උත්පත්ති 37
37
1තමාගේ පියා තාවකාලික ව නැවතී සිටි රට වන කානාන් දේශයේ ජාකොබ් පදිංචි විය. 2ජාකොබ්ගේ පෙළපත් කතාව මේ ය.
ජෝසෙප් සහ ඔහුගේ සහෝදරයෝ
ජෝසෙප්ට වයස අවුරුදු දාහතක් වූ විට, ඔහු තම සහෝදරයන් සමඟ බැටළුවන්ට තණ කවමින් සිටියේ ය. ඔහු සිටියේ තම පියාගේ භාර්යාවන් වන බිල්හාගේ ද, ශිල්පාගේ ද පුත්‍රයන් සමඟ ය. ජෝසෙප් ඔවුන්ගේ නපුරු ක්‍රියා ගැන පියාට දැන්වුයේ ය.
3ඉශ්රායෙල් තම දරුවන් සියල්ලන්ට ම වඩා ජෝසෙප්ට ප්‍රේම කෙළේ ය. මන්ද, ඔහු තම මහලු වියේ ලත් පුත්‍රයා බැවිනි. ඒ නිසා ඔහු ජෝසෙප්ට අත් ඇති, දිග විශේෂ ඇඳුමක් සාදා දුනි. 4ඔවුන්ගේ පියා, ඔවුන් සියල්ලන්ට ම වඩා ජෝසෙප්ට ප්‍රේම කරන බව දැක ඔහුගේ සහෝදරයෝ ඔහුට වෛර කළහ. එබැවින් ඔහු සමඟ මිත්‍ර ලීලාවෙන් කතා කිරීමට ඔවුන්ට නොහැකි විය.
5ජෝසෙප් සිහිනයක් දැක, තම සොහොයුරන්ට එය කීවේ ය. ඒ නිසා ඔව්හු ඔහුට වඩ වඩාත් වෛර කරන්නට වන්හ. 6ඔහු ද ඔවුන්ට කතා කොට, “කරුණාකර, මා දුටු සිහිනයට ඇහුම්කන් දෙන්න. 7මෙන්න, අපි කෙතෙහි ගොයම් මිටි බඳිමින් සිටියෙමු. එවිට, පුදුමයකි, මාගේ ගොයම් මිටිය නැඟිට කෙළින් සිටියේ ය. ඔබ හැමගේ ගොයම් මිටි, එය වටේට සිටගෙන, මාගේ ගොයම් මිටියට නැමී ආචාර කෙළේ ය”යි කීවේ ය. 8එවිට ඔහුගේ සහෝදරයෝ, “ඇත්තට ම ඔබ අප කෙරෙහි රජකම් කරන්නට යන්නෙහි ද? සැබැවින් ම ඔබ අප කෙරෙහි අධිපති බලය පාන්න යන්නෙහි දැ”යි ඇසූ හ. එබැවින් ඔව්හු මේ සිහින නිසාත්, ඔහුගේ කියුම් නිසාත් ඔහුට තව තවත් වෛර කළහ.
9තවද, ඔහු තවත් සිහිනයක් දැක, එය ද තම සොහොයුරන්ට දන්වමින්, “මේ අහන්න, මම තවත් සිහිනයක් දිටිමි. පුදුමයකි, ඉර, හඳ හා තාරකා එකොළහක් මට නැමී ආචාර කෙළේ ය”යි කී ය. 10තවද, ජෝසෙප් තම පියාටත්, තම සහෝදරයන්ටත් එය දැන්වී ය. එවිට ඔහුගේ පියා ඔහුට බැණ වදිමින්, “නුඹ දුටු මේ සිහිනයේ තේරුම කුමක් ද? ඇත්තට ම, නුඹේ අම්මාත්, නුඹේ සහෝදරයෝත්, මමත් බිමට නැමී නුඹට ආචාර කරන්ට එන්නෙමු දැ”යි ඇසී ය. 11#ක්‍රියා 7:9 ඔහුගේ සහෝදරයෝ ඔහුට ඊර්ෂ්‍යා කළහ. එහෙත් ඔහුගේ පියා, ඔහු කියූ කරුණ සිතේ තබාගත්තේ ය.
ජෝසෙප් මිසරයට විකුණනු ලැබීම
12ඔහුගේ සහෝදරයෝ ද තම පියාගේ එළු බැටළු පට්ටි බලාගනු පිණිස ෂෙකෙම් නම් පෙදෙසට ගියහ. 13එවිට ඉශ්රායෙල් ජෝසෙප්ට කතා කරමින්, “නුඹේ සහෝදරයන් ෂෙකෙම්හි එළු බැටළු පට්ටි බලාගන්නවා නොවේ ද? එන්න, මම නුඹ ඔවුන් වෙත යවමි”යි කී විට, ජෝසෙප් ද, “මම ලෑස්ති ය” කියා උත්තර දුනි. 14ඔහුගේ පියා තවදුරටත් කතා කරමින්, “කරුණාකර, යන්න, නුඹේ සහෝදරයොත් එළු බැටළුවොත් සුව සේ සිටිත් දැ යි බලාගෙන ඇවිත් මට දන්වන්නැ”යි කී ය. මෙසේ කියා ඔහු හෙබ්‍රොන් නම් මිටියාවතින් ජෝසෙප් පිටත් කර හැරියේ ය.
ජෝසෙප් ෂෙකෙම් පෙදෙසට පැමිණ, එහි තැනින් තැන යන විට, 15එක්තරා මිනිසෙකුට ඔහු හමු වී, “ඔබ කුමක් සොයන්නෙහි දැ”යි ඒ මිනිසා ඔහුගෙන් විචාළේ ය. 16ඔහු ද කතා කොට, “මම මාගේ සොහොයුරන් සොයමි. ඔවුන් බැටළුවන්ට තණ කවන්නේ කොහේ ද කියා කරුණාකර මට කියන්නැ”යි උත්තර දුන්නේ ය. 17එවිට ඒ මිනිසා, “ඔබේ සහෝදරයන් මෙතැනින් යන්න ඇත. ‘අපි දොතාන් නම් පෙදෙසට යමු’යි ඔවුන් කියනු මට ඇසිණි”යි කීවේ ය. එවිට ජෝසෙප් තම සොහොයුරන් සොයා යන විට, දොතාන්හි දී ඔව්හු ඔහුට හමු වූ හ.
18ඔහුගේ සහෝදරයෝ ඔහු දුර සිට දුටු හැටියේ ම, ඔවුන් වෙත එන්නටත් පෙර, ඔහු මරාදැමීමට කුමන්ත්‍රණය කළහ. 19ඔව්හු එකිනෙකා අමතමින්, “ඔය එන්නේ ස්වප්නකාරයා. 20දැන් ඉතින් වරෙල්ලා, අපි ඔහු මරා වළකට දමා, ‘මොකෙක් හරි නපුරු වන සතෙක් ඔහු කාදැමුවේ ය’යි කියමු. එවිට ඔහුගේ සිහිනවලට සිදුවන දේ බලමු”යි කතා කරගත්හ.
21රූබන් ඒ අසා, ඔවුන් අතින් ඔහු මුදාගැනීමට බලමින්, “අපි ඔහුගේ ජීවිතයට හානියක් නොකරමු”යි කී ය. 22තවදුරටත් ඔහු ඔවුන්ට කතා කොට, “ලේ බිඳක් නොහළා, පාළු තැන්නේ ඇති මේ වළට අපි ඔහු විසිකර දමමු. ඔහුට නම් අත නොතබන්නැ”යි කීවේ ය. ඔහු මෙසේ කීවේ ඔවුන්ගෙන් ඔහු බේරාගෙන, තම පියාට නැවත ඔහු මුදා දෙන පිණිස ය. 23ජෝසෙප් තම සොහොයුරන් වෙත පැමිණි විට ඔව්හු ඔහුගේ ඇඳුම, අත් ඇති, දිග, විශේෂ ඇඳුම ගලවාදමා, 24ඔහු රැගෙන වළකට දැමූ හ. ඒ වළ ද වතුර නැති හිස් එකක් විය.
25ඉන්පසු ඔව්හු ආහාර අනුභව කිරීමට වාඩි වී, හිස ඔසවා බලන්නාහු ගිලියද්හි සිට මිසරයට ගෙන යන පිණිස කුළු බඩු ද සුවඳ ද්‍රව්‍ය සහ දුම්මල ද ඔටුවන් පිට පටවාගෙන යන ඉෂ්මායෙල්වරුන්ගේ තවලමක් දුටහ. 26එවිට ජුදා තම සොහොයුරන් අමතමින්, “අපේ සහෝදරයා මරා දමා, ඔහුගේ ලේ සැඟවීමෙන් කුමන පලක් ද? 27එන්න, අපි ඔහු පිට අත නොතබා, ඉෂ්මායෙල්වරුන්ට විකුණමු. ඇත්තට ම ඔහු අපේ ම සහෝදරයා නො වේ ද; අපි එක පියෙකුගේ දරුවෝ නො වෙමු දැ”යි කී ය. ඔහුගේ සහෝදරයෝ ද එකඟ වූ හ. 28#ක්‍රියා 7:9 මිදියන් ජාතික වෙළෙඳුන් ඔවුන් අසලින් යන කල, ඔව්හු ජෝසෙප් වළෙන් ගොඩට ගෙන, ඉෂ්මායෙල්වරුන්ට රිදී කාසි විස්සකට වික්කෝ ය. ඔව්හු ද ජෝසෙප් මිසරයට ගෙනාහ.
29එහෙත්, රූබන් ආපසු වළ ළඟට ආ විට පුදුමයකි, ජෝසෙප් වළේ නොසිටි බැවින්, ඔහු දුකින් පිරී තම වස්ත්‍ර ඉරා ගෙන, 30සිය සොහොයුරන් වෙත නැවත පැමිණ, “ළමයා නැත, ඉතින් මම කුමක් කරන්න දැ”යි කී ය.
31ඔව්හු ද එළු පැටියෙකු මරා, ජෝසෙප්ගේ වස්ත්‍රය ගෙන, එය එහි ලේවල ගැල්වූ හ. 32පසුව අත් ඇති, දිග, එම විශේෂ ඇඳුම තමන්ගේ පියා වෙත ගෙනැවිත්, “මෙය අපට සම්බ විය, එය ඔබ පුත්‍රයාගේ වස්ත්‍රය ද, නැද්දැ යි කියා සොයා බලන්නැ”යි කී හ.
33ඔවුන්ගේ පියා වන ජාකොබ් ද, එය බලා හඳුනාගෙන, “මෙය මාගේ පුතාගේ වස්ත්‍රය ම යි. නපුරු සතෙකු අනුමානයක් නැති ව ම ඔහු කෑලිවලට ඉරාදමා ඇත” කියා, 34දුකින් තම වස්ත්‍ර ඉරාගෙන, තම ඉණ වටා හණ රෙදි ඇඳගෙන, බොහෝ දිනක් තම පුත්‍රයා නිසා වැලපුණේ ය. 35ඔහුගේ පුත්තු හා දූවරු සියල්ලෝ ම ඔහු සනසන්නට නැඟිට ආහ. එහෙත් ඔහු සනසනු ලැබීමට අකමැති ව, “මම වැලපෙමින් ම මාගේ පුතු වෙත මිනීවළට යන්නෙමි”යි කී ය. මෙලෙස ඔහුගේ පියා ඔහු නිසා හඬා වැලපුණේ ය.
36මිදියන්වරු, මිසරයේ දී පාරාවෝ රජුගේ වාසල ඇමති හා මුර සෙන්පති වන පොතිපර්ට ජෝසෙප් විකුණුවෝ ය.
Currently Selected:
උත්පත්ති 37: SNRV
Tya elembo
Copy
Kokisana
Kabola
Olingi kobomba makomi na yo wapi otye elembo na baapareyi na yo nyonso? Kota to mpe Komisa nkombo