1 රාජාවලිය 3:4-7
1 රාජාවලිය 3:4-7 SCV
රජු යාග පූජා ඔප්පු කරන්නට ගිබෙයොන්ට ගියේ ය. ප්‍රධානතම උස් තැන් පුදසුන වූයේ එයයි. සාලමොන් එම පූජාසනය මත දවන යාග පූජා දහසක් ඔප්පු කළේ ය. ගිබෙයොන්හි දී ස්වාමින්වහන්සේ සාලමොන්ට රෑ සිහිනයකින් පෙනුණු සේක; දෙවියන්වහන්සේ, “මා ඔබට දිය යුතු දේ ඉල්ලන්නැ” යි පැවසූ සේක. එවිට සාලමොන් පිළිතුරු දෙමින්, “ඔබවහන්සේ ඔබගේ සේවක, මගේ පියාණන් වූ දාවිත්ට ඉමහත් දයා කරුණාව දැක් වූ සේක. ඔහු ඔබවහන්සේට විශ්වසනීය ව, ධර්මිෂ්ඨකමින් ද හදේ අවංකකමින් ද සිටියේ ය. ඔබවහන්සේ ඒ ඉමහත් දයා කරුණාව දිගට ම දක්වමින්, මේ අද දවසේ තිබෙන ලෙස ඔහුගේ සිහසුනේ හිඳ ගැනීමට ඔහුට පුතකු දුන් සේක. “අහෝ ස්වාමින්වහන්ස, මගේ දෙවියන්වහන්ස, දැන් ඔබ, ඔබගේ සේවකයා රජ කොට, මා පිය දාවිත් වෙනුවට පත් කර තිබේ. එහෙත් මා තවමත් ලාබාලයි. මට පැවරුණු කාර්යය කෙලෙස කරන්නේදැයි හරි හැටි මා දන්නේ නැත.

