හග්ගයි 2

2
1හත් වන මස, මාසයේ විසිඑක් වන දවසේ ස්වාමින්වහන්සේගේ වචනය හග්ගයි දිවැසිවරයා මගින් ආවේ ය: 2“ෂෙයල්තියෙල්ගේ පුත්, යූදාහි ආණ්ඩුකාර සෙරුබ්බාබෙල්ට ද යෙහෝසාදාක්ගේ පුත් උත්තම පූජක යෝෂුවාට ද ජනතාවගේ ඉතිරි ස්වල්ප දෙනාට ද කතා කොට, ඔවුන්ගෙන් මෙසේ අහන්න: 3‘මෙම ගෘහය එහි පළමු තේජස ඇති ව තිබියදී දුටු අයගෙන් ඔබ අතරේ තවමත් ඉතිරි ව සිටින්නේ කවුරු ද? දැන් ඔබට මෙය පෙනෙන්නේ කෙසේ ද? දැන් එය පෙනෙන්නේ වැදගැම්මක් නැති විලසින් ද? 4ඒ එසේ වූවත්, එම්බා සෙරුබ්බාබෙල්, දැන් ධෛර්යවත් වන්නැ’ යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. ‘එම්බා යෝෂුවා, යෙහෝසාදාක්ගේ පුත්‍ර, උත්තම පූජකය, ධෛර්යවත් වන්න. දේශ වාසී සියලු ජනයිනි, ධෛර්යවත් වන්නැ’ යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. ‘වැඩට බහින්න; මම, ඔබ සමඟ සිටිමි’ යි සේනාංකවල ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. 5‘ඒ ඊජිප්තුවෙන් පිටතට ඔබ පැමිණි කල්හි මා ඔබ සමඟ කළ ගිවිසුම පරිදි ය. මගේ ආත්මයාණන් ඔබ අතරේ නැවතී සිටින සේක; භය නො වන්න.’
6“සේනාංකවල ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: ‘තව එක සැරයක්, තව ටික දවසකින් මම යළිත් වරක් අහසත්, පොළොවත්, මුහුද හා ගොඩ බිමත් සොලවන්නෙමි. 7සියලු ජාතීන්ගේ වස්තුව මෙහි පැමිණෙන පිණිස මම සියලු ජාතීන් ද සොලවන්නෙමි. මම මේ ගෘහය තේජසින් පුරවන්නෙමි’ යි සේනාංකවල ස්වාමින්වහන්සේ පවසන සේක. 8‘රිදී මගේ ය; රත්රන් ද මගේ යැ’ යි සේනාංකවල ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. 9‘මෙම වත්මන් ගෘහයේ තේජස, පළමු ගෘහයේ තේජසට වඩා තේජවත් වන්නේ යැ’ යි සේනාංකවල ස්වාමින්වහන්සේ පවසන සේක. ‘මේ ස්ථානයේ සිට මම සාමය ප්‍රදාන කරන්නෙමි’ යි සේනාංකවල ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.”
උපමාවක්
10දාරෙයාවෙෂ්ගේ දෙවන වසරේ, නව වන මස විසිහතර වන දින ස්වාමින්වහන්සේගේ වචනය හග්ගයි දිවැසිවරයා වෙත පැමිණියේ ය. 11“සේනාංකවල ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: ‘ව්‍යවස්ථාව ගැන පූජකයන්ගෙන් අහන්න. 12යමකු ශුද්ධ මාංස තම වස්ත්‍ර කෙළවරේ දවටාගෙන යන අතරේ එම වස්ත්‍ර කෙළවර රොටිවල හෝ මාළු-පිණිවල හෝ මිදි යුෂවල හෝ තෙල්වල හෝ වෙනත් ආහාර ද්‍රව්‍යයක හෝ ගෑවුණහොත්, ඒවාත් ශුද්ධ බවට පත් වේ දැ?’ යි” අහන්න.
පූජකයෝ උත්තර දෙමින්, “නැතැ” යි කීවෝ ය.
13එවිට හග්ගයි, “මළ මිනියක් ස්පර්ශවීමෙන් අපවිත්‍ර වූ කෙනකුට ඒ කී දැයින් යමක් ස්පර්ශ වුවහොත්, ඒවා අපවිත්‍ර බවට පත් වේ දැ” යි ඇසී ය.
“එසේය, ඒවා අපවිත්‍ර බවට පත් වෙතැ” යි පූජකයෝ පිළිතුරු දුන්හ.
14එවිට හග්ගයි කතා කරමින්, “ස්වාමින්වහන්සේ ප්‍රකාශ කර සිටින්නේ, ‘මේ ජනයාත්, මේ ජාතියත් මගේ ඇස් ඉදිරිපිට එසේ ම ය. ඔවුන්ගේ අත්වලින් කරන කවර දේත්, ඔවුන් එහිදී පුදන කවර දේත් අපවිත්‍ර ය.
15“ ‘අද දවසේ පටන් ඉදිරියට දැන් මේ ගැන සැලකිලිමත් වන්න. ස්වාමින්වහන්සේගේ මාලිගය තුළ ගලක් පිට ගලක් තබන්නට පෙර තත්වය සිහි කරන්න. 16බුසල් විස්සක ධාන්‍ය ගොඩක් අපේක්ෂාවෙන් ආ කෙනකුට එහි වූයේ දහයක් පමණි. ගැලුම් පනහක් ගන්නට මිදි යුෂ පීප්පය වෙත ගිය කෙනකුට එහි වූයේ විස්සක් පමණි. 17ඔබේ දෑතේ සියලු වගා වැඩට මම කොළ රෝගයෙන්, පුස්-ලප උවදුරෙන් හා ගල් වර්ෂාවෙන් පහර දුනිමි. එහෙත් ඔබ මා වෙත හැරුණේ නැතැ’ යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. 18‘අද දවසේ පටන් ඉදිරියට නව වන මස විසිහතර වැනිදා වන මේ දවසේ පටන්, ස්වාමින්වහන්සේගේ මාලිගයේ අත්තිවාරම ලූ දවස ගැන සැලකිල්ලෙන් සිතා බලන්න; කල්පනාවට ගන්න. 19අටුවල තවමත් බීජ ඉතිරි ව ඇද්ද? මේ දක්වා මිදි වැලේත්, අත්තික්කා ගහේ හා දෙළුම් ගහේත්, ඔලීව ගහේත් පල හට ගත්තේ නැත.
“ ‘එහෙත් මේ අද දවසේ පටන් මම නුඹලාට ආශිර්වාද කරන්නෙමි.’ ”
පේරැස් මුද්ද
20මාසයේ විසිහතර වන දින වූ ඒ දවසේ ම ස්වාමින්වහන්සේගේ වචනය දෙවන වරටත් හග්ගයි වෙත පැමිණියේ ය: 21“සෙරුබ්බාබෙල්ට, යූදාහි ආණ්ඩුකාරයාට මෙසේ කියන්න: ‘මම අහස් හා පොළොව සොලවන්නට යන්නෙමි. 22රාජ්‍යයන්හි සිංහාසන පෙරළා දමන්නෙමි. විදේශ රාජ්‍යවල බලය සිඳ-බිඳලන්නට සූදානම් වෙමි. මම යුද්ධ රථ හා ඒවා පදවන්නන් පෙරළා දමන්නෙමි. අශ්වයන් හා අසරුවන් හැම තම සගයාගේ කඩු පහරින් ඇද වැටෙනු ඇත.’
23“සේනාංකවල ස්වාමින්වහන්සේ මෙසේ ප්‍රකාශ කරන සේක: ‘එම්බා සෙරුබ්බාබෙල්, මගේ සේවකය, ෂෙයල්තියෙල්ගේ පුත්‍රය, ඒ දවසේදී මම නුඹ ගන්නෙමි’ යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. ‘මම නුඹ මගේ පේරැස් මුදුව මෙන් කරන්නෙමි. මන්ද මම, නුඹ තෝරා ගෙන ඇත්තෙමි’ යි” සේනාංකවල ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.

선택된 구절:

හග්ගයි 2: SCV

하이라이트

공유

복사

None

모든 기기에 하이라이트를 저장하고 싶으신가요? 회원가입 혹은 로그인하세요