YouVersion လိုဂို
ရှာရန် အိုင်ကွန်

1 කොරින්ති 13

13
1මා මිනිසුන්ගේ ද දේව දූතයින්ගේ ද භාෂාවලින් කතා කරන නමුත්, ප්‍රේමය නැති නම්, මා ඝෝෂාකාරී ඝණ්ඨාරයක් හෝ ශබ්දකාරී කයිතාලමක් වැනි ය. 2මට දිවැස් වැකි කීමේ දීමනාව ද සියලු අබිරහස් ගැන වැටහීම හා සකල දැනගැන්ම ද ඇතත්, කඳු එහා මෙහා කරන සම්පූර්ණ ඇදහිල්ල ඇතත්, ප්‍රේමය නැති නම් මම හිස් පුද්ගලයෙක්මි. 3මා සතු සියල්ල මා බෙදා දෙතත්, මගේ සිරුර දවාලන්නට භාර දෙතත්, මට ප්‍රේමය නැති නම්, මට ලැබෙන ප්‍රයෝජනයක් නැත.
4ප්‍රේමය ඉවසිලිවන්ත ය; කරුණාවන්ත ය. ප්‍රේමය ඊර්ෂ්‍යා කරන්නේ නැත; පාරට්ටු කර ගන්නේ නැත; අහංකාර නැත; 5අසංවර නැත; එය තමන්ගේ ම මතය ගැන බල කරන්නේ නැත. එය වහා කිපෙන්නේ නැත; වරද සිතේ තබා ගන්නේ නැත. 6එය වැරදි කිරීමෙහි ප්‍රීති වන්නේ නැත; එහෙත් සත්‍යයෙහි ප්‍රීති වෙයි. 7ප්‍රේමය සියල්ල දරා ගනී; සියල්ල විශ්වාස කරයි. සියල්ල බලාපොරොත්තු වෙයි; සියල්ල ඉවසයි.
8ප්‍රේමය කිසි කල අවසන් වන්නේ නැත. දිවැස් වැකි පහ වී යයි; අන්‍ය භාෂා නවතිනු ඇත. දැනුම ද පහව යයි. 9මන්ද අප දන්නේ අසම්පූර්ණ ව ය; දිවැස් වැකි පවසන්නේ ද අසම්පූර්ණ ව ය. 10සම්පූර්ණත්වය පැමිණි කල, අසම්පූර්ණත්වය පහ වී යන්නේ ය. 11මා ළමයකු ව සිටියදී, මා කතා කළේ ළමයකු ලෙසිනි; මා සිතුවේ ළමයකු ලෙසිනි; තර්ක කළේ ළමයකු ලෙසිනි. මා මිනිසකු වූ කල, ඒ ළමා ගති මම අත්හැර දැමුවෙමි. 12දැන් අපට පෙනෙන්නේ කැඩපතකින් අපැහැදිලි ව ය. පසුව අපි මුහුණට මුහුණ ලා දකින්නෙමු. දැන් මා දන්නේ කොටසක් ය. එහෙත් පසුව මා සම්පූර්ණයෙන් දැනගන්නේ, මා මුළුමනින් ම දැන සිටියාක් මෙනි.
13දැන්, පවතින්නේ ඇදහිල්ල, බලාපොරොත්තුව හා ප්‍රේමය යන තුන ය. මෙයින් වඩා උතුම් වන්නේ ප්‍රේමයයි.

လက်ရှိရွေးချယ်ထားမှု

1 කොරින්ති 13: SCV

အရောင်မှတ်ချက်

ကူးယူ

နှိုင်းယှဉ်

မျှဝေရန်

None

မိမိစက်ကိရိယာအားလုံးတွင် မိမိအရောင်ချယ်သောအရာများကို သိမ်းဆည်းထားလိုပါသလား။ စာရင်းသွင်းပါ (သို့) အကောင့်ဝင်လိုက်ပါ