විනිශ්චයකාරයන්ගේ පොත 9

9
අබිමෙලෙක් කැරළිගැසීම සහ පරාජයවීම
1යෙරුබ්බාල්ගේ පුත්‍රවූ අබිමෙලෙක් ෂෙකෙම්හි සිට තමාගේ මවුගේ සහෝදරයන් ළඟට ගොස් ඔවුන්ටත් තමාගේ මවුගේ පිය වංශයේ මුළු පවුලටත් කථාකොට: 2නුඹලාට කොයි එක වඩා හොඳද–යෙරුබ්බාල්ගේ සියලු පුත්‍රයන් එනම් සැත්තෑදෙනෙක් නුඹලා කෙරෙහි අධිපතිකම්කිරීමද නොහොත් එක්කෙනෙක් නුඹලා කෙරෙහි අධිපතිකම්කිරීමද කියා ෂෙකෙම්හි සියලු වැසියන් ඉදිරියෙහි කථාකරනලෙස නුඹලාගෙන් ඉල්ලමි; මා වනාහි නුඹලාගේ ඇට හා මාංසය බවත් සිහිකරන්නැයි කීවේය. 3ඔහුගේ මවුගේ සහෝදරයෝ ෂෙකෙම්හි සියලු වැසියන් ඉදිරියෙහි මේ සියලු වචන ඔහු ගැන කීවෝය. ඔවුන්ගේ සිත්ද අබිමෙලෙක් දෙසට ඇදීගියේය; මක්නිසාද: ඔහු අපේ සහෝදරයායයි ඔව්හු කීවෝය. 4තවද ඔව්හු බාල්-බෙරීත්ගේ ගෘහයෙන් රිදී මිල සැත්තෑවක් ඔහුට දුන්නෝය. එයින් අබිමෙලෙක් තමා කැටුව යන පිණිස කමකට නැති චණ්ඩි මිනිසුන් කුලියට ගත්තෝය. 5ඔහු ඔප්‍රාහි තමාගේ පියාගේ ගෙදරට ගොස් යෙරුබ්බාල්ගේ පුත්‍රවූ තමාගේ සහෝදරයන් වන මිනිසුන් සැත්තෑදෙනෙක් එක ගලක් පිට මැරුවේය. නුමුත් යෙරුබ්බාල්ගේ බාල පුත්‍රයාවූ යෝතාම් ඉතුරුවිය; මක්නිසාද ඔහු සැඟවුණේය.
6ෂෙකෙම්හි සියලු වැසියෝද මිල්ලෝහි සියලු වැසියෝද එක්ව ගොස් ෂෙකෙම්හි තිබුණු කණුව අසල අලෝන වෘක්ෂය ළඟදී අබිමෙලෙක් රජකමට පත්කළෝය. 7ඔවුන් එය යෝතාම්ට දැන්වූ විට ඔහු ගොස් ගෙරිසීම් කන්ද මුදුනේ සිට ශබ්දනගා මොරගසමින්: ෂෙකෙම්හි වැසියෙනි, දෙවියන්වහන්සේ නුඹලාට ඇහුම්කන්දෙන පිණිස නුඹලා මට ඇහුම්කන්දෙන්න. 8එක් කලෙක ගස් තමුන් කෙරෙහි රජෙකු පත්කර ගන්ට ගොස්–නුඹ අප කෙරෙහි රජවුණමැනවියි ඔලීව වෘක්ෂයට කීවෝය. 9නුමුත් ඔලීව වෘක්ෂය ඒවාට කථාකොට–දෙවියන්වහන්සේද මනුෂ්‍යයන්ද මා කරණකොටගෙන ගෞරව ලබන්ට හේතුවූ මාගේ සාරකම් අත්හැර ගස් කෙරෙහි එහා මෙහා වැනෙන්ට යාම මට යුතුදැයි කීවේය. 10එවිට ගස් තුමූ: නුඹ ඇවිත් අප කෙරෙහි රජවුණ මැනවියි අත්තික්කා ගසට කීවෝය. 11අත්තික්කා වෘක්ෂය ඒවාට කථාකොට: මාගේ මිහිරිකමද හොඳ ඵලදාවද අත්හැර ගස් කෙරෙහි එහා මෙහා වැනෙන්ට යාම මට යුතුදැයි කීවේය. 12එවිට ගස් තුමූ: නුඹ ඇවිත් අප කෙරෙහි රජවුණ මැනවියි මිදිවැලට කීවෝය. 13මිදිවැලද: දෙවියන්වහන්සේ සහ මනුෂ්‍යයා ප්‍රීතිකරවන මාගේ රසය අත්හැර ගස් කෙරෙහි එහා මෙහා වැනෙන්ට යාම මට යුතුදැයි ඒවාට කීවේය. 14එවිට සියලු ගස්: නුඹ ඇවිත් අප කෙරෙහි රජවුණමැනවයි කටුඇඹිල්ල ගහට කීවෝය. 15කටුඇඹිල්ල ගහද: නුඹලා සැබෑවටම නුඹලා කෙරෙහි රජෙකු කොට මා පත්කර ගන්නවා නම් ඇවිත් මාගේ සෙවෙණෙහි මුවාවී සිටින්න. නැතහොත් කටුඇඹිල්ල ගහෙන් ගින්නක් නික්ම ලෙබනොන්හි කිහිරි ගස් දවා දමාවයි ගස්වලට කීවේය. 16ඉතින් අබිමෙලෙක් රජකමට පත්කරගැනීමෙන් නුඹලා සැබෑකමින්ද අවංකකමින්ද ක්‍රියාකොට, යෙරුබ්බාල්ට සහ ඔහුගේ වංශයට යහපත්කම් කර, ඔහුගේ අත්වල ක්‍රියාවල හැටියට ඔහුට කළහුද? 17මක්නිසාද මාගේ පියා තමාගේ ජීවිතය නොසලකා නුඹලා උදෙසා යුද්ධකර මිදියන්වරුන්ගේ අත්වලින් නුඹලා ගැළෙවුවේය. 18නුමුත් නුඹලා අද මාගේ පිය වංශයට විරුද්ධව නැගිට ඔහුගේ පුත්‍රයන් සැත්තෑදෙනෙක් එක ගලක් පිට මරා ඔහුගේ දාසියගේ පුත්‍රවූ අබිමෙලෙක් නුඹලාගේ සහෝදරයා බැවින් ඔහු ෂෙකෙම්හි වැසියන් කෙරෙහි රජකමට පත්කළහුය. 19නුඹලා මෙසේ අද දවසේ යෙරුබ්බාල්ටත් ඔහුගේ වංශයටත් සැබෑකමින්ද අවංකකමින්ද ක්‍රියාකළානම් අබිමෙලෙක් ගැන ප්‍රීතිවන්න, ඔහුත් නුඹලා ගැන ප්‍රීතිවේවා. 20එසේ නැත්නම් අබිමෙලෙක්ගෙන් ගිනි නික්ම ෂෙකෙම් වැසියන්ද මිල්ලෝ වංශයද දවාදමාවා; ෂෙකෙම් වැසියන්ගෙන්ද මිල්ලෝ වංශයෙන්ද ගිනි නික්ම අබිමෙලෙක් දවාදමාවයි කීවේය. 21යෝතාම් තමාගේ සහෝදරවූ අබිමෙලෙක්ට භයින් බෙයේර්ට පලා ගොස් එහි විසුවේය.
22අබිමෙලෙක් ඉශ්‍රායෙල් කෙරෙහි තුන් අවුරුද්දක් අධිපතිකම්කළායින් පසු, 23දෙවියන්වහන්සේ අබිමෙලෙක් සහ ෂෙකෙම් වැසියන් අතරට එදිරිකාර ආත්මයක් පැමිණෙවු සේක; ෂෙකෙම් වැසියෝ අබිමෙලෙක්ට ද්‍රෝහිකම්කළෝය. 24මෙසේ වුණේ යෙරුබ්බාල්ගේ පුත්‍රයන් සැත්තෑදෙනාට කළාවූ අයුක්තියේ ඵලද ඔවුන්ගේ ලේද ඔවුන් මැරූ ඔවුන්ගේ සහෝදරවූ අබිමෙලෙක් පිටටත් ඔහුගේ සහෝදරයන් මැරීමට ඔහුගේ අත් බලවත්කළාවූ ෂෙකෙම් වැසියන් පිටටත් පැමිණෙන පිණිසය. 25ෂෙකෙම් වැසියෝ ඔහුට විරුද්ධව කඳු මුදුන්වල රහසින් මනුෂ්‍යයන් සිටෙවුවෝය, ඔව්හු ඒ මාර්ගයෙහි තමුන් ළඟින් යන සියල්ලන්ගෙන් කොල්ලකෑවෝය. එපවත් අබිමෙලෙක්ට දන්වනලද්දේය.
26තවද එබෙද්ගේ පුත්‍රවූ ගයල් තමාගේ සහෝදරයන් සමඟ ෂෙකෙම්ට පැමින්නේය. ෂෙකෙම් වැසියෝ ඔහු කෙරෙහි විශ්වාසය තැබූහ. 27තවද ඔව්හු කෙත්වලට ගොස් තමුන්ගේ මිදි වතුවලින් ඵල නෙළා මැඩගෙන මංගල්‍ය පවත්වමින්, තමුන්ගේ දෙවියන්ගේ ගෘහයට ඇතුල්වී කා බී අබිමෙලෙක්ට දෙස් කීවෝය. 28එබෙද්ගේ පුත්‍රවූ ගයල් කථාකොට: අප විසින් සේවයකිරීමට අබිමෙලෙක් කවුද? ෂෙකෙම් කවුද? ඔහු යෙරුබ්බාල්ගේ පුතා නොවේද? ඔහුගේ අධිපතියා ශෙබූල් නොවේද? නුඹලා ෂෙකෙම්ගේ පියවූ හාමොර්ගේ මිනිසුන්ට මෙහෙකරන්න. නුමුත් අපි කුමක් පිණිස ඔහුට මෙහෙකරමුද? 29අහෝ මේ මිනිස්සු මා යටතේ නම්! එවිට මම අබිමෙලෙක් පහකරදමන්නෙමියි කියා: නුඹේ සේනාව වැඩිකරගෙන පිටතට එන්නැයි අබිමෙලෙක් ගැන කීවේය. 30නුවර ආණ්ඩුකාරයාවූ ශෙබුල් එබෙද්ගේ පුත්‍රවූ ගයල්ගේ වචන ඇසූ කල ඔහුගේ කෝපය ඇවුළුණේය. 31ඔහු හොරෙන් පණිවිඩකාරයන් අබිමෙලෙක් වෙතයවා: මෙන්න, එබෙද්ගේ පුත්‍රවූ ගයල්ද ඔහුගේ සහෝදරයෝද ෂෙකෙම්ට ඇවිත් සිටිති; මෙන්න, නුඹට විරුද්ධව නුවර වැසියන් පොළඹවති. 32එබැවින් නුඹ සහ නුඹ වෙත සිටින සෙනඟ රාත්‍රියේ පිටත්වී කෙතේ සැඟවී සිටි උදය ඉර උදාවූ වහාම නැගිට නුවරට විරුද්ධව පැමිණෙන්න. 33එවිට ඔහුද ඔහු සමඟ සිටින සෙනඟද නුඹට විරුද්ධව පිටතට ආ කල්හි ප්‍රස්ථාවේ හැටියට ඔවුන්ට කරන්නැයි කියන්ට කීවේය.
34අබිමෙලෙක්ද ඔහු සමඟ සිටි මුළු සෙනඟද රාත්‍රියේ පිටත්ව ඇවිත් කණ්ඩායම් සතරකට බෙදී ෂෙකෙම්ට විරුද්ධව සැඟවී සිටියෝය. 35එබෙද්ගේ පුත්‍රවූ ගයල්ද පිටතට ගොස් නුවරට ඇතුල්වෙන දොරකඩ සිටියේය. අබිමෙලෙක්ද ඔහු සමඟ සිටි මිනිස්සුද සැඟවී සිටි තැනින් නැගිට ආවෝය. 36ගයල් සෙනඟ දැක: අන්න, සෙනඟක් කඳු මුදුන්වලින් බැස එනවායයි ශෙබුල්ට කීවේය. ශෙබුල්ද: කඳුවල සෙවණැල්ල මිනිසුන් වාගේ නුඹට පෙනේයයි ඔහුට කීය. 37ගයල් නැවත කථාකොට: අන්න, සෙනඟක් රටේ උස් පළාතෙන් බැස එනවාය, තවත් කණ්ඩායමක් මෙයොනෙනීම්හි අලෝන ගසට යන මාර්ගයෙන් එනවායයි කීය. 38එවිට ශෙබුල් ඔහුට කථාකොට: අප විසින් මෙහෙකිරීමට අබිමෙලෙක් කවුදැයි නුඹ කීවාවූ නුඹේ කට දැන් කොහේද? මේ නුඹ විසින් හෙළාදක්නාලද මිනිස්සු නොවෙද්ද? ඉතින් දැන් නුඹ ගොස් ඔවුන්ට විරුද්ධව සටන් කරන්නැයි කීවේය. 39එවිට ගයල් ෂෙකෙම් වැසියන්ට පෙරටුව ගොස් අබිමෙලෙක්ට විරුද්ධව සටන්කෙළේය. 40අබිමෙලෙක් ඔහු පස්සේ එළවාගන ගියේය, ඔහුද ඔහු ඉදිරියෙන් පළාගියේය, නුවර දොරකඩට පැමිණෙන තුරු බොහෝ දෙනෙක් මැරුම්කා වැටුණෝය. 41අබිමෙලෙක් අරුමාහි වාසයකෙළේය. ශෙබුල් වනාහි ගයල්ටද ඔහුගේ සහෝදරයන්ටද ෂෙකෙම්හි වාසයකරන්ට ඉඩනොදී ඔවුන් නෙරපාදැමුවේය. 42පසුව දා සෙනඟ පිටතට ගියෝය; ඒ බව අබිමෙලෙක්ට දන්වන ලද්දේය. 43ඔහු සෙනඟ කැඳවා කණ්ඩායම් තුනකට බෙදා පිටත සැඟවී සිටියේය; සෙනඟ නුවරින් පිටතට එනවා ඔහු දුටු කල ඔවුන්ට විරුද්ධව නැගිට ඔවුන්ට පහරදුන්නේය. 44අබිමෙලක්ද ඔහු සමඟ සිටි කණ්ඩායම්ද ඉදිරියට දුව ගොස් නුවරට ඇතුල්වෙන දොරකඩ සිටියෝය. කණ්ඩායම් දෙකක්ද පිටත සිටි සියල්ලන් ළඟට දුවගොස් ඔවුන්ට පහරදුන්නෝය. 45අබිමෙලෙක් ඒ දවස මුළුල්ලෙහි නුවරට විරුද්ධව සටන්කොට නුවර අල්ලාගෙන එහි සිටි සෙනඟ මරා, නුවර බිඳහෙළා, එහි ලුණු වැපුරුවේය.
46ෂෙකෙම් කොටුවේ සිටි සියලු මනුෂ්‍යයෝ ඒ අසා එල්-බෙරීත් දෙවියාගේ ගෘහයේ කොතට ඇතුල්වුණෝය. 47ෂෙකෙම් කොටුවේ සියලු මනුෂ්‍යයන් එකට රැස්ව සිටින බව අබිමෙලෙක්ට දන්වන ලද්දේය. 48අබිමෙලෙක්ද ඔහු සමඟ සිටි සියලු මිනිස්සුද ශල්මොන් කන්දට නැගී ගියෝය; අබිමෙලෙක් අතින් පොරවක් ගෙන ගසකින් අත්තක් කපා ඒක උස්සා කර පිට තබාගෙන තමා සමඟ සිටි සෙනඟට කථාකොට: මා කරනවා නුඹලා දුටු දේම නුඹලාත් ඉක්මනින් කරන්නැයි කීවේය. 49එවිට මුළු සෙනඟත් එකිනෙකා අත්තක් බැගින් කපාගෙන අබිමෙලෙක් පස්සේ ගොස් ඒවා කොත ළඟ තබා මිනිසුන් ඇතුළේ සිටිද්දී කොත ගිනිලෑවෝය. මෙසේ ෂෙකෙම් කොටුවේ සියල්ලන්වූ ස්ත්‍රීන් හා පුරුෂයන් දහසක් පමණ මළෝය.
50ඉක්බිති අබිමෙලෙක් තේබේශ්ට ගොස්, තේබේශ්ට විරුද්ධව කඳවුරු බැඳ ඒක අල්වාගත්තේය. 51ඒ නුවර තුළ සවි ඇති බලකොටුවක් විය, සියලු ස්ත්‍රීන් හා පුරුෂයෝද නුවර වැසි සියල්ලෝ ද එහි පලාගොස් දොරවල් වසාගෙන කොටුවේ පියස්ස මුදුනට නැගුණෝය. 52අබිමෙලෙක් කොටුව ළඟට ඇවිත් ඊට විරුද්ධව සටන්කොට කොටු දොර පුලුස්සා දමන්ට ඒ ළඟට ගියෝය. 53එවිට එක්තරා ස්ත්‍රියෙක් ඇඹරුම් ගලක උඩ පළුව අබිමෙලෙක්ගේ හිස පිට හෙළා ඔහුගේ ඉස්කබල බින්දාය. 54ඔහු තමාගේ ආයුධ ගෙනයන තරුණයා ඉක්මනට කැඳවා: ස්ත්‍රියෙක් ඔහු මැරුවායයි මිනිසුන් මා ගැන නොකියන පිණිස නුඹේ කඩුව ඇද මා මරන්නැයි කීය. තරුණයා ඔහුට ඇන්නේය, ඔහු මළේය. 55ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝ අබිමෙලෙක් මළ බව දැක සියල්ලෝ තමුන්ගේ ස්ථානයට ගියෝය. 56මෙසේ දෙවියන්වහන්සේ අබිමෙලෙක් තමාගේ සහෝදරයන් සැත්තෑදෙන මැරීමෙන් තමාගේ පියාට කළ ඔහුගේ දුෂ්ටකමට විපාක දුන්සේක. 57ෂෙකෙම්හි මිනිසුන්ගේ මුළු දුෂ්ටකමේ ප්‍රතිඵලත් දෙවියන්වහන්සේ ඔවුන්ගේ හිස් පිටට පැමිණෙවුසේක. මෙසේ යෙරුබ්බාල්ගේ පුත්‍රවූ යෝතාම් කළ ශාපය ඔවුන් පිටට පැමුණුණේය.

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න