උත්පත්ති 36
36
ඒසව්ගේ පෙළපත
(1 වංශා 1:34-37)
1ඒසව් හෙවත් ඒදොම්ගේ පෙළපත මෙසේ ය. 2#උත් 26:34 ඔහු තම භාර්යාවන් සරණ පාවාගත්තේ කානානිය ස්ත්‍රීන් අතුරින් ය. මොවුහු නම් හිත්තීය ජාතික එලොන්ගේ දුව වූ ආදා, හිවීය ජාතික ශිබෙයොන්ගේ දුව වූ අනාගේ දුව වන ඔහොලිබාමා 3#උත් 28:9 සහ නෙබායෝත්ගේ සහෝදරී වූ ද, ඉෂ්මායෙල්ගේ දුව වූ ද බාසෙමත් ය. 4ඒසව්ට දාව, ආදාගෙන් එලිපස් ද, බාසෙමත්ගෙන් රෙවුයෙල් ද, 5ඔහොලිබාමාගෙන් ජෙවුෂ් ද, ජලාම් ද, කෝරා ද උපන්හ. කානාන් දේශයේ දී ඒසව්ට දාව උපන් ඔහුගේ පුත්‍රයෝ මොවුහු ය.
6ඒසව් තම භාර්යාවන් ද පුත්‍රයන් ද දූවරුන් ද ගෙදර වැසි සියල්ලන් ද ගවයන් ද සියලු මෘගයන් ද කානාන් දේශයේ දී තමන් උපයාගත් සියලු වස්තුව ද රැගෙන, තම සොහොයුරු වන ජාකොබ් වෙතින් අන් රටකට ගියේය. 7මන්ද, ඔවුන්ට එකට පදිංචි වීමට නොහැකි තරමට ඔවුන්ගේ ධනය විශාල විය. ඇරත් ඔවුන් විදේශිකයන් මෙන් විසූ රටෙහි, ඔවුන්ගේ ගොවිපළවල් නිසා ඔවුන්ට ඉඩ මදි විය. 8මෙලෙස ඒසව් හෙවත් ඒදොම් සේයිර් කන්දෙහි පදිංචි විය.
9සේයිර් කන්දෙහි විසූ ඒදොම්වරුන්ගේ පියා වන ඒසව්ගේ පෙළපත හා 10ඔහුගේ පුත්‍රයන්ගේ නාමාවලිය මෙය වේ: ඒසව්ගේ භාර්යාව වූ ආදාගේ පුත්‍ර එලිපස්, බාසෙමත්ගේ පුත්‍ර රෙවුයෙල්, 11එලිපස්ගේ පුත්‍රයන් වන තේමාන්, ඕමාර්, ශෙපෝ, ගයිතාම් සහ කෙනස් ය. 12තවද, තිම්නා ඒසව්ගේ පුත්‍ර එලිපස්ගේ අනියම් බිරිඳ වූවා ය. ඇයගෙන් එලිපස්ට දාව අමලෙක් උපන්නේ ය. ඒසව්ගේ භාර්යාව වූ ආදාගේ පුත්‍රයෝ මොවුහු ය.
13රෙවුයෙල්ගේ පුත්‍රයෝ නම් නහත්, සෙරා, ෂම්මා සහ මිස්සා ය. මොවුහු ඒසව්ගේ භාර්යාව වූ බාසෙමත්ගේ මුණුබුරෝ ය.
14ශිබෙයොන්ගේ පුත්‍රයා වන අනාගේ දුව වූ ඒසව්ගේ භාර්යාව වූ ඔහොලිබාමාගේ පුත්‍රයෝ නම්, ඇයගෙන් ඔහුට දාව උපන් ජෙවුෂ්, ජලාම් සහ කෝරා ය.
15ඒසව්ගේ පෙළපතේ අධිපතීහු නම් ඔහුගේ කුලුඳුල් පුත් එලිපස්ගේ පුත්‍රයෝ ය. මොවුහු නම් අධිපතීන් වන තේමාන්, ඕමාර්, ශෙපෝ, කෙනස්, 16කෝරා, ගයිතාම් සහ අමලෙක් ය. ඒදොම් දේශයේ එලිපස්ගෙන් පැවත ආ අධිපතීහු මොවුහු ය. තවද මොවුහු ආදාගේ පුත්‍රයෝ ය.
17ඒසව්ගේ පුත්, රෙවුයෙල්ගේ පුත්‍රයෝ නම් අධිපතීන් වන නහත්, සෙරා, ෂම්මා සහ මිස්සා ය. ඒදොම් දේශයේ රෙවුයෙල්ගෙන් පැවත ආ මේ අධිපතීහු ඒසව්ගේ භාර්යාව වන බාසෙමත්ගේ පුත්‍රයෝ ය.
18ඒසව්ගේ භාර්යාව වූ ඔහොලිබාමාගේ පුත්‍රයෝ නම් අධිපතීන් වන ජෙවුෂ්, ජලාම් සහ කෝරා ය. මොවුහු අනාගේ දුව ද, ඒසව්ගේ භාර්යාව ද වූ ඔහොලිබාමාගෙන් පැවත ආ අධිපතියෝ ය. 19ඒදොම් හෙවත් ඒසව්ගේ පුත්‍රයන් සහ ඔවුන්ගේ අධිපතීහු මොවුහු ය.
සේයිර්ගේ පෙළපත
(1 වංශා 1:38-42)
20ඒ දේශයෙහි විසූ හෝරිය ජාතික සේයිර්ගේ පුත්‍රයෝ නම් ලෝතාන්, ෂෝබාල්, ශිබෙයොන්, අනා, 21දීෂොන්, එශෙර් සහ දීෂාන් ය. මොවුහු ඒදොම් දේශයෙහි වූ සේයිර්ගේ පෙළපත වන හෝරිවරුන්ගේ අධිපතීහු ය. 22ලෝතාන්ගේ දරුවෝ නම් හෝරි සහ හේමාම් ය. ලෝතාන්ගේ සහෝදරී තිම්නා ය. 23ෂෝබාල්ගේ දරුවෝ නම් අල්වාන්, මානහත්, ඒබාල්, ෂෙපෝ සහ ඕනාම් ය. 24ශිබෙයොන්ගේ දරුවෝ ආයා සහ අනා ය. තමාගේ පියා වූ ශිබෙයොන්ගේ කොටළුවන්ට පාළු තැන්නෙහි තණ කවමින් සිටිය දී උණු දිය උල්පත් සම්බ වූයේ මේ අනාට ය. 25අනාගේ දරුවෝ නම් දීෂොන් සහ අනාගේ දුව වූ ඔහොලිබාමා ය. 26දීෂොන්ගේ දරුවෝ නම් හෙම්දාන්, එෂ්බාන්, ඉත්රාන් සහ කෙරාන් ය. 27එශෙර්ගේ දරුවෝ නම් බිල්හන්, සයවාන් සහ අකාන් ය. 28දීෂාන්ගේ දරුවෝ ඌශ් සහ අරාන් ය. 29හෝරිවරුන්ගෙන් පැවත ආ අධිපතීහු නම් ලෝතාන්, ෂෝබාල්, ශිබෙයොන්, අනා, 30දීෂොන්, එශෙර් සහ දීෂාන් ය. මොවුහු සේයිර් දේශයෙහි තමන්ගේ ගෝත්‍ර අනුව හෝරිවරුන්ගේ අධිපතියෝ ය.
ඒදොම් දේශයෙහි රජවරු
(1 වංශා 1:43-54)
31ඉශ්රායෙල්වරුන්ගේ රජෙකු එහි රජකම් කිරීමට පෙර ඒදොම් දේශයෙහි රජකම් කළ රජවරු මොවුහු ය. 32බෙයෝර්ගේ පුත් බෙලා ඒදොම්හි රජකම් කෙළේ ය. ඔහුගේ නුවරේ නම දින්හාබා ය. 33බෙලා මළ පසු, ඔහු වෙනුවට බොශ්රායේ ගෙරාගේ පුත්‍ර ජෝබාබ් රජකම් කෙළේ ය. 34ජෝබාබ් මළ පසු ඔහු වෙනුවට තේමානිවරුන්ගේ දේශයේ හුෂාම් රජකම් කෙළේ ය. 35හුෂාම් මළ පසු, ඔහු වෙනුවට මෝවබ් දේශයේ මිදියන්වරුන් පරාජය කළ බෙදද්ගේ පුත් හදද් රජකම් කෙළේ ය. ඔහුගේ නුවරේ නම අවිත් ය. 36හදද් මළ පසු, ඔහු වෙනුවට මස්රේකාහි ෂම්ලා රජකම් කෙළේ ය. 37ෂම්ලා මළ පසු, ඔහු වෙනුවට ගංගාව අසල රෙහොබොත්හි ෂාවුල් රජකම් කෙළේ ය. 38ෂාවුල් මළ පසු, ඔහු වෙනුවට අක්බොර්ගේ පුත් බාල්-හනන් රජකම් කෙළේ ය. 39අක්බොර්ගේ පුත්‍ර බාල්-හනන් මළ පසු, ඔහු වෙනුවට හදාර් රජකම් කෙළේ ය. ඔහුගේ නුවරේ නම පායු ය. ඔහුගේ භාර්යාවගේ නම මෙහෙතාබල් ය. ඈ මෙසාහබ්ගේ දුව වූ මත්රෙද්ගේ දූ ය.
40තම තමන්ගේ පෙළපත හා තම තමන්ගේ පේරුව අනුව, ඒසව්ගෙන් පැවත ආ අධිපතීන්ගේ නාමාවලිය නම් තිම්නා, අල්වා ජෙතේත්, 41අධිපති ඔහොලිබාමා, ඒලා, පීනොන්, 42අධිපති කෙනස්, තොමාත්, මිබ්ශාර්, 43අධිපති මග්දීයෙල් සහ ඊරාම් ය. මොවුහු, දේශයේ තමන්ට උරුම වූ වාසස්ථාන අනුව ඒදොම්හි අධිපතීහු ය. එනම්, ඒදොම්වරුන්ගේ පියා වන ඒසව්ගේ පෙළපත ය.
Nu geselecteerd:
උත්පත්ති 36: NRSV
Markering
Kopiëren
Vergelijk
Delen
Wil je jouw markerkingen op al je apparaten opslaan? Meld je aan of log in
Ceylon Bible Society