, ‘සේනාංකවල ස්වාමින්වහන්සේ, ඉශ්‍රායෙල් කෙරෙහි දෙවියන්වහන්සේ ය’ කියනු ලැබීමෙන් ඔබගේ නාමය සදාතනික ව ඉහළින් ම වර්ණනා කෙරේ. තවද ඔබගේ සේවක දාවිත්ගේ වංශය ද ඔබ ඉදිරියෙහි ස්ථාපිත කරනු ලබනු ඇත.
27“අහෝ සේනාංකවල ස්වාමින්වහන්ස, ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්ස, ඔබවහන්සේ කතා කොට, ‘මම ඔබට වංශයක් ගොඩ නගන්නෙමි’ යි ඔබගේ සේවකයාට එළිදරවු කළ සේක. එබැවින් මේ යාච්ඤාව ඔබට ඔප්පු කිරීමට ඔබේ සේවකයාට ධෛර්යය ලැබිණි. 28එබැවින් අහෝ පරමාධිපති ස්වාමින්වහන්ස, ඔබවහන්සේ දෙවියන්වහන්සේ ය! ඔබගේ වචන සත්‍ය ය. ඔබගේ සේවකයාට ඔබ මෙම මනරම් දෑ පොරොන්දු වූ සේක. 29එබැවින් දැන්, ඔබ හමුවේ සදහට පවතින පිණිස, ඔබගේ සේවකයාගේ වංශයට ආශිර්වාද කරන්නට ඔබ ප්‍රසන්න වන සේක්වා! අහෝ පරමාධිපති ස්වාමින්වහන්ස, ඔබවහන්සේ එසේ කී සේක. ඔබගේ සේවකයාගේ වංශය ඔබගේ ආශිර්වාදයෙන් සදාතනික ව ආශිර්වාද ලබන්නේ ම ය.”

දැනට තෝරාගෙන ඇත:

2 සාමුවෙල් 7: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න