ජෝබ් 37

37
1“චණ්ඩ මාරුත නිසා මහද සැලී දැඩි ලෙස වෙවුළයි.
2ඔබ හැම එතුමාණන්ගේ ගිගුරුම් හඬටත්, එතුමාණන් මුවින් නික්මෙන ගර්ජනාවටත් හොඳින් සවන් දෙන්න.
3එතුමාණෝ ඒ හඬ අහස පුරා විහිදුවන සේක;
විදුලිය පොළොවේ සීමාන්ත දක්වා පතුරුවන සේක.
4එවිට එතුමාණන්ගේ ගිගුරුම් හඬ ද ප්‍රතාපවත් ගර්ජනා හඬ ද දිගට ම ඇසේ.
විදුලිය නොනැවතී දිගට යයි.
5දෙවිඳුන්ගේ හඬ පුදුම ලෙස ගිගුරුම් දෙයි;
අපට තේරුම් ගත නොහැකි අරුමපුදුම දේ සිදු වෙයි.
6මිහි මත හිම පතනය වන ලෙස ද මොරසූරන වැස්ස වහින ලෙස ද එතුමාණෝ අණ දෙන සේක.
7සියල්ල එතුමාණන්ගේ ක්‍රියා බව සියලු මිනිසුන් දැනගන්න පිණිස සෑම ක්‍රියාවකට ම එතුමාණෝ මුද්‍රාව තබන සේක.
8එකල මෘගයෝ ගුහාවලට වදිති.
එහි සුරක්ෂිත ව ලගිති.
9දකුණු දිශාවෙන් සුළි සුළඟ ද උතුරු දිශාවෙන් තද ශීත ද හමා එයි.
10දෙවිඳුන්ගේ හුස්මෙන් වතුර මිදෙයි;
ඒවා තද අයිස් කැටිවලට හැරෙයි.
11එතුමාණෝ දියෙන් බර වැහි වලාකුළු එවන සේක.
වලාකුළු මැදින් විදුලිය පැතිර යයි.
12දේව ආඥා අනුව විදුලිය කොටනු ඇත.
දේව අදහස අනුව ලොව පුරා විදුලිය දුවයි.
13දඬුවමක් වශයෙන් හෝ පොළොව සරුසාර වන පිණිස හෝ දිව්‍ය කරුණාවේ ලකුණක් වශයෙන් හෝ මේ සියල්ල සිදු වෙයි.
14ජෝබ්, මඳක් නවතින්න, මේ අසන්න.
දෙවිඳුන්ගේ පුදුම ක්‍රියා ගැන කල්පනා කරන්න.
15දෙවිඳාණන් අණ දී වලාකුළු අතරින් විදුලිය බැබළෙන්නට සලස්වන්නේ කෙසේ දැ යි ඔබ දන්නෙහි ද?
16සර්ව ප්‍රඥාවෙන් යුත් දෙවිඳුන්ගේ විස්මයජනක මැවිලි වන වලාකුළු අහසේ පාවෙන හැටි ඔබ දන්නෙහි ද?
17දකුණු දෙසින් හමන සුළඟ නැවතුණ කල, ඔබේ ඇඟට රස්නය එන්නේ කෙසේ දැ යි ඔබ දන්නෙහි ද?
18අහස ලෝහමය තලයක් මෙන් සවි ඇති දෙයක් කිරීමට දෙවිඳුන්ට මෙන් ඔබටත් හැකි ද?
19අප දෙවිඳුන්ට කිය යුතු දෙය ඔබ අපට උගන්වන්න;
අපේ බුද්ධිය අඳුරු ය;
එතුමන්ට කියන්නට අපට කිසි දෙයක් නැත.
20‘කතා කරන්නට මට ඉඩ දෙන්නැ’යි මා කියන්නේ කොහොම ද?
මිනිසෙකු වන මා නාස්ති කිරීමට එතුමාණන්ට මා ඉඩ දෙන්නේ මන් ද?
21සුළඟ හමා අහස පිවිතුරු වී ඇත.
ඇස් නිලංකාර කරන ආලෝකය විහිදී බැබළෙයි.
මේ දෙනෙතින් එය බැලිය නොහැකි ය.
22උතුරුදිග රන්වන් කාන්තිය විහිදී ඇත.
දෙවිඳුන්ගේ මහිමය අප තුළ බිය දනවයි.
23දෙවිඳුන්ගේ මහානුභාවය අචින්ත්‍ය ය, බලපරාක්‍රමයෙන් ද යුක්තියෙන් ද දැහැමිකමෙන් ද එතුමාණෝ උත්තරීතර ය.
එතුමාණන්ට ළඟා වීමට අපට නොහැකි ය.
24එබැවින් මනුෂ්‍යයෝ එතුමාණන්ට බිය වෙති.
‘අපි පැණවත්හු ය’යි සිතන්නවුන් එතුමාණෝ නොසලකන සේක.”

දැනට තෝරාගෙන ඇත:

ජෝබ් 37: SNRV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න