එසකියෙල් 41

41
1ඉන්පසු ඔහු ශුද්ධස්ථානයට මා කැඳවාගෙන අවුත්, එහි කුලුනු මැන්නේ ය. ඒවායේ එක් එක් පැත්ත රියන් හයක් පළල ය. 2එහි පිවිසුම, රියන් දහයක් පළල ය. එක් එක් පැත්තේ බිත්ති කණු පස් රියනක් පළල ය. ඔහු පිටත ශුද්ධස්ථානය ද මැන්නේ ය. එය රියන් හතළිහක් දිගින් හා රියන් විස්සක් පළලින් යුතු ය.
3ඉන්පසු ඔහු ඇතුළු ශුද්ධස්ථානයට ඇතුල් ව, පිවිසුමේ වූ කුලුනු මැන්නේ ය. එක් එක් කුලුන රියන් දෙකක් පළල ය. පිවිසුම, රියන් හයක් පළල ය. ඒ දෙපසෙහි බිත්ති කණු, රියන් හතක් පළල ය. 4ඔහු ඇතුළු ශුද්ධස්ථානයේ දිග මැන්නේ ය. එය රියන් විස්සකි. පිටත ශුද්ධස්ථානය හරහා එහි පළල රියන් විස්සකි. ඔහු මා අමතා, “අතිශුද්ධස්ථානය මේ යැ” යි කීවේ ය.
5ඉන්පසු ඔහු ගෘහයේ බිත්ති මැන්නේ ය. එය හය රියනක් ගන ය. ගෘහය වටා වූ එක් එක් පැති කාමරයක පළල හතර රියනකි. 6පැති කාමර පෙළ, එකක් පිට එකක් වශයෙන් මහල් තුනකින් ද එක් පෙළකට කාමර තිහ බැගින් ද යුතු විණ. පැති කාමරවලට ආධාරක වශයෙන් ගෘහ බිත්තිය වටා ගැටිති විය. එසේ වූයේ, එම ආධාරක ගෘහ බිත්තියට නො වද්දන පිණිස ය. 7ගෘහය මුළුල්ලෙහි වූ පැති කාමර, මහලින් මහලට පළල් විය. ගෘහය වටා වූ ගොඩනැගිලි ආකෘතිය ඉදි කොට තිබුණේ මහලින් මහලට කාමර පුළුල් වන සේ ආරෝහණ ක්‍රමයකට ය. පහළ මාලයේ සිට මැද-මහල හරහා ඉහළ මාලයට පිය ගැට පෙළ නැගිණ.
8පැති කාමරවල අත්තිවාරම සැකසෙන උස් වේදිකා තලයක් ගෘහය වටා තිබෙනු මම දිටිමි. එය මැනුම් කෝදුවෙන් එකක් හෙවත් දිගු හය රියනකි. 9පැති කාමරවල පිටත බිත්තිය පස් රියනක් ගන ය. ගෘහයේ පැති කාමර හා 10පූජක කාමර අතරේ රියන් විස්සක මැද මිදුලක්, මුළු ගෘහය වටා විය. 11මෙම මැද මිදුලේ සිට පැති කාමරවලට පිවිසුම් තිබිණ. ඉන් එකක් උතුරු දෙසිනි. අනෙක දකුණු දෙසිනි. මෙම මැද මිදුල අසල උස් වේදිකා තලය වටේට ම පස් රියනක් පළල් ය.
12බටහිර දෙස ගෘහ මළුවට මුහුණ ලූ ගොඩනැගිල්ල රියන් හැත්තෑවක් පළල ය. ගොඩනැගිල්ල වටා වූ බිත්තිය පස් රියනක් ගන ය. එහි දිග රියන් අනූවකි.
13ඉන්පසු ඔහු ගෘහය මැන්නේ ය. එය රියන් සියයක් දිග ය. ගෘහ මළුව හා එහි වූ බිත්ති සහිත ගොඩනැගිලි ද රියන් සියයක් දිග ය. 14ගෘහයේ ඉදිරිපස ද ඇතුළත් ව මළුවේ නැගෙනහිර පැත්ත පළල රියන් සියයකි.
15ඉන්පසු ඔහු ගෘහයේ පිටුපස මළුව දෙසට මුහුණ ලූ ගොඩනැගිල්ලේ දිග මැන්නේ ය. එහි දෙපසෙහි වූ ආලින්ද ඇතුළු ව එය රියන් සියයක් දිග ය.
පිටත ශුද්ධස්ථානය, ඇතුළු ශුද්ධස්ථානය හා මළුවට මුහුණ ලූ බරාඳය ද 16එළිපත්ත, පටු කවුළු හා මහල් තුන වටා වූ ආලින්ද යන වශයෙන් එළිපත්ත දක්වාත් ඉන් එපිටට වූත් සියල්ල දැවයෙන් වැසිණ. ගෙබිම ද කවුළු දක්වා වූ බිත්ති හා කවුළු ද එසේ වැසිණ. 17ඇතුළු ශුද්ධස්ථානයේ පිවිසුමට පිටතින් ඉහළ අන්තරය ද ඇතුළු හා පිටත ශුද්ධස්ථානය වටා විධිමත් ව අතරින් පතර 18කෙරුබ්වරුන් හා ඉඳි ගස් නෙළා තිබිණ. කෙරුබ් රූප දෙකක් අතරේ ඉඳි ගසකි. හැම කෙරුබයකුට ම මුහුණු දෙකකි. 19එහි මිනිස් මුහුණ එක් පැත්තක වූ ඉඳි ගස දෙසටත්, සිංහ මුහුණ අනෙක් පස ඉඳි ගස දෙසටත් යන වශයෙන් මුළු ගෘහය වටා ඒවා නෙළා තිබිණ. 20ගෙබිමේ සිට පිවිසුමට ඉහළින් වූ කොටස දක්වා පිටත ශුද්ධස්ථානයේ බිත්ති මත කෙරුබ් හා ඉඳි ගස් රූප නෙළා තිබිණ.
21පිටත ශුද්ධස්ථානයේ උළුවස්ස හතරැස් ය. අතිශුද්ධස්ථානයට ඉදිරිපිටින් වූ උළුවස්ස ද එබඳු ය. 22ලී පූජාසනය, රියන් තුනක් උසින් ද රියන් දෙකක් දිගින් හා පළලින් ද යුතු විණ. එහි කොන්, එහි පාදිකය හා එහි පැති, දැවය. මෙහිදී ඒ මිනිසා මට කතා කොට, “ස්වාමින්වහන්සේ ඉදිරිපිට මේසය මේ යැ” යි පැවසී ය. 23පිටත ශුද්ධස්ථානය හා අතිශුද්ධස්ථානය යන දෙපොළෙහි ම දොර දෙක බැගින් තිබිණ. 24හැම දොරක් ම පලු දෙකකින්, පියන් දෙකකින් යුතු පැද්දෙන දොරපළු දෙක බැගින් යුතු විණ. 25පිටත ශුද්ධස්ථානයේ දොරවල ද බිත්තිවල සේ ම කෙරුබ් හා ඉඳි ගස් රූප නෙළා තිබිණ. බරාඳය ඉදිරිපිට දැව පියැසි වියනක් විය. 26බරාඳයේ (පැති) බිත්ති දෙපසෙහි ම පටු කවුළු ද ඒවායේ නෙළූ ඉඳි ගස් ද විය. ගෘහයේ පැති කාමරවල ද පියැසි වියන් විය.

하이라이트

공유

비교

복사

None

모든 기기에 하이라이트를 저장하고 싶으신가요? 회원가입 혹은 로그인하세요

එසකියෙල් 41 동영상