යෝනා 4

4
යෝනාගේ කෝපය හා දේව-කරුණාව
1එහෙත් යෝනා එයින් දැඩි සේ නො සතුටු වී, කෝප විය. 2එබැවින් ඔහු ස්වාමින්වහන්සේට යාච්ඤා කරමින්, “අහෝ ස්වාමින්වහන්ස, මගේ රටේ සිටියදී මා කීවේ, මෙය ම නො වේ ද? කලින් මා ඉක්මන් වී, තර්ෂිෂ් වෙත පලා ගියේ ද එනිසයි. ඔබවහන්සේ දයාන්විත, අනුකම්පා සහගත දෙවියන්වහන්සේ වග, වහා නො කිපෙන සුළු, නොමියෙන ප්‍රේමයෙන් අපරිමිත, විපත්තිය පැමිණවීමෙහිලා ලිහිල පාන තැනැන්වහන්සේ වග මා දැන සිටියා. 3එනිසා දැන් අහෝ ස්වාමින්වහන්ස, මගේ ජීවිතය මා වෙතින් ගනු මැනව, මන්ද ජීවත් වනවාට වඩා මරණය මට හොඳා” යි පැවසී ය.
4 ස්වාමින්වහන්සේ පිළිතුරු දෙමින්, “ඔබ කෝප වීම යුතු දැ?” යි ඇසූ සේක.
5නගරයෙන් පිටතට ගිය යෝනා නගරයට නැගෙනහිරින් වූ තැනක වාඩිගත්තේ ය. එතැන තමාට ආවරණයක් තනා ගත් ඔහු, එහි සෙවණෙහි වාඩි වී, නගරයට කුමක් වේ දෝයි බලා සිටියේ ය. 6එවිට ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ වැලක් නියම කළ සේක්, යෝනාගේ අසහනයට අස්වැසිල්ලක් ලෙස, ඔහුගේ හිසට සෙවණක් ව එය යෝනාට ඉහළින් වැඩෙන්නට සැලසූ සේක. යෝනා ඒ වැල ගැන බෙහෙවින් සොම්නස් විය. 7එහෙත් පසුදාට පහන් වෙද්දී දෙවියන්වහන්සේ පණුවකු නියම කළ සේක. ඌ ඒ වැල කා දැමුවෙන්, එය වියළී ගියේ ය. 8හිරු නැගුණු කල, දෙවියන්වහන්සේ පීඩාදායි උණුසුම් පෙරදිග සුළඟක් නියම කළ සේක. යෝනා ක්ලාන්ත කරවමින්, දැඩි හිරු රැස් සැර යෝනාගේ හිසට වැදුණේ ය. “ජීවත් වෙනවාට වඩා මරණය මට හොඳා” යි කියමින් ඔහු මරණය ඉල්ලා යැද්දේ ය.
9එවිට දෙවියන්වහන්සේ, යෝනා ඇමතූ සේක්, “ඒ වැල ගැන ඔබ කෝප වීම යුතු දැ?” යි ඇසූ සේක.
“ඔව්; කෝප වීම මට යුතු ය. මැරෙන තරම් කෝප වීම” යි ඔහු පැවසී ය.
10එහෙත් ස්වාමින්වහන්සේ, “ඔබේ වෙහෙස දැරීමක් නොමැතිව, ඔබ විසින් වැඩෙන්නට නො සලස්වන ලද, එක් රැයෙකින් වැඩී, එක් රැයෙකින් නැසී ගිය ඒ වැල ගැන ඔබට ඔතරම් අනුකම්පා ඇත්නම්, 11තමන්ගේ වම-දකුණවත් හරි හැටි නො දන්නා එක්ලක්ෂ විසි දහසකට වැඩි ජනගහනයක් ද ඒ සා සතුන් ද සිටින මේ මහා පුරවරය වන නිනිවය ගැන මා අනුකම්පා නො කළ යුතු දැ?” යි ඇසූ සේක.

선택된 구절:

යෝනා 4: SCV

하이라이트

공유

비교

복사

None

모든 기기에 하이라이트를 저장하고 싶으신가요? 회원가입 혹은 로그인하세요