Logo aplikacji Biblia
Ikona wyszukiwania

රෝම 5

5
සමාදානය හා බලාපොරොත්තුව
1එබැවින් ඇදහිල්ල මගින් ධර්මිෂ්ඨ කරනු ලැබ ඇති බැවින්, යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේ මගින් අපට දෙවියන්වහන්සේ හා සමඟ සාමය ඇත්තේ ය. 2දැන් අප සිටගෙන සිටින මෙම අනුග්‍රහයට අප ඇතුළු ව සිටින්නේ, උන්වහන්සේ මගින් ඇදහිල්ලෙනි; එබැවින් දෙවියන්වහන්සේගේ තේජසේ බලාපොරොත්තුව තුළ අපි ප්‍රමෝද වන්නෙමු. 3ඊටත් වැඩියෙන් අපගේ පීඩා විඳීම්වලදීත් අපි ප්‍රමෝද වන්නෙමු. මන්ද විඳවීමෙන් ඉවසීම ද 4ඉවසීමෙන් චරිතය ද චරිතයෙන් බලාපොරොත්තුව ද උපදින බව දනිමු. 5බලාපොරොත්තුව අප ලජ්ජාවට පත් කරන්නේ නැත. මන්ද අපට දෙන ලද ශුද්ධාත්මයාණන් මගින් දෙවියන්වහන්සේ ස්වකීය ප්‍රේමය අප හදවත් තුළට වගුරුවා ඇති හෙයිනි.
6අප බෙලහීන ව සිටියදී, නිසි කල්හි ක්‍රිස්තුස්වහන්සේ අධාර්මිකයින් උදෙසා මැරුණු සේක. 7දැහැමි මිනිසකු උදෙසා වුව මැරෙන්නට කෙනකු හමුවන්නේ කලාතුරකිනි. ඇතැම් විට, සද්ගුණවත් කෙනකු උදෙසා මැරෙන්නට කෙනකු ධෛර්යවත් වනු ඇත. 8එහෙත් දෙවියන්වහන්සේ අප උදෙසා ස්වකීය ප්‍රේමය පෙන්වන්නේ, අප තවමත් පව්කරුවන් ව සිටියදී, ක්‍රිස්තුස්වහන්සේ අප උදෙසා මරණය විඳීමෙන් ය.
9එබැවින් ක්‍රිස්තුස්වහන්සේගේ ලෙයින්, දැන් අප නිර්දෝෂ කරනු ලැබ ඇති බැවින්, උන්වහන්සේ මගින් ඊට කොතරම් වැඩියෙන් දෙවියන්වහන්සේගේ උදහසින් අපි ගලවනු නො ලබන්නෙමු ද! 10අප සතුරන් ව සිටියදීත් ස්වකීය පුත්‍රයාණන්ගේ මරණය හේතු කොට, දෙවියන්වහන්සේ සමඟ අප සමඟි කරනු ලැබුවා නම්, එසේ සමඟි කරනු ලැබූ අපි, උන්වහන්සේගේ ජීවනය හේතු කොට ඊට කොතරම් වැඩියෙන් ගලවනු නො ලබන්නෙමු ද! 11එපමණක් නො වේ; එම සමඟියට අප පත් කළ යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේ මගින් දෙවියන්වහන්සේ තුළ අපි ප්‍රමෝද වන්නෙමු.
පාපය, මරණය හා ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන ජීවනය
12එබැවින් එක් මිනිසකු මගින් පාපය ද පාපය මගින් මරණය ද ලොවට පිවිස, සියල්ලන් ම පව් කළ බැවින්, මුළු මිනිස් වර්ගයා වෙත ම මරණය පැමිණියේ ය.
13මන්ද සැබවින් ම ව්‍යවස්ථාව දීමට පෙර සිට ම, පාපය ලොවෙහි තිබිණි. එහෙත් ව්‍යවස්ථාව නැති තැන පාපය ගණන් නො ගැනිණි. 14කෙසේ වෙතත්, ආදම් පටන් මෝසෙස් දක්වා, ආදම්ගේ වැනි අයුතුකමින් පව් නො කළ අය කෙරේ පවා, මරණය රජකම් කළේ ය. ඔහු ලොවට එන්නට සිටි තැනැත්තාණන්ගේ පූර්ව ආදර්ශයක් විය.
15එහෙත් තිළිණ දීමනාව, අයුතුකම වගේ නො වේ. මන්ද එක මිනිසාගේ අයුතුකම හේතු කොට බොහෝ දෙනෙක් මිය ගියාහු නම්, දෙවියන්වහන්සේගේ අනුග්‍රහයත්, මේ එක මිනිසා වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අනුග්‍රහයේ තිළිණ දීමනාවත් බොහෝ දෙනකුට ඊට වඩා කොපමණ වැඩියෙන් අධික නො වන්නේ ද! 16තවද තිළිණ දීමනාව, ඒ එක මිනිසාගේ පාපයේ විපාකය වගේ නො වේ. මන්ද එක අයුතුකම පසු පස ආ විනිශ්චය, දඬුවම ගෙනාවේ ය. එහෙත් බොහෝ වූ අයුතුකම් පසු පස ආ තිළිණ දීමනාව නිර්දෝෂීත්වය රැගෙන ආවේ ය. 17ඒ එක මිනිසාගේ අයුතුකම නිසා, ඒ එක මිනිසා මගින් මරණය රජකම් කළේ නම්, අනුග්‍රහයේ බහුලත්වයත්, ධර්මිෂ්ඨකමේ තිළිණ දීමනාවත් ලැබූ අය, මේ එක මිනිසා වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළින් ඊට වඩා කොතරම් වැඩියෙන් ජීවනයේ රජකම් නො කරන්නේ ද?
18එබැවින් එක අයුතුකමක් සියලු මිනිසුන්ට දඬුවම සැලසුවා සේ ම, ධර්මිෂ්ඨත්වයේ එක් ක්‍රියාවක් සියලු මිනිසුන්ට නිර්දෝෂීත්වයත්, ජීවනයත් සලසන්නේ ය. 19මන්ද ඒ එක මිනිසාගේ අකීකරුකම, බොහෝ දෙනා පව්කරුවන් කළා සේ ම, මේ එක මිනිසාගේ කීකරුකම බොහෝ දෙනා ධර්මිෂ්ඨයින් කරන්නේ ය.
20ව්‍යවස්ථාව පැමිණියේ අයුතුකම් වැඩි කිරීමට ය. එහෙත්, පාප වැඩි වන්නේ කොතැන ද, එතැන අනුග්‍රහය අතිශයෙන් බහුල වන්නේ ය. 21එසේ වන්නේ පාපය තුළ මරණය රජකම් කළා සේ ම, යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේ මගින් සදාතන ජීවනය දක්වා ධර්මිෂ්ඨකම මගින් අනුග්‍රහය ද රජකම් කරන පිණිස ය.

Obecnie wybrane:

රෝම 5: SCV

Podkreślenie

Kopiuj

Porównaj

Udostępnij

None

Chcesz, aby twoje zakreślenia były zapisywane na wszystkich twoich urządzeniach? Zarejestruj się lub zaloguj