උත්පත්ති 39
39
ජෝසෙප් මිසරයෙහි වාසය කිරීම
1ජෝසෙප් මිසරයට ගෙනයනු ලැබී ය. එකල පාරාවෝගේ වාසල ඇමති හා මුර සෙන්පති වූ මිසර ජාතික පොතිපර්, ජෝසෙප් එහි ගෙන ගිය ඉෂ්මායෙල්වරුන්ගෙන් ඔහු මිලයට ගත්තේ ය. 2#ක්‍රියා 7:9 සමිඳාණන් වහන්සේ ජෝසෙප් සමඟ වැඩසිටියෙන් ඔහුගේ හැම කටයුත්තක් ම සාර්ථක විය. ඔහු මිසර ජාතික තම ස්වාමියාගේ නිවසෙහි වාසය කෙළේ ය. 3ඔහුගේ ස්වාමියා ද සමිඳාණන් වහන්සේ ජෝසෙප් සමඟ වැඩසිටි බවත්, ඔහු කළ සියල්ල සාර්ථක වීමට උන් වහන්සේ සැලැසූ බවත් දිටී ය. 4එහෙයින් ජෝසෙප් ඔහුගේ ප්‍රසාදයට පාත්‍ර විය. ජෝසෙප් ඔහුට සේවය කෙළේ ය. තවද පොතිපර්, ඔහු තම ගෘහයේ කළමනාකරු කොට පත් කර, තමා සතු සියල්ල ඔහුගේ පාලනයට බාර දුනි. 5ජෝසෙප් ගෘහයේ හා එහි සියල්ලේ කළමනාකරු හැටියට පත් කළ දින පටන් සමිඳාණන් වහන්සේ මිසර ජාතිකයාගේ ගෘහයට ආශීර්වාද කළ සේක. ඇරත් ඔහුගේ ගෘහයේ හා වතුපිටිවල සියල්ල කෙරෙහි ඒ ආශීර්වාදය විය. 6පොතිපර් තමා සතු සියල්ල ජෝසෙප්ගේ අතට බාර දුනි. ඔහු තමා අනුභව කළ ආහාර ගැන මිස තමා සතු අන් කිසිවක් ගැන සැලකුවේ නැත.
ජෝසෙප් පෙළඹවීමේ තැත
ජෝසෙප් කඩවසම් පෙනුමක් ඇති, රූපසම්පන්න කෙනෙක් විය. 7ටික කලක් ගත වූ පසු, ඔහුගේ ස්වාමියාගේ බිරිඳ ජෝසෙප් වෙත නෙත් හෙළා, “මා සමඟ සයනය කරන්නැ”යි කීවා ය. 8එහෙත් ඔහු එය ප්‍රතික්ෂේප කර, තම ස්වාමියාගේ බිරිඳ අමතා, “බලන්න, මා ගෙදර ඉන්න නිසා, කිසි ම දෙයක් ගැන මාගේ ස්වාමියාට බරක් නැත. ඇරත් ඔහු සතු සියල්ල ම මා අතට පවරා දී ඇත. 9මේ නිවස කෙරෙහි ඔහුට මෙන් ම මට ද පාලන බලය ඇත. ඔබ ඔහුගේ භාර්යාව නිසා ඔබ හැරෙන්නට, අන් සියල්ල ම මට බාර දී ඇත. එසේ නම් මම මෙ වැනි මහා දුෂ්ට ක්‍රියාවක් කොට, දෙවියන් වහන්සේට විරුද්ධ ව කෙසේ පව් කරම් දැ”යි ඇසී ය. 10දවසින් දවස, ඈ සමඟ සයනය කිරීමට හෝ ඈ ළඟ සිටීමට හෝ ඈ ජෝසෙප්ට කතා කළ නමුත්, ඔහු ඈට ඇහුම්කන් නුදුන්නේ ය.
11එක් දිනක් තම සේවා කිරීම පිණිස ජෝසෙප් ගෙට ඇතුළු විය. ගෘහයේ සේවකයන්ගෙන් කිසිවෙක් ද එහි ඇතුළත නො සිටියේ ය. 12ඈ ඔහුගේ වස්ත්‍රයෙන් අල්ලාගෙන, “මා සමඟ සයනය කරන්නැ”යි කීවා ය. එහෙත් ඔහු තම වස්ත්‍රය ඇගේ අතේ හැරදමා ගෙයින් පිටතට පලා ගියේය. 13ඈ ද, ඔහුගේ වස්ත්‍රය තමාගේ අතේ හැරදමා, ඔහු පලා ගිය බව දුටු විට, 14තම ගෘහයේ සේවකයන් කැඳවා, ඔවුන්ට කතා කරමින්, “බලන්න, මාගේ සැමියා අපට අවමන් කිරීමට අප වෙත හෙබ්‍රෙව් ජාතිකයෙකු ගෙනාවේ ය. මා සමඟ සයනය කිරීමට ඔහු මා ළඟට පැමිණියේ ය, මම ද මහ හඬින් කෑගැසුවෙමි. 15මා මහ හඬින් කෑගසන බව ඔහුට ඇසුණු විට, මා අත ඔහුගේ වස්ත්‍රය හැරදමා ගෙයින් පිටතට පලා ගියේ ය”යි කීවා ය.
16මෙසේ කියා තම ස්වාමි පුරුෂයා එන තුරු, ඈ ඔහුගේ වස්ත්‍රය තමා ළඟ තබාගත්තා ය. 17ඔහුට ද ඈ එම කතාව කියමින්, “අප වෙත ඔබ ගෙනා හෙබ්‍රෙව් ජාතික සේවකයා, මට නිග්‍රහ කිරීමට මා ළඟට පැමිණියේ ය. 18මා මහ හඬින් කෑගැසූ විට ඔහු තම වස්ත්‍රය මා වෙත හැරදමා පලා ගියේ ය”යි සැළ කළා ය.
19ජෝසෙප්ගේ ස්වාමියා ද, ‘ඔබේ සේවකයා මෙලෙස කෙළේ ය’යි තම භාර්යාව කී වචන ඇසූ විට, කෝපයෙන් දිළිහී, 20ඔහු අත්අඩංගුවට ගෙන රජුගේ සිරකරුවන් තබන සිරගෙයි දැමී ය. මෙසේ ඔහු සිරගෙදර නැවතී සිටියේ ය. 21#ක්‍රියා 7:9 එහෙත්, සමිඳාණන් වහන්සේ ජෝසෙප් සමඟ වැඩසිට, ඔහුට කරුණාව පෙන්වා, සිරගෙදර පාලකයාගේ ප්‍රසාදය ද ඔහුට ලබා දුන් සේක. 22සිරගෙයි පාලකයා ද සිරගෙදර සිටි සියලු සිරකරුවන් ජෝසෙප්ගේ පාලනයට බාර දුන්නේ ය. ඔවුන් එහි කළ සියල්ල පිළිබඳ වගකීම ජෝසෙප් අතෙහි විය. 23තවද, ජෝසෙප්ගේ පාලනයට පවරා දුන් කිසිවක් ගැන සිරගෙයි පාලකයාට ප්‍රශ්නයක් නො වී ය. මන්ද, සමිඳාණන් වහන්සේ ඔහු සමඟ වැඩසිට, ඔහු කළ සියල්ල ම සාර්ථක කිරීමට සැලැසූ නිසා ය.
Currently Selected:
උත්පත්ති 39: SNRV
Tya elembo
Copy
Kokisana
Kabola
Olingi kobomba makomi na yo wapi otye elembo na baapareyi na yo nyonso? Kota to mpe Komisa nkombo