Biblijos programėlės logotipas
Paieškos piktograma

රෝම 9

9
ඉශ්‍රායෙල් පිළිබඳ පාවුල්ගේ සංතාපය
1ක්‍රිස්තුස්වහන්සේ තුළ මම ඇත්ත කතා කරමි; බොරු නො කියමි. මගේ හෘදය සාක්ෂිය ශුද්ධාත්මයාණන්වහන්සේ තුළ ඒ ගැන සාක්ෂි දරයි. 2මගේ හදෙහි දැඩි සංතාපයක් ද නො නවතින සංවේගයක් ද තිබේ. 3මන්ද මාංසයට අනුව මගේ නෑයින් වූ මගේ සහෝදරයින් උදෙසා ශාප ලද්දකු වී, ක්‍රිස්තුස්වහන්සේගෙන් වෙන් කරනු ලබන්නට වුව, හැකි නම් කැමති වෙමි. 4ඉශ්‍රායෙල්වරු ඔවුහු ය. පුත්‍රකමට පිළිගනු ලැබීමත්, තේජසත්, ගිවිසුම් හා ව්‍යවස්ථාව දීමත්, නමස්කාරයත්, පොරොන්දුත් ඔවුන්ගේ ය. 5මුල් පියවරුන් ඔවුන්ගේ ය. මාංසයට අනුව ක්‍රිස්තුස්වහන්සේ ද ඔවුන්ගේ පෙළපතින් ය. සියල්ලට ම උතුම් වූ දෙවියන්වහන්සේ වන උන්වහන්සේ සදහට ම ප්‍රශංසනීය ය! ආමෙන්.
දෙවියන්වහන්සේගේ පරමාධිපත්‍ය තෝරා ගැනීම
6එහෙත් දෙවියන්වහන්සේගේ වචනය අසමත් වූවා සේ පෙනෙනවා නො වේ; මන්ද ඉශ්‍රායෙල් වෙතින් පැවත එන සියල්ලන් ඉශ්‍රායෙල් නො වේ. 7ආබ්‍රහම්ගේ වංශයෙන් පැවත එන නිසා ම ඒ සියල්ලෝ ඔහුගේ දරුවන් නො වෙති. එහෙත්, “ඔබගේ වංශය නම් කෙරෙන්නේ ඊසාක් මගිනි.”#9:7 උත් 21;12 8මෙහි අදහස, දෙවියන්වහන්සේගේ දරුවන් වන්නේ මාංසයේ දරුවන් නො වන බවත්, වංශය වශයෙන් ගණන් ගැනෙන්නේ පොරොන්දුවේ දරුවන් බවත් ය. 9මන්ද පොරොන්දුවේ කියැවෙන්නේ මෙයයි: “ලබන වසරේ මේ කාලයට මම යළි එන්නෙමි. එකල සාරා පුතකු ලබනු ඇත”#9:9 උත් 18:10,14 කියා ය.
10එපමණක් නො වේ; රෙබෙකා, එක මිනිසකු මගින්, අප ආදි පිය ඊසාක් මගින් දරුවන් පිළිසිඳ ගත් කල, 11ඔවුන් උපදින්නටත් පෙර, ඔවුන් හොඳක් හෝ නරකක් හෝ කරන්නට පෙර, දෙවියන්වහන්සේගේ තෝරාගැන්මේ තීරණය රඳා පවත්නේ, උන්වහන්සේගේ කැඳවීම අනුව මිස, ක්‍රියා මත නො වන වග තහවුරු වන පිණිස, 12“වැඩිමලා බාලයාට මෙහෙ කරනු ඇතැ”#9:12 උත් 25;23 යි ඇයට පවසන ලද්දේ, 13“මම යාකොබ්ට ප්‍රේම කළෙමි; එහෙත් ඒසව්ට ද්වේෂ කළෙමි”#9:13 මලාකී 1:2,3 යි ලියා ඇති පරිදි ය.
14එසේ නම් අපි කුමක් කියමු ද? දෙවියන්වහන්සේ අසාධාරණ යැයි කිව හැකි ද? සත්තකින් ම නැත! 15මන්ද උන්වහන්සේ මෝසෙස්ට කියන්නේ,
“දයාව දක්වන්නට මා කැමති කෙනාට, මම දයා වන්නෙමි;
අනුකම්පා කරන්නට මා කැමති කෙනාට, මම අනුකම්පා කරන්නෙමි”#9:15 නික්ම 33;19 කියා ය.
16එබැවින්, එය රඳා පවත්නේ මිනිසාගේ කැමැත්ත හෝ ප්‍රයත්න හෝ මත නො ව, දයාව දක්වන්නා වූ දෙවියන්වහන්සේ මත ය. 17මන්ද ශුද්ධ ලියවිල්ල පාරාවෝට පවසන්නේ, “මා නුඹ නැගිට වූයේ, මේ අරමුණ උදෙසා ම ය; එනම්, නුඹ තුළින් මගේ බලය පෙන්වා, පොළොව මුළුල්ලේ මගේ නාමය ප්‍රකාශ වන පිණිස ය”#9:17 නික්ම 9;16 කියා ය. 18මෙසේ, උන්වහන්සේ දයාවන්නට කැමති තැනැත්තාට, උන්වහන්සේ දයාව පානා සේක; උන්වහන්සේ දැඩි කරන්නට කැමති තැනැත්තා, දැඩි කරන සේක.
19ඔබ මට මෙසේ පවසනු ඇත: “උන්වහන්සේ තවමත් දොස් පවරන්නේ ඇයි? උන්වහන්සේගේ කැමැත්තට එරෙහි වීමට පුළුවන් කවරකුට ද?” 20එහෙත්, එම්බා මනුෂ්‍යය, දෙවියන්වහන්සේ හා එකටෙක කීමට ඔබ කවුරු ද? “ඔබ මේ විදියට මා තැනුවේ මන්දැ?”#9:20 යෙසා 29;16;45;9 යි මැටිවලින් තැනූ දෙයක්, එය තැනූ අයට කියයි ද? 21එක ම මැටි පිඩකින් එක් බඳුනක් උසස් කටයුත්තක් සඳහාත්, අනෙකක් නො වැදගත් කටයුත්තක් සඳහාත් හදන්නට කුඹල්කරුට අයිතිය නැද්ද?
22දෙවියන්වහන්සේ තම උදහස පෙන්වීමටත්, ස්වකීය බලය විදහා පෑමටත් කැමති ව, විනාශයට සූදානම් කරන ලද උදහසේ භාජන ගැන මහත් සේ ඉවසූ සේක් නම් මොකද? 23එසේ කර ඇත්තේ, තේජෝ මහිමය සඳහා කල්තියා සූදානම් කරන ලද දයාවේ භාජන වෙත උන්වහන්සේගේ තේජෝ මහිමයේ ඉසුර විදහා දක්වන පිණිස ය. 24එසේ කැඳවනු ලැබ ඇත්තේ, යුදෙව්වරුන් වෙතින් පමණක් නො ව, අන්‍ය-ජාතීන් වන අප ද වෙතින් ය. 25හොෂෙයාගේ පොතේ උන්වහන්සේ පවසන්නේ මෙසේ ය:
“මගේ ජනයා නො වූවන්ට, ‘මගේ ජනයා’ ය කියා මම අමතමි;
ප්‍රේමණීය නො වූ තැනැත්තියට ‘ප්‍රේමණීය ය’ කියා අමතමි.”#9:25 හොෂෙයා 2:23
26තවද,
“ ‘ඔබ මගේ ජනයා නො වේය’ කියා
ඔවුන්ට කියන ලද තැන්හි දී ම,
ඔවුහු, ‘ජීවමාන දෙවියන්වහන්සේගේ පුත්‍රයෝ’ යයි කියනු ලබන්නෝ ය”#9:26 හොෂෙයා 1;10
27යෙසායා ඉශ්‍රායෙල් ජනයා පිළිබඳව මොරගාමින් මෙසේ කීවේ ය.
“ඉශ්‍රායෙල් දරුවන්, ගණනින් මුහුදේ වැලි මෙන් වුව ද,
ගලවනු ලබන්නේ ඉන් ඉතිරි ස්වල්ප දෙනකු පමණි.
28මන්ද ස්වාමින්වහන්සේ ස්වකීය තීන්දුව
සම්පූර්ණයෙන් ද නොපමාව ද පොළොව මත ක්‍රියාත්මක කරන සේක.”#9:28 යෙසා 10:22,23
29තවද යෙසායා කලින් කී පරිදි මෙසේ ය:
“සියලු බලැති ස්වාමින්වහන්සේ
අපට වංශයක් ඉතිරි නො කළ සේක් නම්,
අප, සොදොම මෙන් විය හැකි ව තිබිණි;
ගොමොරාව මෙන් වන්නට තිබිණි.”#9:29 යෙසා 1;9
ඉශ්‍රායෙල්ගේ නො ඇදහිල්ල
30එසේ නම් කුමක් කියමු ද? ධර්මිෂ්ඨකම හඹා ගිය නැති අන්‍ය-ජාතීහු, ධර්මිෂ්ඨකම අත්කර ගත්හ. ඒ, ඇදහිල්ල මගින් ලැබෙන ධර්මිෂ්ඨකම ය. 31එහෙත් නීතියකින් එන ධර්මිෂ්ඨකම හඹා ගිය ඉශ්‍රායෙල්, ඒ නීතියට එළැඹෙන්නට අපොහොසත් වූහ. 32ඒ ඇයි? ඒ, ඔවුන් ඇදහිල්ල මගින් නො ව, එය ක්‍රියා මත පිහිටා ඇති ලෙස කටයුතු කළ බැවිනි. එබැවින් ඔවුහු පැකිළවීමේ ගල පිට පැකුළුණහ. 33එසේ වූයේ,
“මෙන්න! මම පැකිළවීමේ ගලක් ද
බාධක පර්වතයක් ද සියොනෙහි තබමි.
උන්වහන්සේ තුළ විශ්වාස කරන කවරකු වුව ලජ්ජාවට පත් වන්නේ නැතැ”#9:33 යෙසා 8;14;28;16 යි
ලියා ඇති පරිද්දෙනි.

Šiuo metu pasirinkta:

රෝම 9: SCV

Paryškinti

Kopijuoti

Palyginti

Dalintis

None

Norite, kad paryškinimai būtų įrašyti visuose jūsų įrenginiuose? Prisijunkite arba registruokitės