හොෂෙයා 5

5
පැමිණෙන දඬුවම
1“එම්බා පූජකයිනි, මේ අහන්න!
ඉශ්‍රායෙල් වංශිකයිනි සිතට ගන්න!
එම්බා රජුගේ වංශය, සවන් දෙන්න!
මන්ද මේ විනිශ්චය ඔබට එරෙහිව ය;
මන්ද ඔබ මිස්පාහි මලපතක් ව,
තාබෝර් කන්ද පිට එළන ලද දැලක් ව සිටිය බැවිනි.
2කැරලිකාරීහු දැඩි ඝාතනයක නියැළුණහ.
මම ඒ සියල්ලන් මට්ටු කරන්නෙමි.
3එප්‍රායිම් ගැන මම දනිමි.
ඉශ්‍රායෙල් මා වෙතින් සඟවනු ලැබ නැත.
එම්බා එප්‍රායිම්, නුඹ දැන් වේශ්‍යාකමට හැරී ඇත;
ඉශ්‍රායෙල් දූෂ්‍ය වී ඇත.
4“ඔවුන්ගේ දෙවියන්වහන්සේ වෙත ආපසු ඒමට
ඔවුන්ගේ ම කල් ක්‍රියා, ඔවුන්ට ඉඩ දෙන්නේ නැත.
ඔවුන්ගේ හදෙහි ඇත්තේ, වේශ්‍යා-කර්මයේ මානසිකත්වයකි;
ඔවුහු ස්වාමින්වහන්සේ නො හඳුනති.
5ඉශ්‍රායෙල්ගේ උඩඟුව ඔහුගේ ම මුහුණ සාක්ෂි දරයි.
ඉශ්‍රායෙල් හා එප්‍රායිම් තමන්ගේ ම පාප නිසා පැකිළෙති.
යූදා ද ඔවුන් සමඟ පැකිළෙයි.
6ඔවුන් ස්වාමින්වහන්සේ සොයන්නට
තමන්ගේ එළු බැටළු හා ගව රංචුවලින් පූජාවට සතුන් ගෙන ගිය ද,
උන්වහන්සේ ඔවුන්ට හමු නො වේ.
උන්වහන්සේ ඔවුන් වෙතින් බැහැර ව ගොසිනි.
7ඔවුන් ස්වාමින්වහන්සේට ද්‍රෝහි වී ඇත;
ඔවුන් බිහි කරන්නේ අවජාතක දරුවන් ය.
ඔවුන්ගේ නව සඳ උත්සව විසින්
ඔවුන් ද ඔවුන්ගේ ඉඩ කඩම් ද ගිල දැමේ.
8“ගිබෙයාහි හොරණෑව නගන්න;
රාමාහි කාහලය නාද කරන්න.
බෙත්-ආවෙන්හි රණ-ගොස නංවන්න.
පෙරමුණ ගන්න එම්බා බෙන්යමින්!
9දඬුවම් දෙන දවසේ
එප්‍රායිම් පාළු වී යන්නේ ය.
මා ප්‍රකාශ කරන්නේ ඉශ්‍රායෙල් ගෝත්‍ර වංශ අතරේ
නියතයෙන් ම වන දේ ය.
10යූදාහි නායකයින්,
මායිම් ගල් වෙනස් කරන්නන් වැන්න.
මම මගේ උදහස ගංවතුරක් සේ
ඔවුන් පිට වගුරවමි.
11එප්‍රායිම් පීඩා කරනු ලැබ,
විනිශ්චයෙන් පොඩිකර දැමේ.
මන්ද බොරු දෙවිවරු පසු පස යෑමට
ඔහු නිශ්චය කර ඇති බැවිනි.
12මම, එප්‍රායිම් වංශයට කාවකු මෙන් ද
යූදා ජනයාට දිරා-යෑමක් මෙන් ද වන්නෙමි.
13“එප්‍රායිම් තමාගේ රෝගයත්,
යූදා තමාගේ තුවාලයත් දුටු කල,
එප්‍රායිම්, අසිරියාවේ පිහිට පතා,
මහ රජු වෙත පණිවුඩ යැවී ය.
එහෙත්, ඔබගේ රෝගය සුව කිරීමට හෝ
ඔබගේ තුවාලයට ප්‍රතිකාර කිරීමට හෝ ඔහුට නුපුළුවන.
14මන්ද මම එප්‍රායිම්ට සිංහයකු මෙන් වී,
යූදා වංශයට කේසර සිංහයකු මෙන් වී,
මම ම කැබලිවලට ඉරා, ඉවත යන්නෙමි.
කිසිවකුටත් ඔවුන් ගැලවිය හැකි නො වන පරිද්දෙන් මම ඔවුන් ඇදගෙන යන්නෙමි.
15ඉන් අනතුරුව, ඔවුන් තමන්ගේ වරද පිළිගෙන,
මගේ මුහුණ සොයන තෙක්
මම මගේ ස්ථානයට ආපසු යන්නෙමි.
තම අභාග්‍යයේදී,
ඔවුන් මහත් උනන්දුවෙන් මා සොයනු ඇත.

선택된 구절:

හොෂෙයා 5: SCV

하이라이트

공유

비교

복사

None

모든 기기에 하이라이트를 저장하고 싶으신가요? 회원가입 혹은 로그인하세요