නික්මයාම 37

37
ගිවිසුම් කරඬුව සෑදීම
(නික්ම 25:10-22)
1බෙශලෙල් ද ෂිටිම් ලීයෙන් ගිවිසුම් කරඬුව සෑදී ය. එහි දිග සෙන්ටිමීටර් එකසිය දහයක් ද පළල සෙන්ටිමීටර් හැටහයක් ද උස සෙන්ටිමීටර් හැටහයක් ද විය. 2එහි ඇතුළත ද පිටත ද රන් ආලේප කොට එය වටේට රන් ලීස්තරයක් සෑදී ය. 3එය උසුලාගෙන යනු පිණිස එහි කොන් සතරට රත්රන් වළලු සතරක් සාදා ඒවා එක පැත්තක දෙක බැගින් දෙපැත්තේ සවි කෙළේ ය. 4පසුව ඔහු ෂිටිම් ලීයෙන් පොලු සාදා ඒවායේ ද රන් ගා, 5කරඬුව උසුලාගෙන යනු පිණිස කරඬුවේ දෙපැත්තේ මුදු තුළින් ඒවා දැමී ය. 6කරුණාසනය ද තනි රනින් සෑදී ය. එහි දිග සෙන්ටිමීටර් එකසිය දහයක් ද පළල සෙන්ටිමීටර් හැටහයක් ද විය. 7තවද, ඔහු කරුණාසනයේ දෙකෙළවරේ එක්කෙනා බැගින් සවි කරනු පිණිස තළාපු රනින් කෙරුබ්වරුන් දෙදෙනෙකු නිර්මාණ කෙළේ ය. 8කරුණාසනය සමඟ ඒකාබද්ධ ව පවතින ලෙස එක් කෙනෙකු එක් කොනක ද එක් කෙනෙකු අනිත් කොනේ ද ඔහු ඔවුන් සෑදී ය. 9කෙරුබ්වරුන්ගේ ද පියාපත් උඩට විහිදී, කරුණාසනයට ඉහළින් එය වසා ගත්තාක් මෙන් තිබිණි. තවද, ඔවුන් එකිනෙකා මුහුණට මුහුණ ලා සිටින පරිදි කරුණාසනය දෙසට ඔවුන්ගේ මුහුණු හැරී තිබිණි.
මේසය සෑදීම
(නික්ම 25:23-30)
10ෂිටිම් ලීයෙන් ඔහු මේසය ද සෑදී ය. එහි දිග සෙන්ටිමීටර් අසූඅටක් ද පළල සෙන්ටිමීටර් හතළිස්හතරක් ද උස සෙන්ටිමීටර් හැටහයක් ද විය. 11එය ද රනින් ආලේප කොට එහි රනින් ලීස්තරයක් ද ඔහු සෑදී ය. 12එය වටේට මිලිමීටර් හැත්තෑපහක් පළල පටියක් සවි කර, එය වටේ ද රන් ලීස්තරයක් සෑදී ය. 13පසුව රන් වළලු සතරක් සාදා කකුල් සතරේ කොන් සතරේ ඒවා දැමී ය. 14මේසය උසුලාගෙන යෑම සඳහා දමන පොලු රිංගවන වළලු, පටිය ළඟ ම තිබිණි. 15මේසය උසුලාගෙන යෑම සඳහා පොලු ද ෂිටිම් ලීයෙන් සාදා ඒවායේ ද රන් ආලේප කෙළේ ය. 16එහි තබන තැටි ද කුසලාන ද බුජම් ද පානීය පඬුරු දැමීමට ගන්නා පාත්‍ර ද ඔහු තනි රනින් සෑදී ය.
පහන් රුක සෑදීම
(නික්ම 25:31-40)
17තවද, ඔහු පහන් රුක ද තනි රනින් සෑදුවේ ය. එහි අඩිය ද කඳ ද තළාපු රනින් නිමවා, එහි මල් ද මොට්ටු ද මල් පෙති ද එක වස්තුවක් වන සේ සම්බන්ධ කෙළේ ය. 18පහන් රුකේ එක පැත්තකින් අතු තුනක් ද අනික් පැත්තෙන් අතු තුනක් ද බැගින්, එහි පැතිවලින් අතු හයක් විහිදිණි. 19එක අත්තක කොට්ටම්බා වැනි මල් තුනක් ද මොට්ටු හා පෙති ද අනික් අත්තේ කොට්ටම්බා වැනි මල් තුනක් ද මොට්ටු හා පෙති ද බැගින් පහන් රුකින් විහිදෙන අතු හයේ ම එලෙස කෙළේ ය. 20පහන් රුක් කඳේ කොට්ටම්බා වැනි මල් හතරක් ද ඒවායේ මොට්ටු ද මල් පෙති ද තිබිණි. 21පහන් රුකේ අතු දෙකක් යට එක මල් මොට්ටුවක් ද තවත් අතු දෙකක් යට තව මල් මොට්ටුවක් ද අනිත් අතු දෙක යට තව මල් මොට්ටුවක් ද බැගින් ඉන් විහිදී ගිය අතු හයෙහි එලෙස කෙළේ ය. 22මොට්ටු සහ අතු, පහන් රුක සමඟ ඒකාබද්ධ ව තිබිණි. සියල්ල ම තැළූ තනි රනින් නිම කරන ලදී. 23තවද, ඔහු ඊට පහන් හතක් ද, පහන් තිර හා තැටි ද තනි රනින් සෑදී ය. 24පහන් රුක හා එහි සියලු උපකරණ තනි රත්රන් කිලෝග්‍රෑම් තිස්පහකින් සාදන ලදී.
දුම් පූජාසනය සෑදීම
(නික්ම 30:1-5)
25තවද, ඔහු ෂිටිම් ලීයෙන් දුම් පූජාසනයක් සෑදීය. එය දිගින් සෙන්ටිමීටර් හතළිස්පහක් ද පළලින් සෙන්ටිමීටර් හතළිස්පහක් ද උසින් සෙන්ටිමීටර් අනූවක් ද වූ හතරැස් එකක් විය. එහි කොන්වල වූ අං ද පූජාසනයට පාස්සා තිබිණි. 26එහි මතුපිට ද හතර පැත්ත ද අං ද තනි රනින් ආලේප කොට, ඔහු එය වටේට රන් ලීස්තරයක් ද සෑදී ය. 27තවද එය උසුලාගෙන යන පිණිස පොලු රිංගවනු සඳහා එහි දෙපැත්තේ දෙකෙළවරේ ලීස්තරය යට රන් වළලු දෙකක් ඔහු සවි කෙළේ ය. 28පොලු ද ඔහු ෂිටිම් ලීයෙන් සාදා ඒවා රනින් ආලේප කෙළේ ය.
ආලේප තෛලය සහ සුවඳ ද්‍රව්‍ය සෑදීම
(නික්ම 30:22-38)
29 # නික්ම 30:22-38 තවද, සුවඳ ද්‍රව්‍ය සංයෝගකරුවෙකුගේ ශාස්ත්‍රය අනුව ඔහු සුගන්ධ ද්‍රව්‍ය ගෙන ශුද්ධ ආලේප තෛලය හා පිරිසිදු සුවඳ ද්‍රව්‍ය සංයෝගය කෙළේ ය.

하이라이트

복사

비교

공유

None

모든 기기에 하이라이트를 저장하고 싶으신가요? 회원가입 혹은 로그인하세요

නික්මයාම 37 동영상