2 රාජාවලිය 13

13
ඉශ්‍රායෙල්හි යෙහෝවාහාස් රජු
1යූදාහි රජු වූ අහසියාගේ පුත් යෝවාෂ්ගේ විසිතුන් වන වසරේ යේහූගේ පුත් යෙහෝවාහාස් සමාරියේදී ඉශ්‍රායෙල්හි රජකමට පත් විය. ඔහු අවුරුදු දාහතක් රජකම් කළේ ය. 2ඔහු ඉශ්‍රායෙල්ට පව් කරන්නට සැලැස් වූ නෙබාට්ගේ පුත් යෙරොබොවම්ගේ පාප අනුගමන කරමින්, ස්වාමින්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරු වූ දේ කළේ ය. ඔහු ඒවායින් ඉවත හැරුණේ නැත. 3එබැවින් ස්වාමින්වහන්සේගේ උදහස ඉශ්‍රායෙල්ට එරෙහිව ඇවිළිණි. උන්වහන්සේ අරාම්හි රජු වූ හසායෙල්ගේත්, ඔහුගේ පුත් බෙන්-හදද්ගේත් අත යටතේ දිගු කලක් ඔවුන් තැබූ සේක.
4ඉන්පසු යෙහෝවාහාස්, ස්වාමින්වහන්සේගේ පිහිට සෙවූ නිසා, ස්වාමින්වහන්සේ ඔහුට සවන් දුන් සේක. මන්ද අරාම්හි රජු කොතරම් තද ලෙස ඉශ්‍රායෙල්වරුන්ට පීඩා කරන්නේදැයි උන්වහන්සේ දුටු සේක. 5එබැවින් ස්වාමින්වහන්සේ, ඉශ්‍රායෙල්ට ගැලවුම්කරුවකු සපයා දුන් සේක. ඉන් නිසා ඉශ්‍රායෙල්වරු අරාම් බලයෙන් මිදී, පෙර පරිදි තම නිවෙස්වල වාසය කළහ. 6එහෙත් ඔවුහු ඉශ්‍රායෙල්ට පව් කරන්නට සැලැස් වූ යෙරොබොවම් වංශයේ පාපවලින් ඉවත් නො වූහ; ඔවුහු දිගට ම ඒවායේ පැවතුණහ. අෂේරා කණුව ද සමාරියේ පිහිටුවා තිබිණි.
7යෙහෝවාහාස් රජුට තම හමුදාවේ අසරුවන් පනසකුත්, යුධ රථ දහයකුත්, පාබළ හමුදාව දසදහසකුත් හැරෙන්නට වෙන කිසිවක් ඉතිරි ව තිබුණේ නැත. මන්ද අරාම්හි රජු සෙසු සේනාංක වනසා දමා තිබුණේ ගොයම් මැඩීමේදී ඇති දූවිල්ල පරිදි කරමිනි.
8යෙහෝවාහාස් සම්බන්ධ සෙසු කාරණා ද ඔහු කළ සියල්ල හා ඔහුගේ බලවත් ක්‍රියා ද ඉශ්‍රායෙල් රජුන්ගේ ඉතිහාස පොතේ ලියැවී තිබෙනවා නො වේ ද? 9යෙහෝවාහාස් තම පියවරුන් සමඟ සැතපී, සමාරියේ භූමදාන කෙරිණ. ඔහුගේ පුත් යෝවාෂ්#13:9 යෝවාෂ් හෙවත් යෙහෝවාෂ් 12-14 පදවල ද එසේ ම ය. ඔහුට පසුව රජකමට පත් විය.
ඉශ්‍රායෙල්හි යෙහෝවාෂ් රජු
10යූදා රජු වූ යෝවාෂ්ගේ තිස්හත් වන වසරේ යෙහෝවාහාස්ගේ පුත් යෙහෝවාෂ්, සමාරියේදී ඉශ්‍රායෙල්හි රජකමට පත් විය. ඔහු අවුරුදු දහසයක් රජකම් කළේ ය. 11ඔහු ස්වාමින්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරු දෑ කළේ ය. නෙබාට්ගේ පුත් යෙරොබොවම් ඉශ්‍රායෙල්ට කරන්නට සැලැස් වූ ඔහුගේ පාප එකකින්වත් ඔහු ඉවත හැරුණේ නැත. ඔහු දිගට ම ඒවායේ පැවතුණේ ය.
12යෙහෝවාෂ් සම්බන්ධ සෙසු කාරණා ද ඔහු කළ සියල්ල හා ඔහුගේ බලවත් ක්‍රියා ද ඇතුළු යූදා රජු වූ අමසියාට එරෙහිව වූ ඔහුගේ යුද්ධ ගැන ද ඉශ්‍රායෙල් රජුන්ගේ ඉතිහාස පොතේ ලියැවී තිබෙනවා නො වේ ද? 13යෙහෝවාෂ් තම පියවරුන් සමඟ සැතපුණේ ය. ඔහුට පසුව යෙරොබොවම් සිහසුන් පත් විය. යෙහෝවාෂ් සමාරියේ ඉශ්‍රායෙල් රජවරුන් සමඟ භූමදාන කෙරිණ.
14එලීෂා තමා මරණයට පත් කෙරුණු රෝගයෙන් පෙළෙමින් සිටියදී ඉශ්‍රායෙල් රජු වූ යෙහෝවාෂ් ඔහු බැහැ දකින්නට ගොස් ඔහු ගැන වැලපෙමින්, “මගේ පියාණෙනි, මගේ පියාණෙනි, ඉශ්‍රායෙල්ගේ යුධ රථ හා එහි අසරුවෝ” යි කියමින් හැඬී ය.
15එලීෂා ඔහු අමතා, “දුන්නක් හා ඊතල ගන්නැ” යි කීවේ ය. එබැවින් ඔහු දුන්නක් හා ඊතල ගත්තේ ය. 16එවිට ඔහු ඉශ්‍රායෙල් රජු අමතා, “දුන්න අතට ගන්නැ” යි කීවේ ය. ඔහු එය අතට ගත් කල, එලීෂා තම අත් රජුගේ අත් පිට තැබී ය.
17“නැගෙනහිර කවුළුව අරින්නැ” යි ඔහු කීවේ ය; ඔහු එය ඇරියේ ය. “විදින්නැ” යි එලීෂා කීවේ ය. ඔහු විද්දේ ය. “ස්වාමින්වහන්සේගේ ජය ඊ ගස ය, අරාම්ගෙන් ජය ගැනීමේ ඊ ගස යැ” යි ප්‍රකාශ කළ එලීෂා, “ඔබ අෆේක්හි දී අරාම්වරුන් මුළුමනින් විනාශ කරනු ඇතැ” යි කීවේ ය.
18ඉන්පසු ඔහු, “ඊ ගස් ගන්නැ” යි කී ය. රජු ඒවා ගත්තේ ය. “ඒවායින් බිමට ගසන්නැ” යි ඔහු ඉශ්‍රායෙල් රජුට පැවසී ය. ඔහු තුන් වරක් ගසා නැවැත්වී ය. 19දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා ඔහු සමඟ කෝප වී, “ඔබට පස් හය වතාවක් බිමට ගසන්න තිබුණා. එසේ කළා නම්, ඔබ අරාම්වරුන් පරදා, මුළුමනින් ඔවුන් විනාශ කර දමන්නට තිබුණා. එහෙත් දැන් ඔබ ඔවුන් පරදවන්නේ තුන් වරක් පමණකැ” යි කීවේ ය.
20එලීෂා මිය ගියේ ය; ඔවුහු ඔහු භූමදාන කළහ.
වසරේ වසන්ත කාලයේ මෝවබ් කොල්ලකාර හමුදාවෝ රටට ඇතුල් වූහ. 21වරක්, ඉශ්‍රායෙල්වරු ඇතැම් දෙනෙක් මිනියක් භූමදාන කරමින් සිටියදී හදිසියේ ම කොල්ලකාර හමුදාවක් දුටුවහ; එබැවින් ඔවුහු මළමිනිය එලීෂාගේ සොහොනට අත් හළහ. මළමිනිය එලීෂාගේ ඇටකටුවල ගෑවුණු විට, ඒ මිනිහා පිබිද තම දෙපයින් සිට ගත්තේ ය.
22අරාම්හි රජු වූ හසායෙල් යෙහෝවාහාස්ගේ රාජ්‍ය කාලය පුරා ඉශ්‍රායෙල්ට පීඩා කළේ ය. 23එහෙත් ස්වාමින්වහන්සේ ඔවුන්ට කරුණාව පා අනුකම්පා කොට, ඔවුන් ගැන සැලකූයේ ආබ්‍රහම් ද ඊසාක් ද යාකොබ් ද සමඟ වූ ස්වකීය ගිවිසුම නිසා ය. ඔවුන් විනාශ කර දමන්නට හෝ තමන්වහන්සේ ඉදිරියෙන් ඔවුන් පන්නා දමන්නට හෝ අද දවස දක්වා ම උන්වහන්සේ අකමැති වූ සේක.
24අරාම්හි රජු වූ හසායෙල් මියැදුණේ ය. ඔහුට පසුව ඔහුගේ පුත් බෙන්-හදද් රජකමට පත් විය. 25යෙහෝවාහාස්ගේ පුත් යෙහෝවාෂ් තම පියා වූ යෙහෝවාහාස් වෙතින් හසායෙල්ගේ පුත් බෙන්-හදද් යුද්ධයේදී අල්ලාගෙන තිබූ නගර නැවත අල්ලා ගත්තේ ය.#13:25 හෙවත් යෙහෝවාෂ් වෙතින් හසායෙල් යුද්ධයේදී අල්ලාගෙන තිබූ නගර, හසායෙල්ගේ පුත් බෙන්-හදද් වෙතින් නැවත අල්ලා ගත්තේ ය. යෙහෝවාෂ් තෙවරක් ඔහු පැරදවී ය. එසේ ඔහු ඉශ්‍රායෙල් නගර ආපසු ලබා ගත්තේ ය.

දැනට තෝරාගෙන ඇත:

2 රාජාවලිය 13: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න