යෝනා 2

2
1යෝනා මත්ස්‍යයාගේ කුස තුළ සිට, තම දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේට මෙසේ යාච්ඤා කරන්නට වන්නේ ය.
2“මගේ විපත්තියේදී ස්වාමින්වහන්සේට මම හඬ ගැසීමි.
උන්වහන්සේ මට උත්තර දුන් සේක.
මරණ ගැබේ පතුලේ සිට මම පිහිට ඉල්ලා හැඬීමි.
මගේ කටහඬට ඔබ සවන් දුන් සේක.
3මන්ද මහා ගැඹුර මැදට,
සාගර පත්ලට ම ඔබ මා හෙළූ සේක.
ජලධාරාවෝ මා වෙළා ගති.
ඔබගේ රළ රැළි තරංග
මට ඉහළින් කැරකුණේ ය.
4එවිට මම, ‘ඔබ දෑස් ඉදිරියෙන්
මම නෙරපනු ලැබ සිටිමි.
එහෙත් ඔබගේ ශුද්ධ මාලිගය දෙස
මතු යළි බලන්නෙමි’ යි කීවෙමි.
5මා ගිලගත් ජල කඳ, මගේ ගෙලටත් උඩින් ය.
ගැඹුර මා වටකර ගත්තේ ය.
මුහුදු පැළෑටි මා හිස වටා එතී ගියේ ය.
6සාගර කඳු පාමුලට ම පහළට මම කිඳා බැස්සෙමි.
අගාධයෙහි සදහට ම, මා අගුළු ලා ගති.
එහෙත් ඔබ, මගේ දිවිය නිරා වළෙන් ගොඩ ගත් සේක.
අහෝ ස්වාමින්වහන්ස, මගේ දෙවියන්වහන්ස.
7“මගේ පණ කෙන්ද මැලවී යද්දී,
ස්වාමින්වහන්ස, මම ඔබ සිහි කළෙමි.
මගේ යාච්ඤාව ඔබ වෙත,
ඔබේ ශුද්ධ මාලිගය වෙත නැංගේ ය.
8“කමකට නැති පිළිම රූපවලට ඇලෙන්නෝ
තමන් උදෙසා ඇති අනුග්‍රහය එපා කරති.
9එහෙත් මම, තුති ගීයක් ද සමඟින්,
යාග පූජා ඔබට පුදමි.
මා බාර වූ දෑ මම ඉටු කරමි.
ගැලවීම අයිති ස්වාමින්වහන්සේට ය.”
10එවිට ස්වාමින්වහන්සේ මත්ස්‍යයාට අණ කළ සේක. ඌ ගොඩ බිමට යෝනා වමෑරී ය.

선택된 구절:

යෝනා 2: SCV

하이라이트

공유

비교

복사

None

모든 기기에 하이라이트를 저장하고 싶으신가요? 회원가입 혹은 로그인하세요