1 රාජාවලිය 3

3
ප්‍රඥාව ඉල්ලීම
1සාලමොන්, ඊජිප්තුවේ පාරාවෝ රජු සමඟ නෑදෑකම් ඇතිකර ගනිමින්, ඔහුගේ දියණිය ආවාහ කර ගත්තේ ය. තම මන්දිරයත්, ස්වාමින්වහන්සේගේ ගෘහයත්, යෙරුසලම වටා පවුරත් ඉදිකර නිම වන තුරු ඔහු ඇය දාවිත් පුරය වෙත කැඳවාගෙන ආවේ ය. 2කෙසේ වුව ද ඒ වන තුරුත් ස්වාමින්වහන්සේගේ නාමය උදෙසා ගෘහයක් ඉදිකර නො තිබූ බැවින් ජනයා යාග පූජා ඔප්පු කළේ උස් තැන් පුදසුන් මත ය. 3උස් තැන් පුදසුන් පිට යාග පූජා ඔප්පු කිරීම හා සුවඳ දුම් දැවීම හැරුණු කොට, තම පියා වූ දාවිත්ගේ නියමයන් අනුව හැසිරීමෙන් සාලමොන් ස්වාමින්වහන්සේට ප්‍රේම කළේ ය.
4රජු යාග පූජා ඔප්පු කරන්නට ගිබෙයොන්ට ගියේ ය. ප්‍රධානතම උස් තැන් පුදසුන වූයේ එයයි. සාලමොන් එම පූජාසනය මත දවන යාග පූජා දහසක් ඔප්පු කළේ ය. 5ගිබෙයොන්හි දී ස්වාමින්වහන්සේ සාලමොන්ට රෑ සිහිනයකින් පෙනුණු සේක; දෙවියන්වහන්සේ, “මා ඔබට දිය යුතු දේ ඉල්ලන්නැ” යි පැවසූ සේක.
6එවිට සාලමොන් පිළිතුරු දෙමින්, “ඔබවහන්සේ ඔබගේ සේවක, මගේ පියාණන් වූ දාවිත්ට ඉමහත් දයා කරුණාව දැක් වූ සේක. ඔහු ඔබවහන්සේට විශ්වසනීය ව, ධර්මිෂ්ඨකමින් ද හදේ අවංකකමින් ද සිටියේ ය. ඔබවහන්සේ ඒ ඉමහත් දයා කරුණාව දිගට ම දක්වමින්, මේ අද දවසේ තිබෙන ලෙස ඔහුගේ සිහසුනේ හිඳ ගැනීමට ඔහුට පුතකු දුන් සේක.
7“අහෝ ස්වාමින්වහන්ස, මගේ දෙවියන්වහන්ස, දැන් ඔබ, ඔබගේ සේවකයා රජ කොට, මා පිය දාවිත් වෙනුවට පත් කර තිබේ. එහෙත් මා තවමත් ලාබාලයි. මට පැවරුණු කාර්යය කෙලෙස කරන්නේදැයි හරි හැටි මා දන්නේ නැත. 8දැන් ඔබේ සේවකයා ගණන් කරන්නටවත්, ගණන කියන්නටවත් නො හැකි තරම් අසංඛ්‍ය වූ මහා ජනකායක් වන තෝරාගත් ඔබේ ජනයා අතර සිටී. 9එබැවින් ඔබේ ජනයා ආණ්ඩු කරන්නටත්, හොඳ-නරක ගැන විචාර බුද්ධියත් ඔබේ සේවකයාට වටහාගැන්මේ හදවතක් දුන මැනව; මන්ද ඔබේ මේ ශ්‍රේෂ්ඨ ජනතාව ආණ්ඩු කරන්නට හැකි සමතා කවුරු දැ?” යි පැවසී ය.
10සාලමොන් එසේ ඉල්ලූ බැවින් ස්වාමින්වහන්සේ ඊට ප්‍රසන්න වූ සේක. 11එබැවින් දෙවියන්වහන්සේ ඔහු අමතා, “ඔබ මේ දෑ ඉල්ලූ බැවින් ඔබට දීර්ඝායුෂවත්, ධන සම්පත්වත්, ඔබේ සතුරන්ගේ මරණයවත් නො ඉල්ලා යුක්තිය ඉටු කරන පිණිස ඥානය ඉල්ලූ බැවින්, 12ඔබ ඉල්ලූ දේ මම ඉටු කරන්නෙමි. එබැවින් ඔබ හා සමාන කෙනකු මින් පෙර සිටියේවත්, මින් පසු සිටින්නේවත් නැති තරමට මම ඔබට ප්‍රඥාවත්, විචාර බුද්ධියත් සහිත හදවතක් දෙන්නෙමි. 13ඒ හැර ඔබ නො ඉල්ලූ ධන සම්පත හා ගෞරවය මම ඔබට දෙන්නෙමි; ඔබගේ ජීවිත කාලය පුරා රජවරුන් අතරේ ඔබ හා සමාන කෙනෙක් සිටින්නේ නැත. 14ඔබේ පියා වූ දාවිත් පරිදි, ඔබ මගේ මාර්ගවල හැසිරෙමින්, මගේ නියෝගවලට හා ආඥාවලට කීකරු වන්නේ නම්, මම ඔබට දීර්ඝායුෂ දෙන්නෙමි” යි වදාළ සේක. 15එවිට ම සාලමොන් අවදි විය; එය සිහිනයක් වග එවිට ඔහුට අවබෝධ විය.
ඔහු යෙරුසලමට ආපසු අවුත්, ස්වාමින්වහන්සේගේ ගිවිසුම් කරඬුව ඉදිරිපිට සිටගෙන දවන යාග පූජා ද ශාන්ති පූජා ද ඔප්පු කළේ ය. ඉන්පසු ඔහු තම සේවකයින් සියලු දෙනාට භෝජන සංග්‍රහයක් පැවැත් විය.
ප්‍රඥාවත් පාලනයක්
16තවද වෙසඟනන් දෙදෙනෙක් රජු වෙත අවුත්, ඔහු ඉදිරියේ පෙනී සිටියහ. 17ඔවුන්ගෙන් එක් තැනැත්තියක් කතා කොට, “මා ස්වාමිනි, මේ ස්ත්‍රියත්, මාත් එක ම නිවසකයි වාසය කරන්නේ. ඇය මා සමඟ එම නිවසේ වාසය කරද්දී, මා දරුවකු බිහි කළා. 18මගේ දරුවා ඉපදී දින තුනක් ගත වූ පසු, මැය ද දරුවකු බිහි කළා. අප තනිවයි සිටියේ; අප දෙදෙනා හැර නිවසේ වෙන කිසිවකු සිටියේ නැහැ.
19“රාත්‍රියේ මැයගේ දරුවා ඇගේ ඇඟට යටවී මැරුණා. 20මැදියමේ මෑ අවදි වී, ඔබේ දාසී වන මා නිදා සිටි බැවින් මගේ පුතු මා වෙතින් ගෙන, ඇගේ ළයෙහි හොවා, ඇගේ මළ පුතු මා ළයෙහි තැබුවා. 21උදයේ මා මගේ පුතුට කිරි දෙන්නට අවදි වූ කල, මෙන්න! ඔහු මැරිලා. ඒත් උදයේ හොඳින් බැලූ කල, මා බිහි කළ පුතු ඔහු නො වන වග මා දුටුවා” යි පැවසුවා ය.
22එහෙත් අනෙක් තැනැත්තිය කතා කොට, “නැත! ජීවත් වන පුතු මගෙයි; මළ පුතු ඔබෙයි” කීවා ය.
එහෙත් පළමු තැනැත්තී, “නැත! මළ පුතු ඔබෙයි; ජීවත් වන තැනැත්තා මගේ” යි තරයේ කියා සිටියා ය. මෙසේ ඔවුන් දෙදෙනා රජු ඉදිරිපිට වාද කළහ.
23එවිට රජු, “එක් තැනැත්තියක්, ‘මගේ පුතු ජීවත් වෙයි. ඔබේ පුතුයි මැරුණේ’ කියා ද අනෙක් තැනැත්තිය ‘නැත! ඔබේ පුතුයි මැරුණේ. මගේ පුතු ජීවත් වෙයි’ කියා” ද කියයි.
24රජු ඉන්පසු, “මා වෙත කඩුවක් ගෙනෙන්නැ” යි පැවසී ය. එබැවින් ඔවුහු රජු වෙත කඩුවක් ගෙන ආහ. 25“පණ තියෙන දරුවා දෙකට කපා, කොටසක් එක් තැනැත්තියකට ද අනෙක අනෙක් තැනැත්තියට ද දෙන්නැ” යි ඔහු නියෝග කළේ ය.
26එවිට පණ ඇති පුතුගේ මව සිය පුතු කෙරේ අනුකම්පාවෙන් පිරී, රජුට කතා කොට, “අනේ මා ස්වාමිනී, පණ ඇති දරුවා ඇයට දෙන්න. ඔහු නො මරනු මැනවි” යි කීවා ය.
එහෙත් අනෙක් තැනැත්තී, “ඔහු ඔබටවත්, මටවත් ලැබෙන්නේ නැත; ඔහු කපන්නැ” යි කීවා ය.
27එවිට රජු තම තීන්දුව දෙමින්, “ජීවත් වන බිළිඳා පළමු තැනැත්තීට දෙන්න. ඔහු මරන්නට එපා; ඔහුගේ මව ඇය යැ” යි පැවසී ය.
28රජු විසින් දෙන ලද තීන්දුව පිළිබඳ ඇසූ, මුළු ඉශ්‍රායෙල් ජනතාව, රජුට ගෞරව භය දැක්වූහ. මන්ද යුක්තිය ඉටු කරන පිණිස, දෙවියන්වහන්සේගේ ප්‍රඥාව ඔහු සතු වග ඔවුන් දුටු බැවිනි.

දැනට තෝරාගෙන ඇත:

1 රාජාවලිය 3: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න