Logo ya YouVersion
Elilingi ya Boluki

උත්පත්ති 42

42
ජෝසෙප් හා සහෝදරයන් මුණගැසීම
1මිසරයෙහි ධාන්‍ය තිබෙන බව ඇසූ ජාකොබ් තම පුතුන්ට කතා කොට, “නුඹලා එකිනෙකා දෙස බල බලා නිකම් ඉන්නේ මන් ද? 2#ක්‍රියා 7:12 බලන්න, මිසරයෙහි ධාන්‍ය තිබෙන බව මා අසා ඇත. නුඹලා එහි ගොස්, අප නොමැරී ජීවත් වන පිණිස අපට ධාන්‍ය එහෙන් මිලයට ගන්නැ”යි කීවේ ය. 3එවිට ජෝසෙප්ගේ සහෝදරයෝ දසදෙනා මිසරයේ ධාන්‍ය මිලයට ගනු පිණිස ගියහ. 4එහෙත් ජාකොබ්, ජෝසෙප්ගේ සහෝදරයා වන බෙන්ජමින්ට ‘සමහරවිට අනතුරක් වේ ය’යි සිතා ඔහුගේ සහෝදරයන් සමඟ ඔහු නොහැරියේ ය.
5මෙලෙස කානාන් දේශයේ ද සාගතය පැවතිණි, ධාන්‍ය මිලට ගැනීමට ආ අය අතර ඉශ්රායෙල්ගේ පුත්‍රයෝ ද වූ හ. 6ජෝසෙප් රටේ අධිපති වූවාක් මෙන් ම, රටේ මිනිසුන් සියල්ලන්ට ම ධාන්‍ය විකුණුවේ ද ඔහු ය. ඔහුගේ සහෝදරයෝ පැමිණ, ඔහු ඉදිරියෙහි මුණින්තලා වී වැන්දා හ. 7ජෝසෙප් ඔහුගේ සහෝදරයන් දැක, ඔවුන් හඳුනාගත් නමුත්, තමා නාඳුනන්නාක් මෙන් හඟවා, ඔවුන්ට තදින් කතා කරමින්, “නුඹලා ආවේ කිනම් රටකින් දැ”යි ඇසී ය. “ආහාර මිලට ගනු පිණිස කානාන් දේශයෙන් ය”යි ඔව්හු කී හ.
8ජෝසෙප් තම සොහොයුරන් හැඳින ගත් නමුත්, ඔව්හු ඔහු හැඳින නොගත් හ. 9#උත් 37:5-10 ඔවුන් ගැන දුටු සිහින ද ඔහුට මතක් වී, ඔවුන්ට කතා කොට, “නුඹලා ඔත්තුකාරයෝ ය; නුඹලා පැමිණියේ රටේ දුබල තැන් බැලීමට ය”යි කීවේ ය. 10එවිට ඔව්හු ඔහුට උත්තර දෙමින්, “නැත ස්වාමීනි, ඔබේ දාසයන් පැමිණියේ ආහාර මිලට ගැනීමට පමණ ය. 11අපි සියල්ලෝ ම එක මිනිසෙකුගේ පුත්‍රයෝ වෙමු. අපි අවංක මිනිස්සු ය. ඔබේ දාසයෝ ඔත්තුකාරයෝ නොවෙති”යි කී හ. 12එවිට ජෝසෙප් නැවතත් ඔවුන්ට කතා කරමින්, “එසේ නොවේ, නුඹලා ආවේ රටේ දුබල තැන් බලාගන්නට පමණ ය”යි කී ය. 13ඔව්හු ද පිළිතුරු දෙමින්, “ඔබේ දාසයෝ වනාහි කානාන් දේශයේ එක ම මිනිසෙකුගේ පුත්‍රයන් වන සහෝදරයෝ දොළොස්දෙනෙකි. ඇත්තට ම බාල ම තැනැත්තා අද අපේ පියා සමඟ ය. එක් කෙනෙකු නම් ආගිය අතක් නැතැ”යි කී හ. 14ජෝසෙප් ද නැවතත් ඔවුන් අමතමින්, “ ‘ නුඹලා ඔත්තුකාරයෝ ය’යි මා නුඹලාට කීවේ අන්න ඒ නිසයි. 15නුඹලා කවුරු ද කියා මම පරීක්ෂා කර බලන්නට යමි. නුඹලාගේ බාල ම සහෝදරයා මෙහි එන තුරු නුඹලා මෙතැනින් නොයන්නහු ය යි පාරාවෝගේ නාමයෙන් දිවුරා කියමි. 16නුඹලාගෙන් කෙනෙකු පිටත් කර හරින්න, ඔහු නුඹලාගේ සහෝදරයා කැඳවාගෙන ආ යුතු ය. තවද, නුඹලා අවංක අය ය යි කියන කීම පරීක්ෂා කර බලන තුරු නුඹලා හිරබාරයේ තබනු ලබන්නහු ය. එසේ නොවී නම්, නුඹලා ඔත්තුකාරයෝ ය කියා පාරාවෝගේ නාමයෙන් මම දිවුරා කියමි”යි පැවසී ය. 17ඔහු ඔවුන් සියල්ලන් දින තුනක් ම හිරබාරයේ තැබී ය.
18තුන් වන දින ජෝසෙප් ඔවුන්ට කතා කොට, “මම දෙවියන් වහන්සේ කෙරෙහි ගරුබිය ඇත්තෙක්මි. එබැවින් නුඹලා පණ බේරාගන්න කැමැති නම් මෙසේ කරන්න; 19නුඹලා අවංක අය නම්, සොහොයුරන් වන නුඹලාගෙන් කෙනෙකු, මේ සිරගෙයි සිර අඩස්සියේ තබා අනෙක් අය නුඹලාගේ පවුල්වල ඇති සාගතය සඳහා ධාන්‍ය රැගෙන යන්න. 20එහෙත්, බාල ම සහෝදරයා මා වෙත ගෙනා යුතු ය. මෙලෙස නුඹලා ඇත්ත කී බව ඔප්පු වීමෙන් මරණයෙන් බේරෙන්නහු ය”යි කී ය.
ඔව්හු ද ඊට එකඟ වූ හ. 21ඉන්පසු ඔව්හු එකිනෙකා අමතමින්, “අපි ඇත්තෙන් ම අපගේ සහෝදරයාට කළ දේ ගැන වරදකරුවෝ වෙමු. ඒ මන්ද, ඔහු අපට කන්නලව් කරද්දී ඔහුගේ වේදනාව දැක දැකත්, අපි ඇහුම්කන් නුදුන්නෙමු. මේ විපත අපට පැමිණියේ ඒ නිසා ම ය”යි කීවෝ ය.
22 # උත් 37:21-22 එවිට රූබන් පිළිතුරු දෙමින්, “ ‘ළමයාට විරුද්ධ ව පව් නොකරන්න,’ කියා මා ඔබට කීවා නොවේ ද? එහෙත්, ඔබ ඇහුම්කන් නුදුන්නහු ය. එබැවින්, මෙන්න, ඔහුගේ ලේ ගැන අප දැන් වන්දි ගෙවිය යුතු ය”යි කී ය.
23ඔවුන් කී දේ ජෝසෙප් තේරුම් ගත් බව ඔව්හු දැන නොගත්හ. මන්ද, ඔහු ඔවුන්ට කතා කෙළේ තෝල්කයෙකු මඟින් බැවිනි. 24ඔහු ද ඔවුන්ගෙන් ඉවතට ගොස් හැඬී ය. පසුව යළි ඔවුන් වෙත පැමිණ ඔවුන් සමඟ කතා කොට, ඔවුන් අතරෙන් සිමියොන් රැගෙන, ඔවුන් ඉදිරිපිට ම ඔහු බැන්දේ ය.
ජෝසෙප්ගේ සහෝදරයන් හැරී යාම
25ඉන්පසු ජෝසෙප්, ඔවුන්ගේ ගෝණි ධාන්‍යයෙන් පුරවා, සැම දෙනාගේ ම මුදල් එකිනෙකාගේ ගෝණිවල දැමීමටත්, ගමනට උවමනා ආහාර ඔවුන්ට දීමටත් අණ කෙළෙන්, ඔවුන්ට එලෙස කරන ලදී. 26ඔව්හු කොටළුවන් පිට ධාන්‍ය පටවාගෙන එතැනින් නික්ම ගියහ. 27රාත්‍රියේ නැවතුම් පොළේ දී ඔවුන්ගෙන් කෙනෙක් තම කොටළුවාට කෑම දෙන පිණිස තම ගෝණිය හැරිය විට, තමාගේ මුදල් ගෝණි කටේ තිබෙනු දිටී ය. 28එවිට ඔහු තම සොහොයුරන්ට කතා කොට, “මාගේ මුදල් ආපසු දමා ඇත. බලන්න, එය මාගේ ගෝණිය තුළ ය”යි කී විට, ඔවුන්ගේ සිත් වියවුල් වී, ඔව්හු බියෙන් එකිනෙකා අමතමින්, “දෙවියන් වහන්සේ අපට කළ මේ දේ කුමක් දැ”යි කියන්නට වූ හ.
29ඔව්හු කානාන් දේශයේ තම පියා වන ජාකොබ් වෙත පැමිණ තමන්ට සිදුවූ සියල්ල ම ඔහුට දන්වමින්, 30“දේශාධිපතියා වූ තැනැත්තා අපට තදින් කතා කොට ඒ රටේ ඔත්තුකාරයන් ලෙස අප සැලකී ය. 31අපි ද ඔහු අමතා, අප අවංක අය බවත්, ඔත්තුකාරයන් නොවන බවත් කීවෙමු. 32ඇරත් අපි එක ම පියෙකුගේ පුතුන් වන සහෝදරයන් දොළොස්දෙනෙකුන් බවත්, එක් කෙනෙකු නැති බවත්, බාලයා දැන් කානාන් දේශයේ අපගේ පියා සමඟ සිටින බවත් කීවෙමු. 33එවිට දේශාධිපතියා වූ ඒ මනුෂ්‍යයා අපට කතා කොට, ‘නුඹලා අවංක අය බව මෙයින් දැනගන්නෙමි. එනම්, නුඹලාගේ සහෝදරයන්ගෙන් කෙනෙකු මා ළඟ නවත්වා නුඹලාගේ පවුල්වල සාගතය සඳහා ආහාර රැගෙන පිටතට යන්න. 34තවද, නුඹලාගේ බාල ම සහෝදරයා මා වෙත ගෙනෙන්න; මෙයින් නුඹලා ඔත්තුකාරයන් නොවන බවත්, අවංක මිනිසුන් බවත් මම දැනගන්නෙමි. එවිට නුඹලාගේ සහෝදරයා ආපසු මම නුඹලාට දෙන්නෙමි. නුඹලාට ද රටේ වෙළහෙළඳාම් කළ හැකි ය’ කියා කීවේ ය”යි සැළ කළහ.
35ඔව්හු තමන්ගේ ගෝණි හිස් කළ විට, එකිනෙකාගේ මුදල් පොදිය ඒ ඒ අයගේ ගෝණියේ තිබෙනු දුට හ. ඔව්හු ද, ඔවුන්ගේ පියා ද මුදල් පොදි දුටු විට බිය වූ හ. 36එවිට ඔවුන්ගේ පියා වන ජාකොබ් ඔවුන් අමතමින්, “නුඹලා දරුවන්ගෙන් මා වියෝ කළහු ය. ජෝසෙප් දැන් නැත. සිමියොන් ද නැත, බෙන්ජමින් ද රැගෙන යෑම නුඹලාට උවමනා වී තිබේ. මේ සියලු දුක් විඳින්නා මම ය”යි කීවේ ය. 37එවිට රූබන් තම පියාට කතා කොට, “ඔබ වෙත මා ඔහු ආපසු නොගෙනාවොත්, මාගේ දරුවන් දෙදෙන මරාදමන්න; මට ඔහු බාර දෙන්න: මම ආපසු ඔහු ඔබ වෙත ගෙනෙන්නෙමි”යි කීවේ ය. 38ජාකොබ් එවිට පිළිතුරු දෙමින්, “නුඹලා සමඟ මාගේ පුත්‍රයා නම් නොයනු ඇත, ඒ මන්ද, ඔහුගේ සහෝදරයා මළ පසු, ඉතිරි වී ඇත්තේ ඔහු පමණ යි. නුඹලා යන අතරමඟ දී ඔහුට අනතුරක් සිදු වුණොත් වයස් ගත මට දුක් පමුණුවා, නුඹලා මා මරාදමන්නහු ය”යි කීවේ ය.

Tya elembo

Copy

Kokisana

Kabola

None

Olingi kobomba makomi na yo wapi otye elembo na baapareyi na yo nyonso? Kota to mpe Komisa nkombo