උත්පත්ති 20
20
ආබ්‍රහම් සහ අබිමෙලෙක් රජ
1ආබ්‍රහම් මම්රේ පෙදෙසින් නික්ම නේගෙබ් පළාත බලා ගොස්, කාදෙෂ් සහ ෂූර් අතර පිහිටි ගෙරාර්හි කලකට පදිංචි විය. 2#උත් 12:13; 26:7 තවද, ආබ්‍රහම් සිය බිරිඳ වන සාරා තමාගේ සහෝදරිය යි කී බැවින් ගෙරාර්හි රජ වූ අබිමෙලෙක් ඇය තමා වෙත ගෙන්වාගත්තේ ය. 3එදින රාත්‍රියේ දෙවියන් වහන්සේ ස්වප්නයකින් අබිමෙලෙක්ට දර්ශනය වී, “නුඹ ගත් ස්ත්‍රිය විවාහක ස්ත්‍රියක වන හෙයින් නුඹ මැරෙන්නෙහි ය”යි වදාළ සේක. 4එහෙත්, සාරාට සමීප නො වූ අබිමෙලෙක් උන් වහන්සේට කතා කොට, “ස්වාමීනි, ඔබ නිදොස් ජනයා පවා මරන සේක් ද? 5ආබ්‍රහම් පවා ඈ තමාගේ සහෝදරී යැයි කීවා නොවේ ද? ඈ වුව ද ඔහු ඇගේ සහෝදරයා ය යි කීවා ය. මා මෙය කෙළේ හෘදය සාක්ෂියට එකඟ ව අවංක සිතකිනි”යි කී ය.
6දෙවියන් වහන්සේ ද ස්වප්නයක් මඟින් ඔහුට පිළිතුරු දෙමින්, “සැබැවින් ම ඔබ මෙය කෙළේ අවංක සිතකින් බව මම දනිමි. මට විරුද්ධ ව පව් කිරීමෙන් මම ද නුඹ වළක්වාලීමි; ඈට අත තැබීමට මා නුඹට ඉඩ නුදුන්නේ ඒ නිසා ය. 7එබැවින් දැන් එම බිරිඳ සිය සැමියාට ආපසු බාර දෙන්න. ඔහු දිවැසිවරයෙකු බැවින් ඔහු නුඹ උදෙසා යාච්ඤා කරනු ඇත. නුඹ නොමැරෙන්නෙහි ය; එහෙත් නුඹ ඈ ආපසු බාර නොදෙන්නෙහි නම්, නුඹත්, නුඹ සතු සියල්ලත් නියත වශයෙන් ම මැරෙන බව දැනගන්නැ”යි වදාළ සේක.
8පසු දින අලුයම අබිමෙලෙක් අවදි ව, තම සේවකයන්ට අඬගසා, ඔවුන් ඉදිරියෙහි මේ සියල්ල කීවේ ය. ඔව්හු ද අතිශයින් බිය වූ හ. 9එවිට අබිමෙලෙක් ආබ්‍රහම් කැඳවා, “යසයි, ඔබ අපට කළ දේ! මා පිටත්, මාගේ රාජ්‍යය පිටත් මේ සා බරපතල පාපයක් පැවරීමට මා ඔබට කළ වැරැද්ද කුමක් ද? ඔබ මට කර ඇත්තේ කොතරම් නොකටයුතු දෙයක් ද? 10මෙය කිරීමට ඔබ පෙළඹුණේ කුමක් නිසා දැ”යි ඇසී ය. 11ආබ්‍රහම් උත්තර දෙමින්, “ඇත්තෙන් ම දෙවියන් වහන්සේට බිය ඇති කෙනෙකු මෙහි නොසිටින බැවින් මාගේ භාර්යාව ලබාගැනීමට ඔවුන් මා මරාදමනු ඇතැ යි මම සිතුවෙමි. 12එහෙත්, සැබැවින් ම ඈ මාගේ සොහොයුරී ය. ඈ මගේ මවගේ නොව පියාගේ දුව ය. මම ඈ සමඟ විවාහ වුණෙමි. 13තවද, දෙවියන් වහන්සේ මාගේ පියාගේ ගෘහයෙන් පිට වී යන්නට මට සැලැසූ විට, ‘නුඹට මා වෙනුවෙන් පෙන්විය හැකි එක ම කරුණාව නම්, අප යන යන තැන, ‘ඔහු මාගේ සහෝදරයා ය’යි කියන මෙන් මම ඇගෙන් ඉල්ලීමි’ ”යි කී ය.
14එවිට අබිමෙලෙක් ආබ්‍රහම්ගේ බිරිඳ වන සාරා ඔහුට ආපසු දුන්නේ ය. ඒ සමඟ ම බැටළුවන් ද ගවමහිෂයන් ද දාසදාසීන් ද රැගෙන ඔහුට දුන්නේ ය.
15තවද අබිමෙලෙක් ඔහු අමතා, “මෙන්න, මාගේ රට ඔබ ඉදිරියෙහි ය. ඔබ එහි කැමැති තැනකට ගොස් පදිංචි වන්නැ”යි කී ය. 16තවද, රජ තෙම සාරාට කතා කොට, “මෙන්න, මම ඔබේ සහෝදරයාට රිදී මිල දහසක් දුනිමි. එය ඔබ සමඟ සිටින සියල්ලන් ඉදිරියෙහි ඔබේ නිදොස් බව ඔප්පු කිරීමට සාක්ෂියක් වේ වා. ඔබ වැරැද්දක් නොකළ බව සියලු දෙන ම දැනගන්නෝ ය”යි කී ය.
17ආබ්‍රහම් ද දෙවියන් වහන්සේට යාච්ඤා කෙළේ ය. උන් වහන්සේ ද අබිමෙලෙක් සුවපත් කළ සේක; ඔහුගේ භාර්යාවට හා දාසීන්ට දරුසම්පත් ලැබෙන සේ ඔවුන් සුවපත් කළ සේක. 18එසේ කෙළේ ආබ්‍රහම්ගේ භාර්යාව වූ සාරා නිසා අබිමෙලෙක්ගේ ගෘහයෙහි සියලු ම කාන්තාවන් උන් වහන්සේ වඳ බවට පත් කර තිබුණු හෙයිනි.
Currently Selected:
උත්පත්ති 20: SNRV
Tya elembo
Copy
Kokisana
Kabola
Olingi kobomba makomi na yo wapi otye elembo na baapareyi na yo nyonso? Kota to mpe Komisa nkombo