උත්පත්ති 1:1-12

උත්පත්ති 1:1-12 SROV

පටන්ගැන්මෙහිදී දෙවියන්වහන්සේ අහසත් පොළොවත් මැවූසේක. පොළොව වනාහි පාළුව හිස්ව තිබුණාය; ගැඹුර පිට අන්ධකාරය විය. දෙවියන්වහන්සේගේ ආත්මය ජලමතුයෙහි හැසිරෙමින් සිටිසේක. දෙවියන්වහන්සේ: එළිය වේවයි කීසේක; එවිට එළිය විය. එළිය යහපත් බව දෙවියන්වහන්සේ දුටුසේක. දෙවියන්වහන්සේ අන්ධකාරයෙන් එළිය වෙන්කොට එළියට දවාලය කියාද අන්ධකාරයට රාත්‍රියය කියාද නම් තැබූසේක. සවස විය, උදය විය, ඒ එක දවසක්ය. දෙවියන්වහන්සේ: ජල මධ්‍යයෙහි අවකාශයක් වේවා, එය කරණකොටගෙන ජලය ජලයෙන් වෙන්වේවයි කීසේක. දෙවියන්වහන්සේ අවකාශය සාදා අවකාශයට උඩින් තිබුණු ජලයෙන් අවකාශයට යටින් තිබුණු ජලය වෙන්කළසේක; ඒ එසේ විය. දෙවියන්වහන්සේ අවකාශයට අහසය කියා නම් තැබූසේක. සවස විය, උදය විය. ඒ දෙවෙනි දවසක්ය. දෙවියන්වහන්සේ: අහසට යටින් තිබෙන ජලය එක් තැනකට රැස් වේවා, වියළි බිම පෙනේවයි කීසේක. ඒ එසේ විය. දෙවියන්වහන්සේ: වියළි බිමට පොළොවය කියාද රැස්වූ ජලයට මුහුදය කියාද නම් තැබූසේක. දෙවියන්වහන්සේ ඒ යහපත් බව දුටුසේක. දෙවියන්වහන්සේ: පොළොව වනාහි තෘණද බීජ උපදවන පලාද ඒ ඒ වර්ග ලෙස ඵල දරන බීජ සහිත ඵල වෘක්ෂද පොළොව පිට හටගන්වාවයි කීසේක. ඒ එසේ විය. තෘණද ඒ ඒ වර්ග ලෙස බීජ උපදවන පලාද ඒ ඒ වර්ග ලෙස බීජ සහිත ඵලදරන වෘක්ෂද පොළොවෙන් හටගත්තේය. දෙවියන්වහන්සේ ඒ යහපත් බව දුටුසේක.