උත්පත්ති 46

46
ජාකොබ් මිසරය බලා යාම
1ජාකොබ් හෙවත් ඉශ්රායෙල් තමන් සතු සියල්ල රැගෙන ගමනට පිටත් ව බෙයර්-ෂෙබාවට පැමිණ තම පියා වූ ඊසාක්ගේ දෙවියන් වහන්සේට යාග පූජා ඔප්පු කෙළේ ය. 2දෙවියන් වහන්සේ ද රාත්‍රියේ දී ජාකොබ්ට දර්ශනය වී, “ජාකොබ්, ජාකොබ්” කියා ඔහු ඇමතූ සේක. ඔහු, “මම මෙහි ය” කියා උත්තර දුනි. 3එවිට උන් වහන්සේ කතා කරමින්, “මම වනාහි දෙවියන් වහන්සේ වෙමි; නුඹේ පියාගේ දෙවියන් වහන්සේ වෙමි. මිසරයට යෑමට බිය නොවන්න. මන්ද, මම එහි දී නුඹේ පෙළපතින් මහත් ජාතියක් ඇති කරන්නෙමි. 4මම නුඹ සමඟ මිසරයට ගොස් යළි මම ම නුඹ ආපසු ගෙනෙන්නෙමි. තවද, නුඹ මැරෙන විට ජෝසෙප්ගේ අත නුඹේ ඇස් පියවන්නේ ය”යි වදාළ සේක.
5පසුව ජාකොබ් බෙයර්-ෂෙබාවෙන් පිටත් විය. ජාකොබ්ගේ පුත්‍රයෝ තම පියා ද, තමන්ගේ කුඩා දරුවන් ද, තම භාර්යාවන් ද පාරාවෝ ඔවුන් ගෙන යෑමට එවූ රථවල රැගෙන ගියහ. 6#ක්‍රියා 7:15 තවද, තමන්ගේ ගව පට්ටි ද, කානාන් දේශයේ දී තමන් උපයාගත් වස්තුව ද රැගෙන ජාකොබ් සහ ඔහු කැටුව ඔහුගේ මුළු පෙළපත මිසරයට පැමිණියහ. 7මෙලෙස ඔහු තම පුත්‍රයන් ද පුත්‍රයන්ගේ පුත්‍රයන් ද පුත්‍රයන්ගේ දූවරුන් ද මුළු දරු පෙළපත ද තමන් කැටුව මිසරයට ගෙන ආවේ ය.
ජාකොබ්ගේ පෙළපත
8මිසරයට ගිය ජාකොබ්ගේ පෙළපතේ නාමාවලිය මෙය යි: එනම්, ජාකොබ් සහ ඔහුගේ පුත්‍රයෝ: ජාකොබ්ගේ කුලුඳුලා වන රූබන්; 9රූබන්ගේ පුත්‍රයන් වන හනොක්, පල්ලු, හෙශ්රොන් සහ කර්මී; 10සිමියොන්ගේ පුත්‍රයන් වන ජෙමුවෙල්, ජාමීන්, ඔහද්, ජාකින්, ශොහාර් සහ කානානිය ස්ත්‍රියකගේ පුත්‍ර ෂාවුල්; 11ලෙවීගේ පුත්‍රයන් වන ගේර්ෂොන්, කොහාත් සහ මෙරාරී; 12ජුදාගේ පුත්‍රයන් වන ඒර්, ඕනාන්, ෂේලා, පෙරෙශ් සහ ශෙරා ය. එහෙත්, ඒර් සහ ඕනාන් කානාන් දේශයේ දී මළහ. පෙරෙශ්ගේ පුත්‍රයන් වන හෙශ්රොන් සහ හාමුල්; 13ඉස්සාකර්ගේ පුත්‍රයන් වන තෝලා, පුවා, ජෝබ් සහ ෂිම්රොන්; 14සාබුලොන්ගේ පුත්‍රයන් වන සෙරෙද්, ඒලොන් සහ ජාලෙයෙල්; 15මොවුහු සහ ජාකොබ්ගේ දුව වන දීනා, ලෙයා මෙසොපොතේමියාවේ දී ජාකොබ්ට දාව ලැබූ දරුවෝ ය. ඔහුගේ දරුදැරියෝ සියල්ලෝ තිස්තුන්දෙනෙකි.
16ගාද්ගේ පුත්‍රයන් වන ශපියොන්, හග්ගි, ෂූනි, එශ්බොන්, ඒරි, අරෝද් සහ අරේලී ය; 17ආෂෙර්ගේ පුත්‍රයන් වන ඉමනා, ඉෂ්වා, ඉෂ්වී, බෙරියා හා ඔවුන්ගේ සහෝදරී වන සෙරා; බෙරියාගේ පුත්‍රයන් වන හෙබෙර් සහ මල්කියෙල් ය; 18මොවුහු ලාබන් තම දුව වන ලෙයාට සේවිකාව වශයෙන් දුන් ශිල්පාගේ පුත්‍රයෝ ය. ඈ ජාකොබ්ට දාව මොවුන් ලැබුවා ය. මොවුන්ගේ ගණන දහසයදෙනෙකි.
19ජාකොබ්ගේ භාර්යාව වූ රාකෙල්ගේ පුත්‍රයන් වන ජෝසෙප් සහ බෙන්ජමින් ය. 20#උත් 41:50-52 තවද, මිසර දේශයේ දී ඕන් නම් පූජ්‍ය ස්ථානයේ පොතිපෙරා නම් පූජකයාගේ දුව වන ආසෙනත්, ජෝසෙප්ට දාව මනස්සේ සහ එප්‍රායිම් ලැබුවා ය.
21බෙන්ජමින්ගේ පුත්‍රයන් වන බෙලා, බෙකෙර්, අෂ්බෙල්, ගේරා, නාමාන්, ඒහී, රොෂ්, මුප්පීම්, හුප්පීම් සහ ආරද් ය; 22මොවුහු ජාකොබ්ට දාව උපන් රාකෙල්ගේ පුත්‍රයෝ ය. ඒ සියල්ලෝ දසසතරදෙනකි.
23දාන් සහ ඔහුගේ පුත්‍රයා වන හුෂිම් ය; 24නප්තලීගේ පුත්‍රයන් වන ජාශෙයෙල්, ගුනී, ජේශෙර් සහ ෂිල්ලෙම් ය; 25මොවුහු නම් ලාබන් තම දුව වන රාකෙල්ට සේවිකාව වශයෙන් දුන් බිල්හාගේ පුත්‍රයෝ ය. ඈ ජාකොබ්ට දාව මොවුන් ලැබුවා ය. ඒ සියල්ලෝ සත්දෙනෙකි.
26ජාකොබ්ගේ පුත්‍රයන්ගේ භාර්යාවන් හැර, ඔහුට දාව උපන්, ඔහු සමඟ මිසරයට ගිය අයගේ මුළු ගණන හැටහයදෙනෙකි. 27#ක්‍රියා 7:14 මිසරයේ දී ජෝසෙප්ට දාව උපන් පුත්‍රයන්ගේ ගණන දෙදෙනෙකි. මිසරයට පැමිණි ජාකොබ්ගේ පවුලට අයත් සියල්ලෝ හැත්තෑදෙනෙක් වූ හ.
ජෝසෙප් ඔවුන් පිළිගැනීම
28තවද, ජාකොබ්, ජෝසෙප් ඉදිරියට පැමිණෙන පිණිස, තමාට පෙරටුව ඔහු වෙත ජුදා එවී ය. ඔව්හු ගෝෂෙන් නම් පෙදෙසට පැමිණියා හ. 29එවිට ජෝසෙප් තම රථය සූදානම් කොට, තම පියා වන ජාකොබ් හමු වීමට ගෝෂෙන් බලා ගියේය. තම පියා දුටු කෙණෙහි ම ඔහු ඔහුගේ ගෙල බදාගෙන බොහෝ වේලාවක් ගෙල මත හැඬී ය. 30එවිට ජාකොබ් ජෝසෙප්ට කතා කොට, “ඔබේ මූණ දැක ඔබ තව ම ජීවත් ව සිටින බව දුටු හෙයින් දැන් ඉතින් මා මළත් කම් නැතැ”යි කීවේ ය.
31ඉන්පසු ජෝසෙප් තම සහෝදරයන්ට හා තම පියාගේ ගෙවැසියන්ට කතා කොට, “මම ගොස් පාරාවෝ ඉදිරියේ පෙනී සිට, ‘කානාන් දේශයේ සිටි මාගේ සහෝදරයන් හා පියාගේ පවුලේ සියල්ලන් මා වෙත පැමිණ ඇත. 32ඔව්හු එඬේරු ය, සත්ත්ව ගොවිපළවල් පාලනය කරන අය ය. ඔවුන් තමන්ගේ එළු බැටළු රැළ ද ගව රැළ ද තමන් සතු සියල්ල ද ගෙනැවිත් ඇත’ කියන්නෙමි. 33පාරාවෝ ඔබ කැඳවා, ‘ඔබේ රැකියාව කුමක් දැ’යි ඇසූ විට, 34ඔබ ද, ‘ඔබේ දාසයන් වන අපිත්, අපේ පියවරුත් තමන් තරුණ වියේ පටන් අද දක්වා සත්ත්ව ගොවිපළවල් රැකබලාගත්තෙමු’යි කියන්න. මෙලෙස ඔබට ගෝෂෙන් පෙදෙසේ පදිංචි වීමට අවසර ලැබේ ය”යි කීවේ ය. ඔහු මෙසේ කීවේ, එඬේරුන් මිසර වාසීන්ට පිළිකුලක් වන බැවිනි.

Markering

Kopiëren

Vergelijk

Delen

None

Wil je jouw markerkingen op al je apparaten opslaan? Meld je aan of log in

Video voor උත්පත්ති 46