ජෝබ් 23:1-17

ජෝබ් 23:1-17 SNRV

එවිට ජෝබ් මෙසේ පිළිතුරු දුන්නේ ය: “අද මාගේ විලාපය කටුක ය. දෙවිඳුන්ගෙන් මා ලත් පහර බරපතල නිසා කෙඳිරිගාමි. අහෝ! එතුමන්ගේ නඩු ආසනය ළඟට පැමිණෙන්නත්, එතුමන් හමුවන්නත් මට පුළුවන්කමක් ඇත්නම්. එතුමන් ඉදිරියෙහි මාගේ නඩුව පිළිවෙළින් කියා සිටිමි. කථිකයෙකු මෙන් හැම තර්කයක් ම ඉදිරිපත් කරමි. එවිට එතුමන් පවසන දෙය තේරුම් ගෙන, මට දෙන උත්තරය දැනගන්නෙමි. එතුමන් සිය බල මහිමය පා මා සමඟ වාද කරනු ඇද් ද? නැත. එතුමාණෝ මා කියන දෙයට සවන් දෙන සේක. එහි දී, මා වැනි දැහැමි කෙනෙකු සමඟ වාද කළ බව එතුමන්ට පෙනෙනු ඇත. විනිසකරුවන් විසින් මම නිදහස් කරනු ලබන්නෙමි. මම පෙරදිග බලා ගියෙමි; දෙවිඳාණෝ එහි නැත. අපරදිග බලා ගියෙමි; එතුමෝ එහිත් නැත. මම උතුරට හැරී, මම දකුණට හැරී, එතුමන් සෙව්වෙමි. ඒ කිසි තැනක එතුමෝ දකින්නට නැත. එහෙත්, මා ගන්න හැම පියවර ම එතුමාණෝ දන්න සේක; මා පරීක්ෂණයකට භාජන කළොත් මා තනි රත්රන් බව දැනගනු ඇත. මට එතුමන් නියම කොට ඇති මාවතෙහි ම මම ගමන් කරමි. එතුමන්ගේ නියෝගවලින් ඉවත් ව නොයමි. එතුමන්ගේ ආඥා මම නිරතුරු පිළිපදිමි. එතුමන්ගේ වදන් මා හද තුළ නිදන් කර ගනිමි. එතුමාණන් යමක් තීරණය කළොත් එය වෙනස් නොවන්නේ ය; ඒවා වෙනස් කළ හැක්කේ කාට ද? එතුමාණෝ තමන් සිතූ දේ ඉටු කරන සේක. මා පිළිබඳ සිය අදහස එතුමන් සපුරාලනු ඇත; එවැනි අදහස් එතුමන්ගේ සිතෙහි තව බොහෝ ඇත. ඒ නිසා එතුමාණන් හමු වීමට මම බිය වෙමි. එතුමන් ගැන සිතන විට මම බිය පත් වෙමි. සව් බලැති දෙවි තුමාණෝ මහද දුබල කළ සේක; එතුමාණෝ මාගේ සිතෙන් දිරිය පහකළ සේක. අඳුරින් මම වට වී සිටිමි; එතුමන් නොපෙනෙන ලෙස ගන’ඳුරින් මාගේ මුහුණ ආවරණය වී තිබේ.