උත්පත්ති 11

11
බාබෙල් කොත
1තවද, සකල ලෝ වැසි ජනයා භාවිත කළේ එක ම භාෂාවකි. එක ම වචන මාලාවකි. 2ඔවුහු පෙරදිගට සංක්‍රමණ වෙද්දී ෂිනාර් දේශයේ තැනිතලාවක් හමුව, එහි පදිංචි වූහ.
3ඔවුහු එකිනෙකා අමතමින්, “එන්න: අපි ගඩොල් තනා, ඒවා හොඳින් පුලුස්සා ගනිමු” යි කීහ. ඔවුහු ගල් වෙනුවට ගඩොල් ද බදාම වෙනුවට කීල් ද යොදා ගත්හ. 4එවිට ඔවුහු, “එන්න; අපි අපට ම කීර්ති නාමයක් තනාගන්නා පිණිසත්, මුළු පොළෝ තලය පුරා අප විසිර නො යන පිණිසත්, අහස උසට බළකොටු කොතක් සහිත නගරයක් අපට ගොඩ නගා ගනිමු” යි කීහ.
5එවිට මිනිසුන් ගොඩ නගන නගරය හා කොත බලන පිණිස ස්වාමින්වහන්සේ බැස ආ සේක. 6ස්වාමින්වහන්සේ කතා කොට, “බලන්න! එක් බසක් කතා කරන එක ම ජනතාවක් වශයෙන් පටන් ගැන්මට මොවුන් මේ තරම් දෙයක් කරයි නම්, අරමුණු කරන කවරක් වුව ඔවුනට කළ නො හැකි නො වේ. 7යමු: අපි පහළ බැස ගොස්, ඔවුන්ගේ කතාව එකිනෙකාට නො තේරෙන ලෙස ඔවුන්ගේ භාෂාව වියවුල් කරමු” යි කී සේක.
8 ස්වාමින්වහන්සේ මෙසේ මුළු පොළෝ තලය පුරා ඔවුන් විසුරුවා හළ සේක. ඔවුහු ද නගරය ගොඩනැගීම අත්හැරියහ. 9ඒ නගරය, “බාබෙල්”#11:9 බාබෙල් එනම් වියවුල නමින් හැඳින්වූයේ ස්වාමින්වහන්සේ මුළු ලොවෙහි ම භාෂා වියවුලක් ඇති කළේ එහිදී බැවිනි. මුළු පොළෝ තලය පුරා ස්වාමින්වහන්සේ ඔවුන් විසුරුවා හැරියේ එතැනින් ය.
ෂේම් සිට ආබ්‍රම් දක්වා
10ෂේම්ගේ පරම්පරාවේ තොරතුරු මෙසේ ය;
ෂේම් වසර සියයක් වයස් වූ කල, ජලගැල්මෙන් දෙවසරකට පසු අර්පක්ෂද්ගේ පියා බවට පත් විය. 11අර්පක්ෂද් උපන් පසු, පන්සිය වසරක් විසූ ෂේම්, තවත් පුතුන් හා දූවරුන් ලද්දේ ය.
12අර්පක්ෂද් වසර තිස්පහක් වයස් වූ කල, ඔහු ෂේලාගේ පියා බවට පත් විය. 13ෂේලා උපන් පසු, හාරසිය තුන් වසරක් විසූ අර්පක්ෂද්, තවත් පුතුන් හා දූවරුන් ලද්දේ ය.
14ෂේලා වසර තිහක් වයස් වූ කල, ඔහු ඒබෙර්ගේ පියා බවට පත් විය. 15ඒබෙර් උපන් පසු, හාරසිය තුන් වසරක් විසූ ෂේලා, තවත් පුතුන් හා දූවරුන් ලද්දේ ය.
16ඒබෙර් වසර තිස්හතරක් වයස් වූ කල, ඔහු පෙලෙග්ගේ පියා බවට පත් විය. 17පෙලෙග් උපන් පසු, හාරසිය තිස් වසරක් විසූ ඒබෙර්, තවත් පුතුන් හා දූවරුන් ලද්දේ ය.
18පෙලෙග් තිස් වසරක් වයස් වූ කල, ඔහු රෙයූගේ පියා බවට පත් විය. 19රෙයූ උපන් පසු, දෙසිය නව වසරක් විසූ පෙලෙග්, තවත් පුතුන් දූවරුන් ලද්දේ ය.
20රෙයූ වසර තිස්දෙකක් වයස් වූ කල, ඔහු සෙරූග්ගේ පියා බවට පත් විය. 21සෙරූග් උපන් පසු, දෙසිය හත් වසරක් විසූ රෙයූ, තවත් පුතුන් හා දූවරුන් ලද්දේ ය.
22සෙරූග් වසර තිහක් වයස් වූ කල, ඔහු නාහෝර්ගේ පියා බවට පත් විය. 23නාහෝර් උපන් පසු, දෙසීය වසරක් විසූ සෙරූග්, තවත් පුතුන් දූවරුන් ලද්දේ ය.
24නාහෝර් වසර විසිනවයක් වයස් වූ කල, ඔහු තේරාගේ පියා බවට පත් විය. 25තේරා උපන් පසු, එකසිය දහනව වසරක් විසූ නාහෝර්, තවත් පුතුන් හා දූවරුන් ලද්දේ ය.
26තේරා හැත්තෑ වසරක් වයස් වූ පසු, ඔහු ආබ්‍රම්ගේ ද නාහෝර්ගේ ද හරාන්ගේ ද පියා බවට පත් විය.
ආබ්‍රම්ගේ පවුල
27තේරාගේ පරම්පරාවේ තොරතුරු මෙසේ ය;
තේරා, ආබ්‍රම්ගේ ද නාහෝර්ගේ ද හරාන්ගේ ද පියා විය. හරාන්, ලොත්ගේ පියා විය. 28තම පියා වූ තේරා ජීවත් ව සිටියදී ම හරාන්, තම උපන් බිමෙහි, කල්දිවරුන්ගේ ඌර් පුරයේදී මිය ගියේ ය. 29ආබ්‍රම් හා නාහෝර් භාර්යාවන් ආවාහ කර ගත්හ. ආබ්‍රම්ගේ භාර්යාවගේ නම සාරයි ය. නාහෝර්ගේ භාර්යාවගේ නම මිල්කා ය. ඈ හරාන්ගේ දුවක වූවා ය. හරාන්, මිල්කාගේත්, ඉස්කාගේත් පියා ය. 30වඳ ස්ත්‍රියක වූ සාරයි දරුවන් නො ලද්දී ය.
31තේරා, තම පුත් ආබ්‍රම් ද තම මුනුපුරු (එනම් හාරාන්ගේ පුත් වන) ලොත් ද ආබ්‍රම්ගේ භාර්යාව වූ තම ලේළිය වන සාරයි ද කැටිව, ඔවුන් සමඟ කානාන් දේශයට යන පිණිස, කල්දිවරුන්ගේ ඌර් පුරවරයෙන් පිටත් විය. එහෙත් හාරාන් දක්වා පැමිණි ඔවුහු, එහි පදිංචි වූහ.
32වසර දෙසිය පහක් ජීවත් වූ තේරා, හාරාන්හි දී මිය ගියේ ය.

하이라이트

공유

복사

None

모든 기기에 하이라이트를 저장하고 싶으신가요? 회원가입 혹은 로그인하세요

උත්පත්ති 11 동영상