1 තෙසලෝනික 5
5
රැයෙහි එන සොරකු මෙන්
1තවද සහෝදරයිනි, කාල හා දින වකවානු ගැන ඔබට ලිවීම අවශ්‍ය නො වේ. 2මන්ද ස්වාමින්වහන්සේගේ දවස රැයෙහි එන සොරකු මෙන් අනපේක්ෂිත ව පැමිණෙන බැව් ඔබ හොඳහැටි දන්නා නිසා ය. 3දැන් සාමකාමී ය, සුරක්ෂිතයයි මිනිසුන් කියන කල, ගැබිනියකට ප්‍රසව වේදනා හටගන්නා සේ හදිසියේ ම විනාශය ඔවුන් කරා පැමිණෙනු ඇත. ඔවුන් එයින් කිසි සේත් ගැලවෙන්නේ නැත.
4එහෙත් සහෝදරයිනි, ඒ දවස සොරකු මෙන් ඔබ පුදුම කරන්නට, ඔබ සිටින්නේ අඳුරේ නො වේ. 5ඔබ හැම දෙනා ආලෝකයේ පුත්‍රයෝ ය; දහවලේ පුත්‍රයෝ ය. රාත්රියටවත්, අන්ධකාරයටවත් අප අයිති නැත. 6එබැවින් සෙස්සන් මෙන් නිදා සිටින්නන් නො වන්නට වග බලා ගනිමු; නිබඳ සෝදිසියෙන් හා සිහි කල්පනාවෙන් යුතු ව සිටිමු. 7නිදන්නන් නින්දට පත් වන්නේ රැයේ ය. මත්පැන් බොන්නන් මත් වන්නේ ද රැයේ ය. 8එහෙත් අප දවාලට අයිති බැවින්, ආරක්ෂක ළය වැස්මක් ලෙස ඇදහිල්ල හා ප්‍රේමය ද ආරක්ෂක හිස්-වැස්මක් ලෙස ගැලවීමේ බලාපොරොත්තුව ද පැලඳ සිහි කල්පනාවෙන් යුතු ව සිටිමු. 9මන්ද දෙවියන්වහන්සේ අප උදෙසා පෙර නියම කර ඇත්තේ උදහස නො ව, යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේ තුළින් ගැලවීම ලැබීම ය. 10අප පිබිද සිටියත්, නිදා සිටියත් ක්‍රිස්තුස්වහන්සේ හා එක් ව අප වෙසෙන පිණිස උන්වහන්සේ අප උදෙසා මැරුණු සේක. 11එබැවින් දැනටමත් ඔබ කරන්නාක් මෙන් එකිනෙකා දිරි ගන්වන්න; එකිනෙකා වර්ධනය කර ගන්න.
ඔවදන් හා පැතුමන්
12සහෝදරයිනි, ඔබ අතරේ සිටින, වෙහෙසී වැඩ කරන, ඔබට දැනමුතුකම් දෙන, ස්වාමින්වහන්සේ තුළ ඔබේ නායකයින්ට ගෞරව කරන්නැයි අපි ඔබෙන් ඉල්ලන්නෙමු. 13ඔවුන් කරන සේවය නිසා ප්‍රේමයෙන් යුතු ව ඔවුන් ඉතා උසස් කොට සලකන්න. එකිනෙකා හා සාමයෙන් ජීවත් වන්න. 14සහෝදරයිනි, අලස වූවන්ට අවවාද කරන ලෙසත්, බියසුළුවූවන් දිරිගන්වන ලෙසත්, දුබලවූවන්ට ආධාර කරන ලෙසත්, හැම කෙනකු සමඟ ම ඉවසිල්ලෙන් කටයුතු කරන ලෙසත් අපි ඔබෙන් උදක් ම ඉල්ලන්නෙමු. 15කිසිවකුටත් නපුරට නපුරක් නො කිරීමට වග බලා ගන්න. ඒ වෙනුවට එකිනෙකාටත්, හැම දෙනාටත් හොඳක් කිරීමට හැම විට උත්සාහ ගන්න.
16හැම විට ප්‍රීතියෙන් සිටින්න; 17නොකඩව යාච්ඤාවේ යෙදෙන්න. 18සෑම සියල්ලේදී ස්තුති දෙන්න. ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ඔබ උදෙසා දෙවියන්වහන්සේගේ කැමැත්ත එයයි.
19ආත්මයාණන්වහන්සේගේ දැල්වීම නො නිවාලන්න. 20දිවැස් වැකි පැවසීම සුළු නො කරන්න. 21ඒ හැම දේ විමසා බලා, හොඳ දේ වැලඳගන්න. 22හැම අයුරක නපුරෙන් වළකින්න.
23සාමයේ දෙවියන්වහන්සේ ම, ඔබ මුළුමනින් පවිත්‍ර කරන සේක්වා! යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේගේ ආගමනයේදී ඔබගේ මුළු ආත්මයත්, ජීවයත්, ශරීරයත් දෝෂ රහිත ව තබනු ලැබේවා! 24ඔබ කැඳවන තැනැන්වහන්සේ විශ්වසනීය ය. උන්වහන්සේ එය ඉටු කරන සේක.
25සහෝදරයිනි, අප උදෙසා යාච්ඤා කරන්න.
26සියලු සහෝදරයින්ට ශුද්ධ සිපාචාරයකින් සමාචාර කරන්න.
27මෙම ලිපිය සියලු සහෝදරයින්ට කියවන්නට සලස්වන මෙන් ස්වාමින්වහන්සේ ඉදිරියෙහි මම ඔබට නියෝග කරමි.
28යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේගේ අනුග්‍රහය ඔබ සමඟ පවතීවා!
දැනට තෝරාගෙන ඇත:
1 තෙසලෝනික 5: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.