හිතෝපදේශ 7

7
1මාගේ පුත්‍රය, මාගේ ඔවා බස් පිළිපදින්න;
මාගේ ආඥා සිතෙහි තැන්පත් කරගන්න.
2මාගේ ආඥා පැවැත්වුවහොත් ඔබට ජීවනය ඇත;
මාගේ උවදෙස් ඔබේ දෙනෙත මෙන් රැකගන්න.
3ඇඟිලිවල මුදු මෙන් ඒවා නිරතුරු තබාගන්න, ඔබේ සිත් නමැති පුවරුවෙහි ඒවා සටහන් කරගන්න.
4ප්‍රඥාව ඔබේ සොහොයුරිය මෙන් ද නැණනුවණ ඔබේ මිතුරිය මෙන් ද සලකන්න.
5එවිට ඔබ දුරාචාර කාන්තාවගෙන් ද ඉච්චා බස් දොඩන වෙසඟනගෙන් ද ආරක්ෂා වනු ඇත.
දුරාචාර ස්ත්‍රියගේ මායා
6එක දිනක්, මාගේ ගෙයි කවුළුවේ ගරාදි අස්සෙන් පිටත බැලුවෙමි.
7එවිට අනුවණයන් අතර මෝඩ තරුණයෙකු සිටිනු දුටිමි.
8ඔහු, අඳුර වැටෙද්දී, ගොම්මං වේලාවේ දී, මැදියම් රෑ කළුවරෙහි දී,
9ඇගේ ගේ අද්දර වීදිය පසු කොට ඇගේ ගෙට යන මාවතෙහි ගමන් කෙළේ ය.
10එවිට ඈ වෙසඟනකගේ වස්ත්‍ර හැඳ, රැවටිලිකාර ස්ත්‍රියක මෙන් ඔහුට මුණගැසුණා ය.
11ඈ අඟරදඟර කරන චපල ස්ත්‍රියකි, ඈ කොයි වේලාවෙත් ගෙදර නැත.
12විටක ඈ වීදිවල ද විටක ඈ වෙළෙඳ පොලේ ද සෑම මංසන්දියක ද සෝදිසියෙන් බලා සිටියි.
13මෙසේ ඈ ඔහු අල්ලා සිඹගෙන, විළි ලජ්ජා කිසිත් නැති ව ඔහුට මෙසේ කීවා ය:
14“මම අද මාගේ පුද පූජා පැවැත්වීමි;
බාරහාර ඉෂ්ට කෙළෙමි.
15ඔබ හමු වන පිණිස ආශාවෙන් ඔබ සොයා ආයේ ඒ නිසා ය.
දැන් ඉතින් ඔබ මට හමු විය.
16මිසරයේ පාට පාට නූල්වලින් කළ විසිතුරු ඇතිරිලි මා යහනෙහි අතුරා ඇත.
17සුවඳලාටුවලින් ද අගිල්වලින් ද කුරුඳුවලින් ද මාගේ යහනට සුවඳ කැවීමි.
18එන්න, උදය වන තුරු පෙම් බඳුනෙන් බොමු;
ආදරය බී මත්වෙමු.
19අද මාගේ පුරුෂයා ගෙදර නැත;
ඔහු ඈත දුර ගමනක් ගොස් ඇත.
20ඔහු බොහෝ මුදල් රැගෙන ගියේ ය;
මහ පෝය වන තුරු ඔහු ගෙදර එන්නේ නැත.”
21ඇගේ මේ රැවටිලි වදනින්, ඈ ඔහු කැමැති කරවා, ඉච්චා තෙපුලින් ඈ ඔහු වශී කරගන්නී ය.
22එකෙණෙහි ම ඔහු, ඝාතනයට ගෙන යන ගොනෙකු මෙන් ද මලපුඩුවට දුවන මුවෙකු මෙන් ද
23උගුලට වහා පියාඹා යන පක්ෂියෙකු මෙන් ද ඇය කැටුව ගියේ ය.
ඊගස ඔහුගේ අක්මාව විදගෙන යන තුරු, තමන් අනතුරෙහි සිටින බව ඔහු නොදත්තේ ය.
24එබැවින් මාගේ පුත්‍රය, මට සවන් දෙන්න, මා පවසන ඔවා බසට අවධානය යොමු කරන්න.
25ඇගේ මාවත්වල යාමට ඔබේ සිත නොපෙළඹේ වා!
ඇගේ මාර්ගවල මං මුළා නොවන්න.
26බොහෝ දෙනෙක් ඇගෙන් නාස්තියට පත් වූ හ;
ඈ නිසා විපතට පත් වූ අයගේ ගණන් විශාල ය.
27ඇගේ නිවස පාතාලයට යන මඟ ය, මරුගේ මැදිරිවලට බැස යන මාවත ය.

දැනට තෝරාගෙන ඇත:

හිතෝපදේශ 7: NRSV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න