ශුද්ධවර ජොහන් 17

17
ජේසුස් වහන්සේගේ උත්තම පූජක යාච්ඤාව
1ජේසුස් වහන්සේ මේ දේවල් වදාරා, ස්වර්ගය දෙසට ඇස් ඔසවා මෙසේ යාච්ඤා කළ සේක: “පියාණෙනි, දැන් නියමිත මොහොත පැමිණ තිබේ. පුත්‍රයාණන් විසින් ඔබ මහිමයට පමුණුවනු ලබන පිණිස, ඔබ ද පුත්‍රයාණන් මහිමයට පැමිණෙව්ව මැනව. 2මන්ද, ඔබ විසින් පුත්‍රයාණන්ට දෙන ලද සියල්ලන් හට සදාතන ජීවනය දෙන පිණිස, සකල මනුෂ්‍ය වර්ගයා කෙරෙහි ආධිපත්‍යය ඔබ වහන්සේ පුත්‍රයාණන්ට දුන් සේක. 3සදාතන ජීවනය මේ ය: එක ම සැබෑ දෙවියන් වන ඔබ ද, ඔබ විසින් එවන ලද තැනැන් වහන්සේ වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ද, දැනගැනීම ය. 4ඔබ වහන්සේ මට භාර දුන් මෙහෙය සම්පූර්ණ කරමින් මම මිහි පිට ඔබ මහිමයට පැමිණිවීමි. 5ඉතින් පියාණෙනි, ලොව ඇති වන්නට පෙර ඔබ හා සමඟ මට තිබුණු තේජශ්‍රීයෙන්, දැන් ඔබ ඉදිරියෙහි මා තේජශ්‍රීයට පැමිණෙව්ව මැනව.
6“ඔබ වහන්සේ ලෝකයෙන් වෙන් කොට මට දුන් මිනිසුන් හට ඔබගේ නාමය මම ප්‍රකාශ කෙළෙමි. ඔව්හු ඔබට අයිති වූ හ. ඔබ ඔවුන් මට දුන් සේක. ඔව්හු ඔබගේ දහම පිළිපැද්දාහ. 7ඔබ මට දුන් සියල්ල ම ඔබගෙන් පැමිණි බව දැන් ඔව්හු දනිති. 8මන්ද, ඔබ මට පැවසූ වචන මම ඔවුන්ට පැවසීමි. ඔව්හු එය පිළිගෙන මා ඔබ වෙතින් පැමිණි බව සැබැවින් ම දැන, ඔබ මා එවා වදාළ බව විශ්වාස කරති.
9“මම ඔවුන් උදෙසා යාච්ඤා කරමි. ඔබ මට දුන් ඔවුන් උදෙසා මිස, ලෝකයා උදෙසා යාච්ඤා නොකරමි. මන්ද, ඔව්හු ඔබගේ ය. 10මා සන්තක සියල්ල ඔබගේ ය; ඔබ සන්තක සියල්ල මාගේ ය. ඔවුන් තුළින් මම තේජශ්‍රීයට පැමිණ සිටිමි. 11මම තවත් ලෝකයෙහි නොසිටිමි. එහෙත් ඔව්හු ලෝකයෙහි සිටිති. මම ඔබ වෙතට එන්නෙමි. සුවිශුද්ධ පියාණෙනි, අප මෙන් ඔවුන් ද, ඒකත්වයක් වන පිණිස, ඔබ මට දුන් ඔබගේ නාමයේ අනුහසින් ඔවුන් ආරක්ෂා කළ මැනව. 12#ගීතා 41:9; ජොහ 13:18 මම ඔවුන් සමඟ සිටිය දී ඔබ මට දුන් ඔබගේ නාමයේ අනුහසින් මම ඔවුන් ආරක්ෂා කෙළෙමි. මම ඔවුන් රැකබලාගතිමි. ශුද්ධ ලියවිල්ල සම්පූර්ණ වන පිණිස, විනාශයේ පුත්‍රයා හැර අන් කිසිවෙක් විනාශ නොවූ හ. 13එහෙත් දැන් මම ඔබ වෙතට එමි. මා ලෝකයෙහි දී මේ දේවල් ප්‍රකාශ කරන්නේ, මාගේ ප්‍රීතිය ඔවුන් තුළ සම්පූර්ණයෙන් ම ඇති වන පිණිස ය. 14මම ඔවුන්ට ඔබගේ දහම දුනිමි. මා ලෝකයට අයිති නොවන සේ ම, ඔවුන් ද ලෝකයට අයිති නොවන බැවින්, ලෝකයා ඔවුන්ට ද්වේෂ කළහ. 15ඔබ ලෝකයෙන් ඔවුන් වෙන් කරන මෙන් මම යාච්ඤා නොකරමි; නපුරාගෙන් ඔවුන් ආරක්ෂා කරන මෙන් යාච්ඤා කරමි. 16මා ලෝකයෙන් නොවන්නාක් මෙන් ම ඔව්හු ද ලෝකයෙන් නොවෙති. 17සත්‍යයෙහි ඔවුන් කැප කළ මැනව; සත්‍යය නම් ඔබගේ ධර්මය ය. 18ඔබ මා ලෝකයට එවා වදාළාක් මෙන්, මම ද ඔවුන් ලෝකයට යැවීමි. 19ඔවුන් සත්‍යයට කැප වන පිණිස, මම ඔවුන් උදෙසා කැප වෙමි.
20“මොවුන් ගැන පමණක් නොව, මොවුන්ගේ වචනය කරණකොටගෙන මා අදහාගන්නා අය ගැනත් යාච්ඤා කරමි. 21පියාණෙනි, මා මෙසේ යාච්ඤා කරන්නේ ඔබ මා තුළ ද මා ඔබ තුළ ද සිටින්නාක් මෙන්, ඔවුන් ද අප තුළ ඒකත්වයක් වන පිණිසත්, ඔබ මා එවා වදාළ බව ලෝකයා විශ්වාස කරන පිණිසත් ය. 22අප ඒකත්වයක් ව සිටින්නා සේ ම, ඔවුනුත් ඒකත්වයක් වන පිණිස ඔබ මට දුන් තේජශ්‍රීය මම ඔවුන්ට දුනිමි. 23මෙසේ කෙළේ, මා ඔවුන් තුළ ද ඔබ මා තුළ ද සිටීමෙන්, ඔවුන් සම්පූර්ණ ලෙස ඒකත්වයට පැමිණෙන පිණිසත්, ඔබ මා එවා වදාළ බව ද, ඔබ මට ප්‍රේම කළාක් මෙන් ඔවුන්ටත් ප්‍රේම කළ බව ද ලෝකයා දැනගන්නා පිණිසත් ය.
24“පියාණෙනි, ලෝකය මැවීමට පෙර ඔබ මට ප්‍රේම කළ නිසා මට පැවරූ තේජශ්‍රීය, ඔබ මට දුන් අය විසින් දකින පිණිස, මා සිටින තැන ඔවුනුත් සිටිනවාට කැමැත්තෙමි.
25“ධාර්මික පියාණෙනි, ලෝකයා ඔබ දැනගත්තේ නැත. එහෙත් මම ඔබ දැනගතිමි. තවද, ඔබ මා එවා වදාළ බව මොවුහු දනිති. 26ඔබ මට දැක් වූ ප්‍රේමය ඔවුන් තුළ වන පිණිසත්, මා ද ඔවුන් තුළ වන පිණිසත්, ඔබගේ නාමය ඔවුන්ට දන්වා වදාළෙමි. තවත් දන්වා වදාරන්නෙමි.”

Markering

Kopiëren

Vergelijk

Delen

None

Wil je jouw markerkingen op al je apparaten opslaan? Meld je aan of log in

Video's voor ශුද්ධවර ජොහන් 17