උත්පත්ති 8

8
1එහෙත් දෙවියන්වහන්සේ නෝවා ද ඔහු සමඟ නැව තුළ සිටි සියලු වන සතුන් හා සියලු ඇති කරන සතුන් ද වෙත සිත් යොමු කළ සේක්, පොළොව හරහා සුළඟක් හමන්නට සැලසූ සේක. එවිට ජලය බැස යන්නට විය. 2භූ පත්ලේ ජල උල්පත් හා අහසේ ජල දොරවල් වසා තිබිණි. අහසින් ඇද හැලුණු වැස්ස ද නවතනු ලැබ තිබිණි. 3ජලය ක්‍රමයෙන් පොළොවෙන් බැස යන්නට විය. දවස් එකසිය පනහකට පසු ජල මට්ටම පහළ බැස්සේ ය. 4හත් වන මස දහහත් වන දින නැව අරාරට් කඳු මත නැවතිණ. 5දහ වන මස තෙක් ක්‍රමයෙන් ජලය බැස ගියේ ය. දහ වන මස පළමු වන දින, කඳු මුඳුන් දිස් වන්නට විය.
6සතළිස් දවසකට පසු, නෝවා නැවෙහි තමා සෑදූ කවුළුව ඇර, 7කපුටකු පිටතට යැවී ය. පොළොව මත ජලය සිඳෙන තුරු ඌ ඔබ මොබ පියාසැරී ය. 8පසුව නෝවා, පොළොව මතු පිටින් ජලය බැස ගියේ දැයි බලන පිණිස, පරෙවියකු පිටතට යැවී ය. 9එහෙත් පොළෝ තලය මුළුල්ල ම ජලයෙන් වැසී තිබූ බැවින්, පය ගසන්නට තැනක් හමු නො වූයෙන්, පරෙවියා නෝවා වෙත ආපසු නැවට ආවේ ය. එවිට ඔහු අත දිගු කර ඌ අල්ලා, තමා වෙත නැව තුළට ගත්තේ ය. 10තවත් හත් දවසක් බලා සිටි නෝවා, යළිත් නැවෙන් පිටතට පරෙවියා යැවී ය. 11පරෙවියා සවස ඔහු වෙත ආපසු පැමිණියේ ය. එවිට මෙන්න! උගේ හොටෙහි වූයේ අලුත කැඩූ අමු ඔලීව කොළයකි. එබැවින් පොළොවෙන් ජලය බැස ගොස් ඇති වග නෝවා දැනගත්තේ ය. 12තවත් හත් දවසක් බලා සිටි නෝවා යළිත් පරෙවියා පිටතට යැවී ය. එහෙත් මෙවර ඌ ආපසු ඔහු වෙත ආවේ නැත.
13නෝවාගේ ජීවිතයේ හයසිය එක් වන වසරේ පළමු මස පළමු දින වන විට, පොළොවෙන් ජලය සිඳී ගොස් තිබිණි. එවිට නෝවා නැවේ වැස්ම ඇර බැලුවේ ය. එවිට මෙන්න! පොළොව මතු පිට වියළී තිබිණි. 14දෙවන මස විසිහත් වන දින වන විට පොළොව මුළුමනින් ම වියළී තිබිණි.
15ඉන්පසු දෙවියන්වහන්සේ නෝවා අමතා මෙසේ කී සේක: 16“ඔබත්, ඔබේ භාර්යාවත්, ඔබේ පුතුන් හා ඔබේ පුතුන්ගේ භාර්යාවනුත් නැවෙන් පිටතට එන්න. 17ඔබ සමඟ සිටින හැම වර්ගයක ම ජීවමාන සතුන් වන පක්ෂීන් ද සිවුපාවුන් ද පොළොව පිට ඇදෙන සියලු උරගයින් ද පොළොවේ වැඩි වර්ධන වෙමින්, පොළොව පුරා සඵල ව බෝ වන පිණිස, ඔබ සමඟ උන් ද පිටතට ගෙනෙන්නැ” යි කී සේක.
18එවිට නෝවා තම පුතුන් ද තම භාර්යාව ද තම පුතුන්ගේ භාර්යාවන් ද කැටිව පිටතට ආවේ ය. 19සියලු සත්තු ද සියලු උරගයෝ ද සියලු පක්ෂීහු ද යන පොළොවෙහි ගැවසෙන සියල්ලෝ එක් එක් වර්ගය බැගින් නැවෙන් පිටතට ආහ.
20ඉන්පසු ස්වාමින්වහන්සේට පූජාසනයක් තැනූ නෝවා, සියලු පවිත්‍ර සතුන්ගෙන් හා සියලු පවිත්‍ර පක්ෂීන්ගෙන් ගෙන, දවන යාග පූජාවක් ඒ මත ඔප්පු කළේ ය. 21එහි ප්‍රසන්න සුවඳ විඳි ස්වාමින්වහන්සේ තමන්වහන්සේට ම මෙසේ කී සේක. “යළි කවර කලෙකවත් මනුෂ්‍යයා නිසා භූමියට ශාප නො කරමි. බාල කාලයේ පටන් ඔහුගේ හදේ හැම සිතිවිල්ලක් ම නපුර ය. වරක් මා කළ පරිද්දෙන් මතු කවර කලෙකවත් ජීවමාන සකල සත්වයින් මම විනාශ නො කරන්නෙමි.
22“පොළොව පවතින තුරා,
වැපිරීම හා අස්වනු නෙළීම ද
සිසිලස හා උණුසුම ද
සිසිරය හා ගිම්හානය ද
දහවල හා රාත්‍රිය ද
නවතිනු නැත්තේම ය.”

Markering

Delen

Vergelijk

Kopiëren

None

Wil je jouw markerkingen op al je apparaten opslaan? Meld je aan of log in

Video voor උත්පත්ති 8