උත්පත්ති 12

12
ආබ්‍රම් කැඳවීම
1 ස්වාමින්වහන්සේ ආබ්‍රම් ඇමතූ සේක්, “ඔබේ දේශය ද ඔබේ නෑයින් ද ඔබේ පියාගේ නිවස ද අත්හැර, මා ඔබට පෙන්වන දේශයට යන්න.
2“ඔබ මහත් ජාතියක් බවට මම පත් කරන්නෙමි.
මම ඔබට ආශිර්වාද කරන්නෙමි.
මම ඔබේ නාමය, ශ්‍රේෂ්ඨ කරන්නෙමි.
ඔබ ම ආශිර්වාදයක් වනු ඇත.
3ඔබට ආශිර්වාද කරන්නන්ට, මම ආශිර්වාද කරමි.
ඔබට ශාප කරන්නාට, මම ශාප කරමි.
මිහි පිට සියලු පවුල්,
ඔබ තුළින් ආශිර්වාද ලබනු ඇතැ” යි පවසා තිබිණි.
4මෙසේ ආබ්‍රම්, ස්වාමින්වහන්සේ ඔහුට පවසා තිබූ පරිදි පිටත් ව, ගියේ ය. ලොත් ද ඔහු සමඟ ගියේ ය. හාරාන් වෙතින් පිටත් වන කල, ආබ්‍රම් හැත්තෑපස් වන වියෙහි පසු විය. 5ආබ්‍රම්, තම භාර්යාව වූ සාරයි ද තම සහෝදරයාගේ පුත් වූ ලොත් ද කැටිව, ඔවුන් රැස් කර ගෙන තිබූ සියලු ධන සම්පත් හා හාරාන්හි දී අත්කර ගෙන තිබූ මිනිසුන් ද රැගෙන කානාන් දේශය බලා පිටත් විය. මෙසේ ඔවුහු කානාන් වෙත ළඟා වූහ.
6ආබ්‍රම්, ෂෙකෙම්හි මෝරේගේ ආලෝන් වෘක්ෂය පිහිටි භූමිය දක්වා දේශය ඔස්සේ ගමන් කළේ ය. එකල දේශයේ වාසය කළෝ කානානිවරු ය. 7ස්වාමින්වහන්සේ ආබ්‍රම්ට පෙනුණු සේක්, “මම මේ දේශය ඔබේ වංශයට දෙන්නෙමි” යි පැවසූ සේක. එබැවින් ආබ්‍රම් තමාට පෙනුණු ස්වාමින්වහන්සේට පූජාසනයක් එතැන ගොඩ නැගුවේ ය.
8එතැනින් ඔහු බෙතෙල් නගරයට නැගෙනහිරින් වූ කඳුකරයට ගමන් කොට, බටහිරට බෙතෙල් ද නැගෙනහිරට ආයි ද යන නගර අතර තම කූඩාරම පිහිටුවා ගත්තේ ය. ස්වාමින්වහන්සේට එහි පූජාසනයක් ඉදි කළ ඔහු, ස්වාමින්වහන්සේගේ නාමය කියා යාච්ඤා කළේ ය.
9මෙසේ ආබ්‍රම් ගමන් කරමින් නෙගෙබ්#12:9 නෙගෙබ් එනම් දකුණු දිශාවට දෙසට සංක්‍රමණ විය.
ආබ්‍රම් ඊජිප්තුවෙහි
10එකල කානාන් දේශයෙහි සාගතයක් ඇති විය. සාගතය දරුණු වූයෙන්, ආබ්‍රම් මද කලක් ගත කරන්නට ඊජිප්තුව බලා ගියේ ය. 11ඊජිප්තු දේශ සීමාවට ආසන්න වෙත් ම, තම භාර්යාව වූ සාරයි ඇමතූ ආබ්‍රම්, “ඔබ මොන තරම් රුවැති ළඳක්දැයි මා දන්නවා. 12ඊජිප්තුවරු ඔබ දුටු විට, ‘මේ ඔහුගේ බිරිඳ යැ’ යි කියාවි. ඉන්පසු ඔවුන් මා මරා, ඔබට ජීවත් වන්න ඉඩ හරීවී. 13එනිසා ඔබ මගේ සහෝදරිය යයි කියන්න. එවිට ඔබ නිසා ඔවුන් මට හොඳින් සලකාවි. ඔබ නිසා මගේ ජීවිතයත් බේරේවි” යි කීවේ ය.
14ආබ්‍රම්, ඊජිප්තුවට පැමිණි කල, සාරයි ඉතා සුරූපී කතක් වග ඊජිප්තුවරු දුටහ. 15ඊජිප්තු රජු වන පාරාවෝගේ රාජ පුරුෂයෝ ඇය දැක, පාරාවෝට ඇය ගැන වර්ණනා කළහ. එබැවින්, පාරාවෝගේ මාලිගය වෙත ඈ ගෙන යන ලද්දී ය. 16ඇය නිසා පාරාවෝ ආබ්‍රම්ට හොඳින් සැලකී ය. ආබ්‍රම්ට බැටළුවන් හා ගවයින් ද බූරුවන් හා බූරු දෙනුන් ද දැසි දස්සන් ද ඔටුවන් ද අත්විණි.
17එහෙත් ආබ්‍රම්ගේ භාර්යාව වූ සාරයි නිසා ස්වාමින්වහන්සේ පාරාවෝටත්, ඔහුගේ ගෘහ වාසීන්ටත් දරුණු වසංගත පැමිණ වූ සේක. 18එවිට ආබ්‍රම් කැඳවූ පාරාවෝ, “මොකක් ද මේ නුඹ මට කළේ? ඇය නුඹේ බිරිඳ වග මට නො කීවේ ඇයි? 19ඇය භාර්යාවක් කොට ගන්නට මට ඉඩ සලසමින්, ‘ඇය මගේ සහෝදරී’ යි නුඹ කීවේ ඇයි? ආ-මෙන්න නුඹේ බිරිඳ; ඇයත් රැගෙන යනු” යි කීවේ ය. 20ආබ්‍රම් ගැන පාරාවෝ තම මිනිසුනට අණ දුන්නෙන්, ඔවුහු ආබ්‍රම්ගේ බිරිඳ ද ඔහු සතු ව තිබූ සියල්ල ද සමඟ ඔහු පිටත් කර යැවූහ.

하이라이트

공유

복사

None

모든 기기에 하이라이트를 저장하고 싶으신가요? 회원가입 혹은 로그인하세요