ජෝබ් 37:1-24

ජෝබ් 37:1-24 SNRV

“චණ්ඩ මාරුත නිසා මහද සැලී දැඩි ලෙස වෙවුළයි. ඔබ හැම එතුමාණන්ගේ ගිගුරුම් හඬටත්, එතුමාණන් මුවින් නික්මෙන ගර්ජනාවටත් හොඳින් සවන් දෙන්න. එතුමාණෝ ඒ හඬ අහස පුරා විහිදුවන සේක; විදුලිය පොළොවේ සීමාන්ත දක්වා පතුරුවන සේක. එවිට එතුමාණන්ගේ ගිගුරුම් හඬ ද ප්‍රතාපවත් ගර්ජනා හඬ ද දිගට ම ඇසේ. විදුලිය නොනැවතී දිගට යයි. දෙවිඳුන්ගේ හඬ පුදුම ලෙස ගිගුරුම් දෙයි; අපට තේරුම් ගත නොහැකි අරුමපුදුම දේ සිදු වෙයි. මිහි මත හිම පතනය වන ලෙස ද මොරසූරන වැස්ස වහින ලෙස ද එතුමාණෝ අණ දෙන සේක. සියල්ල එතුමාණන්ගේ ක්‍රියා බව සියලු මිනිසුන් දැනගන්න පිණිස සෑම ක්‍රියාවකට ම එතුමාණෝ මුද්‍රාව තබන සේක. එකල මෘගයෝ ගුහාවලට වදිති. එහි සුරක්ෂිත ව ලගිති. දකුණු දිශාවෙන් සුළි සුළඟ ද උතුරු දිශාවෙන් තද ශීත ද හමා එයි. දෙවිඳුන්ගේ හුස්මෙන් වතුර මිදෙයි; ඒවා තද අයිස් කැටිවලට හැරෙයි. එතුමාණෝ දියෙන් බර වැහි වලාකුළු එවන සේක. වලාකුළු මැදින් විදුලිය පැතිර යයි. දේව ආඥා අනුව විදුලිය කොටනු ඇත. දේව අදහස අනුව ලොව පුරා විදුලිය දුවයි. දඬුවමක් වශයෙන් හෝ පොළොව සරුසාර වන පිණිස හෝ දිව්‍ය කරුණාවේ ලකුණක් වශයෙන් හෝ මේ සියල්ල සිදු වෙයි. ජෝබ්, මඳක් නවතින්න, මේ අසන්න. දෙවිඳුන්ගේ පුදුම ක්‍රියා ගැන කල්පනා කරන්න. දෙවිඳාණන් අණ දී වලාකුළු අතරින් විදුලිය බැබළෙන්නට සලස්වන්නේ කෙසේ දැ යි ඔබ දන්නෙහි ද? සර්ව ප්‍රඥාවෙන් යුත් දෙවිඳුන්ගේ විස්මයජනක මැවිලි වන වලාකුළු අහසේ පාවෙන හැටි ඔබ දන්නෙහි ද? දකුණු දෙසින් හමන සුළඟ නැවතුණ කල, ඔබේ ඇඟට රස්නය එන්නේ කෙසේ දැ යි ඔබ දන්නෙහි ද? අහස ලෝහමය තලයක් මෙන් සවි ඇති දෙයක් කිරීමට දෙවිඳුන්ට මෙන් ඔබටත් හැකි ද? අප දෙවිඳුන්ට කිය යුතු දෙය ඔබ අපට උගන්වන්න; අපේ බුද්ධිය අඳුරු ය; එතුමන්ට කියන්නට අපට කිසි දෙයක් නැත. ‘කතා කරන්නට මට ඉඩ දෙන්නැ’යි මා කියන්නේ කොහොම ද? මිනිසෙකු වන මා නාස්ති කිරීමට එතුමාණන්ට මා ඉඩ දෙන්නේ මන් ද? සුළඟ හමා අහස පිවිතුරු වී ඇත. ඇස් නිලංකාර කරන ආලෝකය විහිදී බැබළෙයි. මේ දෙනෙතින් එය බැලිය නොහැකි ය. උතුරුදිග රන්වන් කාන්තිය විහිදී ඇත. දෙවිඳුන්ගේ මහිමය අප තුළ බිය දනවයි. දෙවිඳුන්ගේ මහානුභාවය අචින්ත්‍ය ය, බලපරාක්‍රමයෙන් ද යුක්තියෙන් ද දැහැමිකමෙන් ද එතුමාණෝ උත්තරීතර ය. එතුමාණන්ට ළඟා වීමට අපට නොහැකි ය. එබැවින් මනුෂ්‍යයෝ එතුමාණන්ට බිය වෙති. ‘අපි පැණවත්හු ය’යි සිතන්නවුන් එතුමාණෝ නොසලකන සේක.”