උත්පත්ති 50
50
ජාකොබ්ගේ භූමදානය
1එවිට ජෝසෙප් තම පියාගේ මුහුණ බදාගෙන හඬමින් ඔහු සිඹින්නට විය. 2පසුව ඔහු තම සේවක වෙදැදුරන්ට තම පියාගේ මළමිනිය නොදිරන පිණිස බෙහෙත් ගැල්වීමට අණ කෙළේ ය. වෙදැදුරෝ එය ඉටු කළහ. 3ඒ සඳහා දින හතළිහක් ගත විය. මිනියකට බෙහෙත් කැවීමට ගත වන කාලය දින හතළිහකි. මිසර වාසීහු දින හැත්තෑවක් අවමංගල වත්පිළිවෙත් පැවැත්වූ හ.
4අවමංගල වත්පිළිවෙත් අවසාන වූ විට ජෝසෙප් පාරාවෝගේ නිලධාරීන් අමතා, “දැන් ඉතින් ඔබ මට කරුණාව පාන්නහු නම්, කරුණාකර, පාරාවෝට මේ පණිවුඩය යවන්න. 5#උත් 47:29-31 එනම්, ‘මාගේ පියා මට කතා කොට, මෙන්න, මාගේ අවසානය ළඟ ය, කානාන් දේශයේ මා සඳහා මා කැණූ සොහොන් බිම මා භූමදාන කළ යුතු ය’ කියා මා දිවුරෙව්වේ ය. දැන් ඉතින්, මාගේ පියා භූමදාන කරනු පිණිස මා යන්න හරින්න; මම ආපසු එන්නෙමි”යි කී ය. 6පාරාවෝ කතා කොට, “යන්න, ඔබේ පියාට ඔබ දිවුරූ ලෙස, ඔහු භූමදාන කරන්නැ”යි උත්තර දුනි.
7එවිට ජෝසෙප් තම පියා භූමදාන කරනු පිණිස ගියේය. තවද, ඔහු කැටුව පාරාවෝගේ නිලධාරීහු සියලු දෙන ද ඔහුගේ රාජ සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද මිසර දේශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සියලු දෙන ද 8ජෝසෙප්ගේ ගෘහවාසී සියලු දෙන ද ඔහුගේ සහෝදරයෝ ද ඔහුගේ පියාගේ ගෘහවාසීහු ද ගියහ. ඔවුන් ගෝෂෙන් ප්‍රදේශයේ ඉතිරි කර ගියේ ඔවුන්ගේ කුඩා දරුවන් ද එළු බැටළු පට්ටි ද ගව පට්ටි ද පමණි. 9තවද, ඔවුන් සමඟ අශ්ව රථ හා අශ්වාරෝහකයෝ ද පිටත් වූ හ. එය අති විශාල අවමඟුල් පෙරහැරක් විය.
10ඔව්හු ජොර්දානෙන් එගොඩ අතාද් නම් ස්ථානයේ කමතට පැමිණ, එහි මහත් සංවේගයකින් තදින් වැලපුණාහ. ජෝසෙප් ද දවස් හතක් අවමංගල වත්පිළිවෙත් ඉටු කෙළේ ය. 11එම දේශයේ වැසියන් වූ කානානිවරු අතාද් කමතේ පැවැත්වූ අවමංගල කෘත්‍යය දැක, “මෙය මිසර වැසියන්ගේ ප්‍රසිද්ධ අවමංගල පිළිවෙතක් ය” කියා ජොර්දානෙන් එතෙර වූ එම ස්ථානයට ආබෙල්-මිශ්‍රායිම් යන නාමය තැබුවෝ ය.
12තවද, ජාකොබ්ගේ පුත්‍රයෝ ඔහුගේ අණ පරිදි සියල්ල ඉටු කළහ. 13#ක්‍රියා 7:16 මෙලෙස ඔව්හු කානාන් දේශයට ඔහු ගෙන ගොස් ආබ්‍රහම් විසින් හිත්තීය ජාතික ඒප්‍රොන්ගෙන් සොහොන් බිමක් ලෙස ඉඩමක් සමඟ සින්නක්කරේට මිලට ගත් මම්රේ ඉදිරිපිට වූ මක්පේලාගේ භූමියේ ගුහාවෙහි ඔහු භූමදාන කළහ. 14තම පියා භූමදාන කළ පසු ජෝසෙප් ද ඔහුගේ සහෝදරයෝ ද ඔහුගේ පියාගේ භූමදානය සඳහා ගිය සියල්ලෝ ද ආපසු මිසරයට පැමිණියෝ ය.
ජෝසෙප් තම සහෝදරයන්ගේ බිය පහකිරීම
15ජෝසෙප්ගේ සහෝදරයෝ තම පියා මළ බව දුටු විට තමන් අතරේ කතා කරමින්, “ඇතැම් විට ජෝසෙප් අපට වෛර කරන්න පුළුවන, ඇත්තට ම අප ඔහුට කළ සියලු නපුරු දේ ගැන ඔහු අපෙන් පළිගත හැකි ය”යි කී හ. 16එබැවින් ඔව්හු ජෝසෙප් වෙත පණිවුඩයක් යවමින්, “ඔබේ පියා මැරෙන්න කලින් අපට කතා කොට, 17‘දැන් ඉතින් ඔබේ සහෝදරයන් ඔබට කළ සියලු නපුරුකම්වලටත්, ඔවුන්ගේ ඒ අපරාධයට හා පාපයටත් කරුණාකර ඔවුන් කමා කරන්නැ’යි ජෝසෙප්ට දැන්වීමට අපට අණ කෙළේ ය. එබැවින් දැන් කරුණාකර, ඔබ පියාගේ දෙවියන්ගේ දාසයන් වන අප කළ අපරාධයට සමාව දෙන්නැ”යි කී හ. එහෙත් එලෙස ඔහුට කී විට, ජෝසෙප් හඬන්නට විය.
18ඔහුගේ සහෝදරයෝ ගොස් ඔහු ඉදිරියෙහි වැඳ වැටී, “මෙන්න, අපි ඔබගේ දාසයෝ වෙමු”යි කී හ. 19එහෙත් ජෝසෙප් ඔවුන්ට කතා කොට, “බිය නොවන්න, දෙවියන් වහන්සේට හිමි තැන මට ගත හැකි ද? 20ඔබ නම් මට විරුද්ධ ව නපුරුකම් සිතුවහු ය. එහෙත් අද සිදු වී තිබෙන පරිදි, දෙවියන් වහන්සේ බොහෝ මිනිසුන්ගේ ජීවිත ගළවනු පිණිස ඒවා යහපතට හැරෙවූ සේක. 21එබැවින් දැන් ඉතින් බිය නොවන්න, මම ඔබ ද ඔබේ කුඩා දරුවන් ද නඩත්තු කරන්නෙමි”යි, ඔවුන් සනසමින්, ඔවුන් අමතා කාරුණික ලෙස කතා කෙළේ ය.
ජෝසෙප්ගේ මරණය
22මෙලෙස ජෝසෙප් ද ඔහුගේ පියාගේ පවුල ද මිසරයේ පදිංචි වූ හ. ජෝසෙප් අවුරුදු එකසිය දහයක් ජීවත් විය. 23තවද, ඔහු එප්‍රායිම්ගේ දරුවන් තුන් වන පරම්පරාව දක්වා දිටී ය. මනස්සේගේ පුත්, මාකීර්ගේ දරුවෝ ද ජෝසෙප් විසින් සිය පවුලට බාරගන්නා ලදහ. 24ඔහු තම සොහොයුරන් අමතා, “මාගේ අවසානය ළඟ ය. දෙවියන් වහන්සේ ද සැබැවින් ම ඔබ ආරක්ෂා කොට උන් වහන්සේ ආබ්‍රහම්ට, ඊසාක්ට හා ජාකොබ්ට දිවුරා පොරොන්දු වූ රටට, මේ රටින් ඔබ ගෙන යන සේකැ”යි කී ය. 25#නික්ම 13:19; ජෝෂු 24:32; හෙබ්‍රෙ 11:22 ඉන්පසු ඔහු ඔවුන් අමතමින්, “දෙවියන් වහන්සේ සැබැවින් ම ඔබ ආරක්ෂා කරන විට ඔබ ද මාගේ ඇටකටු මෙතැනින් ගෙන යා යුතු ය” කියා ඉශ්රායෙල්ගේ දරුවන්ගෙන් දිවුරුම් ගත්තේ ය. 26ජෝසෙප් අවුරුදු එකසිය දහයක් ආයු වළඳා මළේ ය. පසුව ඔව්හු ඔහුගේ මෘත ශරීරයට බෙහෙත් කවා එය මිසරයෙහි මිනී පෙට්ටියක තැන්පත් කළහ.
Currently Selected:
උත්පත්ති 50: SNRV
Tya elembo
Copy
Kokisana
Kabola
Olingi kobomba makomi na yo wapi otye elembo na baapareyi na yo nyonso? Kota to mpe Komisa nkombo