2 සාමුවෙල් 6

6
ගිවිසුම් කරඬුව ගෙන ඒම
1දාවිත්, තෝරාගත් ඉශ්‍රායෙල් මිනිසුන් තිස්දහසක් යළි එක් රැස් කළේ ය. 2දාවිත් තමා සමඟ වූ සියලු මිනිසුන් සමඟ යූදාහි බාලා#6:2 යූදාහි බාලා එනම් කිරියත්-යෙයාරීම් වෙතින් පිටත් වූයේ, නාමයෙන් එනම් කෙරුබ්වරුන්ට ඉහළින් සිංහාසනාරූඪ ව සිටින සේනාංකවල ස්වාමින්වහන්සේගේ නාමයෙන් හැඳින්වෙන දෙවියන්වහන්සේගේ කරඬුව එහි සිට ගෙනෙන්නට ය. 3ඔවුහු දෙවියන්වහන්සේගේ කරඬුව අලුත් ගැලක තබා, කඳු ගැටයෙහි පිහිටි අබිනාදාබ්ගේ නිවසේ සිට එය රැගෙන ආහ. අබිනාදාබ්ගේ පුත්‍රයින් වූ උස්සා හා අහියෝ අලුත් ගැල දැක්කූහ. 4දෙවියන්වහන්සේගේ කරඬුව ඒ මත විය. අහියෝ කරඬුවට පෙරටුවෙන් ගමන් ගත්තේ ය. 5දාවිත් හා මුළු ඉශ්‍රායෙල් වංශය ගීයෙන් ද වීණා, මහ වීණා, රබන්, පන්තේරු හා අත්තාලම් ඇති ව ස්වාමින්වහන්සේ අබියස තමන්ගේ මුළු සවියෙන් ප්‍රමෝද වූහ.
6ඔවුන් නාකොන්ගේ කමත වෙත ළඟා වූ කල, ගවයින් පැකිළුණ බැවින්, උස්සා තම අත දිගු කොට, දෙවියන්වහන්සේගේ කරඬුව ඇල්ලුවේ ය. 7ඔහුගේ ඒ වරද නිසා, ස්වාමින්වහන්සේගේ කෝපය උස්සාට එරෙහිව ඇවුළුණෙන්, දෙවියන්වහන්සේ ඔහු ගසා හෙළූ සේක. ඔහු දෙවියන්වහන්සේගේ කරඬුව පසෙක මළේ ය.
8 ස්වාමින්වහන්සේගේ උදහස උස්සාට එරෙහිව ඇවුළුණෙන්, දාවිත් කෝප විය; එබැවින් ඒ ස්ථානය අද දක්වා ම පෙරෙස්-උස්සා යන නමින් හැඳින්වෙයි.
9ඒ දවසේ දාවිත්, ස්වාමින්වහන්සේට භය වී, “ස්වාමින්වහන්සේගේ කරඬුව කෙසේ ද මා වෙත එන්නේ?” යි කීවේ ය. 10එබැවින් දාවිත් ස්වාමින්වහන්සේගේ කරඬුව දාවිත් පුරයට ගෙන යෑමට කැමති නො වී, එය පසෙකට හරවා ගිත්තීය ඔබේද්-ඒදොම්ගේ නිවසට ගෙන ගියේ ය. 11ස්වාමින්වහන්සේගේ කරඬුව ගිත්තීය ඔබේද්-ඒදොම්ගේ නිවසෙහි තුන් මසක් තිබුණු අතර, ස්වාමින්වහන්සේ ඔබේද්-ඒදොම්ටත්, ඔහුගේ නිවැසි සියලු දෙනාටත් ආශිර්වාද කළ සේක.
12“දෙවියන්වහන්සේගේ කරඬුව නිසා ස්වාමින්වහන්සේ ඔබේද්-ඒදොම්ගේ නිවැසියන්ටත්, ඔහු සන්තක සියල්ලටත් ආශිර්වාද කර ඇතැ” යි දාවිත් රජුට දන්වන ලද්දේ ය. එවිට දාවිත් පිටත් ව ගොස්, දෙවියන්වහන්සේගේ කරඬුව ඔබේද්-ඒදොම්ගේ නිවසේ සිට දාවිත් පුර වෙත ප්‍රීති ප්‍රමෝදයෙන් යුතු ව ගෙන ආවේ ය. 13ස්වාමින්වහන්සේගේ කරඬුව උසුලාගෙන යන්නවුන් පියවර හයක් තැබූ කල, ඔහු ගවයකු හා තර වහු පැටවකු යාග කළේ ය. 14දාවිත් හණ ඒපොද් සැට්ටයක් හැඳ තමාගේ මුළු ශක්තියෙන් ස්වාමින්වහන්සේ ඉදිරියේ නැටුවේ ය. 15මෙසේ දාවිත් හා මුළු ඉශ්‍රායෙල් වංශය ජය ගොස නගමින්, හොරණෑ නද සමඟින් ස්වාමින්වහන්සේගේ කරඬුව ගෙන ආහ.
16 ස්වාමින්වහන්සේගේ කරඬුව දාවිත් පුරයට ඇතුළු වෙද්දී, සාවුල්ගේ දියණිය මීකල් කවුළුවකින් පිටත බලා සිටියා ය. දාවිත් රජු ස්වාමින්වහන්සේ ඉදිරියෙහි පැන පැන නටනු දුටු ඈ තම හදින් ඔහු හෙළා දැක්කා ය.
17ඔවුහු ස්වාමින්වහන්සේගේ කරඬුව ගෙනවුත්, ඒ සඳහා දාවිත් විසින් පිහිටු වන ලද කූඩාරමෙහි ඊට නිසි තැන තැන්පත් කළහ. දාවිත් දවන යාග පූජා හා ශාන්ති පූජා ස්වාමින්වහන්සේ අබියස ඔප්පු කළේ ය. 18දවන යාග පූජා හා ශාන්ති පූජා ඔප්පු කිරීම නිම කළ දාවිත්, සේනාංකවල ස්වාමින්වහන්සේගේ නාමයෙන් ජනතාවට ආශිර්වාද කළේ ය. 19ඉන්පසු ඔහු ඉශ්‍රායෙල් මුළු සමූහයාට, පුරුෂයින් හා ස්ත්‍රීන් හැම කෙනකුට රොටියක්, මස් කොටසක් හා වියළි මිදි කැටියක් බැගින් බෙදා දුන්නේ ය. ඉන්පසු සියල්ලෝ ම පිටත් ව, එකිනෙකා තම තමන්ගේ ගෙවලට ගියහ.
20දාවිත් තම නිවැසියනට ආශිර්වාද කරන පිණිස, තම නිවසට පෙරළා පැමිණි කල, ඔහු හමුවට ආ සාවුල්ගේ දියණිය වූ මීකල්, “අවිනීත විගඩමකු කරන්නා සේ තම මෙහෙකරුවන්ගේ දාස කෙල්ලන් බලා සිටියදී තම ඇඳුම් ගලවා දැමූ ඉශ්‍රායෙල් රජතුමා අද දවසේ කොතරම් තේජස් වී දැ!” යි කීවා ය.
21එවිට දාවිත්, මීකල්ට පිළිතුරු දෙමින්, “මා එසේ කළේ ස්වාමින්වහන්සේගේ ජනයා වන ඉශ්‍රායෙල්ගේ අධිපතියා වශයෙන් ඔබේ පියාට ඉහළින්, ඔහුගේ වංශයේ අන් ඕනෑ ම කෙනකුට ඉහළින්, මා තෝරාගත් ස්වාමින්වහන්සේ ඉදිරිපිටදීයි. ස්වාමින්වහන්සේ ඉදිරිපිට මම සැණකෙළි කරන්නෙමි. 22මම මීටත් වඩා ‘නොහොබනා’ ලෙස මගේ ම ඇස් හමුවේ අවමානයට ලක්වෙමි. එහෙත් ඔබ කී මේ දාස කෙල්ලන්ගෙන් ගරු බුහුමන් ලබන්නෙමි” යි කීවේ ය.
23සාවුල්ගේ දියණිය වූ මීකල් ඇගේ මරණ දවස දක්වා ම දරුවන් නො ලද්දී ය.

දැනට තෝරාගෙන ඇත:

2 සාමුවෙල් 6: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න