1 ලේකම් 10

10
සාවුල්ගේ මරණය
1තවද පිලිස්තිවරු ඉශ්‍රායෙල්ට එරෙහිව සටන් වැදුණහ. ඉශ්‍රායෙල්වරු ඔවුන් ඉදිරියෙන් පලා ගොස්, ගිල්බෝව කන්දේදී මැරුම් කා, වැටුණහ. 2පිලිස්තිවරු, සාවුල් හා ඔහුගේ පුතුන් පසු පස දැඩි ව ලුහුබැඳ ගොස්, සාවුල්ගේ පුතුන් වූ යොනාතාන් ද අබිනාදාබ් ද මල්කී-ෂුවා ද මරා දැමූහ. 3සටන සාවුල්ට එරෙහිව බිහිසුණු විය. ඔහු දුනුවායන්ට අසු විය. දුනුවායෝ ඔහුට තුවාල කළහ.
4එවිට සාවුල් තම ආයුධ දරන්නාට කතා කොට, “නුඹේ අසිපත ඇද, මා පසාරු කර ගෙන යෑමට මට අනිනු! නැතහොත් මේ චර්ම-අඡේදිතයන් අවුත්, මට ඇන, මට අවනම්බු කරනු ඇතැ” යි පැවසී ය.
එහෙත් ඔහුගේ ආයුධ දරන්නා අතිශයෙන් බියට පත් ව සිටි බැවින් එසේ කළේ නැත. එබැවින් සාවුල් තම අසිපත ගෙන, ඒ මත වැටුණේ ය. 5සාවුල් මැරුණු වග දුටු ඔහුගේ ආයුධ දරන්නා ද තම අසිපත මත වැටී, මළේ ය. 6මෙසේ සාවුල් ද ඔහුගේ පුතුන් තිදෙනා ද ඔහුගේ මුළු වංශය ද එක් ව මළහ.
7තම හමුදාව පලා ගොස් ඇති වගත්, සාවුල් හා ඔහුගේ පුතුන් මැරුණු වගත් දුටු මිටියාවතේ සිටි සියලු ඉශ්‍රායෙල් ජනයා තම නගර අත්හැර පලා ගියහ. පිලිස්තිවරු අවුත්, ඒවායේ පදිංචි වූහ.
8පසු දා පිලිස්තිවරු මැරුම්කෑවුන්ගෙන් කොල්ලකෑමට පැමිණි කල, සාවුල් හා ඔහුගේ පුතුන් ගිල්බෝව කන්දේ වැටී සිටිනු දුටුවහ. 9ඔවුහු ඔහු නිරුවත් කොට, ඔහුගේ හිසත්, ඔහුගේ ආයුධත් ගෙන, තම දේව පිළිම හා තම ජනයා අතරේ එපුවත් පතළ කරන පිණිස පිලිස්ති දේශය මුළුල්ලේ පණිවුඩකරුවන් යැවූහ. 10ඔවුහු ඔහුගේ ආයුධ තම දෙවියන්ගේ දේවාලෙහි තබා, ඔහුගේ හිස දාගෝන්ගේ දෙවොලෙහි එල්ලා තැබූහ.
11යාබේෂ්-ගිලියාද් වාසී සියල්ලන් පිලිස්තිවරුන් සාවුල්ට කළ දෑ ඇසූ විට, 12ඔවුන්ගේ සියලු වික්‍රමාන්විත පුරුෂයෝ අවුත්, සාවුල්ගේ ද ඔහුගේ පුතුන්ගේ ද මළ-සිරුරු රැගෙන ගියහ. ඔවුහු ඒවා යාබේෂ් වෙත ගෙනැවිත්, ඔවුන්ගේ ඇටකටු ඒලා ගස යට භූමදාන කර, හත් දවසක් නිරාහාර ව සිටියහ.
13සාවුල් ස්වාමින්වහන්සේට අවිශ්වාසවන්ත වූ බැවින් මෙසේ මළේ ය; ඔහු ස්වාමින්වහන්සේගේ වචනය රක්ෂා කළේ නැත. ඔහු ආත්ම බන්ධනකාරියකගෙන් පවා උපදෙස් ලබා ගත් නමුදු, 14ස්වාමින්වහන්සේගෙන් විමසුවේ නැත. එබැවින් ස්වාමින්වහන්සේ ඔහු නසා, ඔහුගේ රජකම යෙස්සේගේ පුත් දාවිත්ට පැවරූ සේක.

දැනට තෝරාගෙන ඇත:

1 ලේකම් 10: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න