1 රාජාවලිය 19

19
එලියා පලා යයි
1එලියා කළ සියල්ලත්, ඔහු දිවැසිවර සියල්ලන් කඩු ගා, මැරූ හැටිත් ආහාබ් යෙසෙබෙල්ට දැන්වී ය. 2එවිට යෙසෙබෙල් පණිවුඩකරුවකු යවමින්, “හෙට මේ වෙලාවට ඔබේ ජීවිතය ඔවුන්ගෙන් කෙනකු මෙන් වීමට මා සැලැස්වූයේ නැත්නම්, දෙවිවරු මට එසේ ම ද ඊටත් වැඩි ලෙස ද කරත්වා” යි එලියාට කියා ඇරියා ය.
3එලියා භය වී, තම පණ බේරා ගන්නට පලා ගියේ ය. ඔහු යූදාහි බෙයර්ෂෙබා වෙත පැමිණ, තම සේවකයා එහි නවතා, 4දවසක ගමන්-දුරක් ගොස්, පාළුකරයට පිවිසුණේ ය. ඔහු රොතෙම් ගහක් යටට අවුත්, හිඳගෙන, තමාට මරණය ඉල්ලා යාච්ඤා කළේ ය. “ස්වාමින්වහන්ස, මේ හොඳට ම ඇති; මගේ ජීවිතය ගත මැනව; මන්ද මා මගේ මුතුන් මිත්තන්ට වඩා උතුම් නැතැ” යි පැවසී ය. 5ඉන්පසු ඔහු රොතෙම් ගහ යට වැතිර නිදා ගත්තේ ය.
එවිට මෙන්න, දේව දූතයෙක් ඔහුට අත ගසා, කතා කොට, “නැගිට, කෑම කන්නැ” යි කීවේ ය. 6ඔහු වටපිට බැලුවේ ය. එවිට මෙන්න! තම හිස ළඟ ගිනි අඟුරු පිට පිලිස්සූ රොටියක් හා ජල බඳුනක් විය; ඔහු කා, බී යළි වැතිරුණේ ය.
7 ස්වාමින්වහන්සේගේ දූතයා දෙවන වරට අවුත්, ඔහුට අත ගසා, “නැගිට කන්න. මන්ද ගමන ඔබට දුර වැඩි” යි කීවේ ය. 8එවිට ඔහු නැගිට කෑවේ ය, බීවේ ය. ඔහු ඒ කෑමෙන් ශක්තිමත් වී, දහවල් හතළිහක් හා රෑ හතළිහක් ගමන් කර, දෙවියන්වහන්සේගේ කන්ද වන හොරේබ් වෙත ළඟා විය. 9ඔහු එහි ගුහාවකට ඇතුල් වී, රැය ගත කළේ ය.
ස්වාමින්වහන්සේ ඇමතීම
ස්වාමින්වහන්සේගේ වචනය ඔහු වෙත පැමිණ, “එලියා, නුඹ මෙහි කුමක් කරනවා දැ?” යි විමසී ය.
10ඔහු පිළිතුරු දෙමින්, “සේනාංකවල ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ කෙරේ මා ඉතා උද්යෝගී ව සිටියා; ඉශ්‍රායෙල්වරුන් ඔබගේ ගිවිසුම අත්හැර දමා, ඔබගේ පූජාසන කඩා බිඳ, ඔබගේ දිවැසිවරුන් කඩුවෙන් මරා දැමුවා. ඉතිරි ව සිටින්නේ මා පමණයි; දැන් ඔවුන් මා ද මරා දමන්නට තැත් කරනවා” යි පැවසී ය.
11එවිට උන්වහන්සේ, “පිටතට ගොස්, කන්ද උඩ ස්වාමින්වහන්සේ අභිමුඛයේ සිටගන්න. මන්ද ස්වාමින්වහන්සේ පසු කර යන සේකැ” යි පැවසූ සේක.
එවිට මහ බලවත් සුළඟක් හමා, ස්වාමින්වහන්සේට පෙරටුව කඳු ඉරා, පර්වත බිඳ හෙළී ය; එහෙත් ස්වාමින්වහන්සේ සුළඟේ නො වූ සේක. සුළඟට පසු, භූමිකම්පාවක් විය. එහෙත් ස්වාමින්වහන්සේ භූමිකම්පා වේ නො වූ සේක. 12භූමිකම්පාවට පසු ගින්නක් විය. එහෙත් ස්වාමින්වහන්සේ ගින්නේ ද නො වූ සේක. ගින්නට පසු, සිහින් කටහඬක් විය. 13එලියා ඒ ඇසූ කල, තම සළුවෙන් සිය මුහුණ වසාගෙන, පිටතට අවුත්, ගුහාවේ දොරකඩ සිට ගත්තේ ය.
එවිට ඔහු වෙත පැමිණි කටහඬක්, “එලියා, නුඹ මෙහි මක්කරනවා දැ?” යි ඇසී ය.
14ඔහු පිළිතුරු දෙමින්, “සේනාංකවල ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ කෙරේ මා ඉතා උද්යෝගී ව සිටියා. ඉශ්‍රායෙල්වරුන් ඔබගේ ගිවිසුම අත්හැර දමා, ඔබගේ පූජාසන කඩා බිඳ, ඔබගේ දිවැසිවරුන් කඩුවෙන් මරා දැමුවා. ඉතිරි ව සිටින්නේ මා පමණයි; දැන් ඔවුන් මා ද මරා දමන්නට තැත් කරනවා” යි පැවසී ය.
15 ස්වාමින්වහන්සේ ඔහුට කතා කොට, “නුඹ ආ මාර්ගයෙන් ආපසු ගොස්, දමස්කයේ කාන්තාරයට යන්න. එහි ගිය පසු, හසායෙල් අරාම්හි රජු වශයෙන් ආලේප කරන්න. 16තවද ඉශ්‍රායෙල්හි රජ වීමට, නිම්ෂීගේ පුත් යේහූ ආලේප කරන්න. ආබෙල්-මෙහෝලාහි ෂාෆාට්ගේ පුත් එලීෂා, නුඹ වෙනුවට දිවැසිවරයා වශයෙන් ආලේප කරන්න. 17හසායෙල්ගේ කඩුවෙන් ගැලවෙන අය, යේහූ මරා දමනු ඇත. යේහූගේ කඩුවෙන් ගැලවෙන අය, එලීෂා මරා දමනු ඇත. 18එසේ වුවත් බාල් දෙවියාට තම දණ නො නැමූ, තම මුවෙන් ඔහු සිප නො ගත් හත්දහසක් දෙනා ඉශ්‍රායෙල්හි මම ඉතිරි කර ගනිමි” යි පැවසූ සේක.
එලීෂා කැඳවීම
19ඉන්පසු එතැනින් පිටත් ව ගිය එලියාට ෂාෆාට්ගේ පුත් එලීෂා මුණගැසුණේ ය. ඔහු ගොන් දොළොස් බානක් සමඟ හාමින් සිටියේ ය. ඔහු දොළොස් වන බාන දක්කද්දී, එලියා ඔහු වෙත ගොස්, තම සළුව ගලවා ඔහු පිට හෙළී ය. 20එවිට එලීෂා තම ගොනුන් අත්හැර එලියා පසු පස දිව ගොස්, කතා කොට, “මගේ පියාත්, මගේ මවත් සිඹ එන්නට අවසර දෙන්න; ඉන්පසු මම ඔබ අනුව එන්නෙමි” යි කී ය.
එවිට එලියා, “ආපහු යන්න; මොනවද මා ඔබට කළේ?” යි ඇසී ය.
21එවිට ඔහු වෙතින් ආපසු හැරී ගිය එලීෂා, තම ගොන් බාන මරා, ගොනුන්ගෙන් වියගහ ගෙන, දරට යොදා මස් පිළියෙල කළේ ය; මිනිසුන්ට ඒවා බෙදා දුන් කල ඔවුහු ඒවා කෑහ. එලීෂා ඉන්පසු එලියා පසු පස ගොස්, ඔහුගේ සහායකයා වූයේ ය.

දැනට තෝරාගෙන ඇත:

1 රාජාවලිය 19: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න