ජෝබ් 11

11
ශෝපර්ගේ පළමු වන කතාව
1එවිට නයමාතීය ශෝපර් පිළිතුරු දෙමින් මෙසේ කී ය:
2“මේ වාග් ප්‍රවාහයට පිළිතුරක් දිය යුතු නොවේ ද?
කෙනෙකු බොහෝ කතා කරන පළියට ඔහු වරදින් නිදහස් ද?
3සීමාවක් නැති ඔබේ ප්‍රලාපවලින් අප නිහඬ කිරීමට ඔබ සිතන්නෙහි ද?
ඔබ අනන්මනන් දොඩන විට යමෙකු ඔබට දොස් නොනඟා සිටිනු ඇද් ද?
4ඔබ පවසන දෙය ඇත්ත යයි ඔබ සිතන්නෙහි ය.
‘දෙවිඳුනි, ඔබ අබිමුව මම නිදොස් යැ’යි ඔබ කියන්නෙහි ය.
5දෙවියන් වහන්සේ සිය මුව විදහා ඔබට කතා කරන සේක් නම්,
මම කොතරම් කැමැති ද?
6එවිට එතුමාණන් තමන් ප්‍රඥාව නන් වැදෑරුම් බවත්, මිනිස් මනසින් දත නොහැකි ගැඹුරු දේ තිබෙන බවත් ඔබට පෙන්වනු ඇත.
දෙවියන් වහන්සේ ඔබට දී ඇත්තේ දිය යුතු දඬුවමට අඩුවෙන් බව දැනගන්න.
7ඔබට දෙවිඳුන්ගේ අබිරහසේ ගැඹුර දැකිය හැකි ද?
සව් බලැති එතුමන්ගේ සම්පූර්ණත්වය දැක ගත හැකි ද?
8එය අහසටත් වඩා උස ය;
ඔබට කළ හැකි කිසිවක් ඇද් ද?
එය පාතාල ලෝකයට වඩා ගැඹුරු ය;
ඔබට දැනගත හැකි කිසිවක් ඇද් ද?
9එය මහ පොළොවට වඩා විශාල ය.
මුහුදට වඩා පළල ය.
10එතුමාණන් අවුත් ඔබ හිරබාරයට ගෙන නඩු ආසනය වෙත ගෙන ගියොත්, එය වැළැක්විය හැකි කාට ද?
11එතුමාණෝ හොර බොරු කරන අය මැනවින් දන්න සේක.
ඔවුන්ගේ නපුරු ක්‍රියා දුටු විට එතුමන්ට නොසලකා සිටිය හැකි ද?
12මොළේ නැති කෙනෙකුට නැණවත් විය හැකි ද?
වල් බූරු පැටියෙකු හීලෑ කළ හැකි ද?
13ඔබේ සිත හරි මඟ යවන්න;
දොහොත් මුදුන් දී දෙවිඳුන් වෙත හැරෙන්න.
14ඔබ අත වරද තිබේ නම්, එය ඉවත ලන්න;
ඔබේ නිවෙසෙහි අයුක්තියට ඉඩ නොදෙන්න.
15එවිට ඔබට නිදොස් ව, හිස ඔසවා සිටිය හැකි ය.
බිය සැක නැති ව සුරක්ෂිත ව විසිය හැකි ය.
16ඔබේ දුක් ගැනවිලි, බැස ගිය ගංවතුරක් මෙන් ඔබට අමතක වනු ඇත.
17ඔබේ ජීවිතය මද්දහනේ හිරුට වඩා දීප්තිමත් වනු ඇත.
ඔබේ ගන’ඳුර හිරු උදාවට හැරෙනු ඇත.
18බලාපොරොත්තු ඇති බැවින් ඔබට ආත්ම විශ්වාසය ඇත;
ඔබ සිත් සතොසින් සුරක්ෂිත ව සැතපෙනු ඇත.
19ඔබ කිසිවෙකුගෙන් බියක් නැති ව සුව සේ නිදනු ඇත.
බොහෝ දෙනෙකු ඔබෙන් කරුණාව සොයා එනු ඇත.
20එහෙත්, දුදනන්ගේ ඇස් නොපෙනී යයි;
ගැළවීමේ මඟක් ඔවුන්ට නැත.
ඔවුන්ට ඇති එක ම පැතුම මරණය වේ.”

දැනට තෝරාගෙන ඇත:

ජෝබ් 11: SNRV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න