එසකියෙල් 42

42
පූජක කාමර
1ඉන්පසු ඒ මිනිසා උතුරු දෙස පිටත මළුවට මා කැඳවාගෙන අවුත්, ගෘහ මළුවට ඉදිරිපිටින් හා උතුරු දෙස පිටත බිත්තිය ඉදිරිපිටින් වූ කාමර වෙතට මා පැමිණ වී ය. 2උතුරට මුහුණ ලා තිබූ දොර සහිත ගොඩනැගිල්ල, රියන් සියයක් දිග ය. රියන් පනහක් පළල ය. 3ඇතුළු මළුවේ සිට විසි රියනක් එපිටින් හා පිටත මළුවේ වේදිකාව ඉදිරිපිටින් තුන් මහලෙහි ම එකිනෙකට මුහුණ ලූ ආලින්දයෙන් යුතු විය. 4කාමර ඉදිරියෙන් රියන් දහයක් පළල රියන් සියයක් දිග අභ්‍යන්තර අගු මාර්ගයක් විය. එහි දොරවල් වූයේ උතුරු පැත්තෙනි. 5මතු මහලේ කාමර පටු විය. මන්ද එහි ආලින්ද බිම් මහලට හා මැද මහලට වඩා වැඩි ඉඩක් ගෙන තිබූ බැවිනි. 6මළුවෙහි කුලුනු තිබූ නමුදු, තෙවන මහලේ කාමරවල කුලුනු නො වී ය. මෙසේ, ඒවා බිම් මහල් සහ මැද මහල් කාමරවලට වඩා අඩු ඉඩ ප්‍රමාණයකින් යුතු විණ. 7කාමරවලට සමාන්තර ව පිට මළුව දෙසට විහිදුණු පිටත තාප්පයක් විය. කාමර ඉදිරිපිටින් වූ එය දිගින් රියන් පනහකි. 8පිටත මළුව පැත්තේ කාමර පෙළ දිගින් රියන් පනහකි. ශුද්ධස්ථානයට ළං වූ පැත්තේ කාමර පෙළ දිගින් රියන් සියයකි. 9පිට මළුවෙන් ඇතුල්වීම සඳහා පහත මාලයේ කාමරවලට නැගෙනහිර පැත්තේ පිවිසුම් දොරක් විය.
10දකුණු පැත්තේ#42:10 දකුණු පැත්තේ ග්‍රීක් පිටපත්වලට අනුව ය. හෙබ්‍රෙව් පිටපත්වල නැගෙනහිර ලෙස ඇත., පිටත මළුවේ බිත්තිය දිගට ම, ගෘහ මළුවට මුහුණ ලා හා පිටත තාප්පය ඉදිරිපිට කාමර විය. 11ඒ ඉදිරිපිට අගු මාර්ගයකි. මේවා උතුරු පැත්තේ කාමර බඳුව, ඒ සමාන දිගින්, පළලින් ද එබඳු පිටවීමේ දොරටු හා පරිමාවන් ගෙන් ද යුතු විණ. උතුරු දෙස දොරකඩ, 12දකුණු දෙස කාමරවල දොරකඩ හා සමාන විය. නැගෙනහිර දෙසට විහිද යන තාප්පයට සමාන්තර ව දිවෙන අගු මාර්ගය පටන් ගන්නා තැන, කාමරවලට පිවිසෙන දොරටුවක් විය.
13ඉන්පසු ඔහු මා අමතමින්, “ගෘහ මළුවට මුහුණ ලා ඇති උතුරු සහ දකුණු දිග කාමර, පූජක කාමර වේ. ස්වාමින්වහන්සේ වෙත ළඟා වන පූජකයින් අතිශුද්ධ පූජා වළඳන්නේ එහිදී ය. අතිශුද්ධ පිදුම් වන ධාන්‍ය පූජා, පාප පූජා හා වරද පහ කිරීමේ පූජා ඔවුන් තබන්නේ එහි ය. මන්ද එතැන ශුද්ධය. 14මෙම ශුද්ධ සීමාවට ඇතුළු වූ පසු, පූජකවරුන් තේවා කටයුතුවලට තමන් හැඳි ඇඳුම් උනා මිස පිටත මළුවට නො යා යුතු ය. මන්ද එම ඇඳුම් ශුද්ධය. ජනයා ගැවසෙන තැන්වලට යෑමට පෙර ඔවුන් වෙනත් ඇඳුම් ඇඟලිය යුතු ව ඇතැ” යි කීවේ ය.
15ගෘහ අභ්‍යන්තරයේ මැනුම් නිම කළ පසු, ඔහු නැගෙනහිර දොරටුවෙන් මා පිටතට කැඳවාගෙනා ඔහු ඒ වටා මුළුමනින් ම මැන්නේ ය. 16ඔහු නැගෙනහිර පැත්ත තම කෝදුවෙන් මැන්නේ ය. කෝදු මිම්මෙන් එය රියන් පන්සියයකි. 17ඔහු උතුරු පැත්ත මැන්නේ ය. එය මිනුම් කෝදුවෙන් රියන් පන්සීයකි. 18ඔහු දකුණු දිග පැත්ත මැන්නේ ය. එය කෝදු මිම්මෙන් රියන් පන්සීයකි. 19ඉන්පසු ඔහු බටහිර දෙසට හැරී මැන්නේ ය. එය කෝදු මිම්මෙන් රියන් පන්සීයකි. 20මෙසේ ඔහු අදාළ මුළු හතර දිසාව ම මැන්නේ ය. ඒ වටා තාප්පයක් විය. එහි දිග රියන් පන්සීයකි. එය ශුද්ධස්ථානය පොදු ස්ථානවලින් වෙන් කරන පිණිස ය.

하이라이트

공유

비교

복사

None

모든 기기에 하이라이트를 저장하고 싶으신가요? 회원가입 혹은 로그인하세요

එසකියෙල් 42 동영상