නික්මයාම 36

36
1“තවද, සමිඳාණන් වහන්සේ බෙශලෙල්ට සහ ඔහොලියාබ්ට ද අනිකුත් කලා ශිල්පීන්ට ද ශුද්ධස්ථානයේ සේවාවන් සඳහා වැඩ සියල්ල පිළිබඳ අවබෝධය හා දක්ෂතාව දී ඇති බැවින් ඔවුන් උන් වහන්සේ අණ කළ ලෙස සියල්ල ඉටු කළ යුතු ය.”
පඬුර ගෙන ඊම නතර කිරීම
2බෙශලෙල් හා ඔහොලියාබ් ද සමිඳාණන් වහන්සේ කෞශල්‍යය දානය කළ වැඩ කිරීමට කැමැත්ත පෑ දක්ෂ ශිල්පීන් සියල්ලන් ද වැඩට එන ලෙස මෝසෙස් ඔවුන් කැඳවී ය. 3ඉශ්රායෙල් ජනයා ශුද්ධස්ථානයේ වැඩ සඳහා, එය ඉදි කිරීමට ගෙනා පඬුරු සියල්ල ඔව්හු මෝසෙස්ගෙන් බාරගත්හ. ඉශ්රායෙල් ජනයා ද උදයක් උදයක් පාසා තම තමන්ගේ පඬුරු ඔහු වෙත ගෙනෙන්නට වූ හ. 4එවිට ශුද්ධස්ථානයේ වැඩවල යෙදී සිටි ශිල්පීන් සියල්ලෝ ම තම තමන්ගේ වැඩ නවත්වා, මෝසෙස් වෙත පැමිණ 5ඔහුට කතා කොට, “සමිඳාණන් වහන්සේ සෑදීමට අණ කළ වැඩය සඳහා උවමනාවට වඩා දේවල් සෙනඟ ගෙනෙන්නාහ”යි කී හ. 6මෝසෙස් ද එවිට අණක් දෙමින්, “මින්පසු කිසි ම පුරුෂයෙක් හෝ ස්ත්‍රියක් හෝ ශුද්ධස්ථානයේ පඬුරු පිණිස යමක් නොකරත් වා”යි යන ප්‍රකාශනයක් මුළු කඳවුරු පුරා ප්‍රසිද්ධ කෙළේ ය. මෙලෙස සෙනඟ පඬුරු ගෙන ඊමෙන් වළක්වනු ලැබූ හ. 7මන්ද, ගෙනෙන ලද බඩු බාහිරාදිය සියලු කර්මාන්ත සාදා නිම කිරීමට ප්‍රමාණ වූවා පමණක් නොව ඊට වැඩිමනක් ද විය.
මණ්ඩපය සෑදීම
(නික්ම 26:1-37)
8කම්කරුවන් අතර දක්ෂ ශිල්පීහු සියල්ලෝ ම ශුද්ධස්ථානය සෑදූ හ. සිහින් ව කටින ලද හණවලින් ද නිල් පාට, දම් පාට, තද රතු පාට නූල්වලින් ද තිර දහයක් සාදන ලදු ව ඒවායේ කෙරුබ්වරුන්ගේ රූප ගෙත්තම් කරන ලදී. 9එක තිරයක දිග මීටර් දොළොසක් ද පළල මීටර් දෙකක් ද විය. සියල්ල ම එක ප්‍රමාණයට විය. 10ඔහු තිර පහ බැගින් ගෙන ඒවා වෙන වෙන ම එකට යා කෙළේ ය. 11ඔහු ඉන්පසු යා කළ තිරවල එක කොනක අන්තිම තිරයේ වාටියේ නිල් පාට රෙදිවලින් මුදු සෑදී ය. යා කළ අනිත් තිරවල, අන්තිම තිරයේ ද එලෙස ම කෙළේ ය. 12පසුව ඔහු එක තිර වාටියක මුදු පණහක් ද ඒවා එකිනෙකට මුහුණ ලා සිටින ලෙස, අනිත් තිරවල අන්තිම තිර වාටියේ මුදු පණහක් ද සවි කෙළේ ය. 13මෙසේ කළ පසු ඔහු රන් කොකු පණහක් සාදා එක මණ්ඩපයක් වන පරිදි තිර එකටෙක කොකුවලින් සම්බන්ධ කෙළේ ය.
14පසුව ඔහු මණ්ඩපය උඩින් කූඩාරම් ආවරණයක් මෙන් දැමීමට එළු ලොමින් තිර එකොළහක් සෑදී ය. 15එක එක තිරයේ දිග මීටර් දහතුනක් ද පළල මීටර් දෙකක් ද විය. තිර එකොළහක් ම එක ප්‍රමාණයට ද විය. 16එවිට ඔහු තිර පහක් ද තිර හයක් ද වෙන් වෙන් ව එකට යා කොට 17පළමුවෙන් යා කළ තිර පහේ අන්තිම තිරයේ වාටියේ මුදු පණහක් ද අනිත් තිරවල අන්තිම තිරයේ වාටියේ මුදු පණහක් ද සවි කෙළේ ය. 18කූඩාරම් ආවරණය එකක් වන සේ ඔහු ලෝකඩ කොකු පණහක් ද සෑදී ය. 19මෙසේ සාදා රතු සායම් පෙවූ බැටළු හම්වලින් කූඩාරමට ආවරණයක් ද එය උඩ අතුරන පිණිස පදම් කළ සම් ආවරණයක් ද සෑදී ය.
20තවද, ඔහු මණ්ඩපයට ෂිටිම් ලීවලින් ලෑලි සාදා ඒවා කෙළින් සිටුවිය. 21එක ලෑල්ලක දිග මීටර් හතරක් ද පළල සෙන්ටිමීටර් හැටහයක් ද විය. 22එක එක ලෑල්ලක ඒවා එකටෙක යා කිරීම පිණිස කුඩිම්බි දෙකක් විය. මෙලෙස ඔහු මණ්ඩපයේ ලෑලි සියල්ල ම සෑදී ය. 23දකුණු දිශාවට මූණ ලා මණ්ඩපයේ දකුණු පැත්තට ලෑලි විස්සක් සෑදී ය. 24තවද, ඔහු එක ලෑල්ලක කුඩිම්බි දෙක යට තවු දෙකක් ද අනික් ලෑල්ලේ කුඩිම්බි දෙක යට තවු දෙකක් ද බැගින් ඔහු ලෑලි විස්සට රිදී තවු හතළිහක් සෑදී ය. 25මණ්ඩපයේ උතුරු පැත්තට ඔහු ලෑලි විස්සක් ද 26එක ලෑල්ලක් යට තවු දෙක බැගින් රිදී තවු හතළිහක් ද සෑදී ය. 27මණ්ඩපයේ පිටුපස බටහිර දිශාවට ලෑලි හයක් ද 28එහි පිටුපස කොන්වලට ලෑලි දෙකක් ද සෑදී ය. 29මේ ලෑලි ඒවායේ පහළ කොටස්වල සිට ඉහළ කොටසේ පළමු වන වළල්ල දක්වා සම්බන්ධ කළ යුතු විය. කොන් දෙකේ තබන ලෑලි දෙකට ද එලෙස කළ යුතු වේ. 30මෙලෙස එක එක ලෑල්ලක තවු දෙක බැගින් රිදී තවු දහසයක් සහිත ව ලෑලි අටක් ඇති වේ.
31තවද, මණ්ඩපයේ එක පැත්තක තිබෙන ලෑලිවලට ෂිටිම් ලීවලින් හරස් ලී පහක් සෑදිය යුතු විය. 32මණ්ඩපයේ අනික් පැත්තේ ලෑලිවලට තව හරස් පොලු පහක් ද මණ්ඩපයේ බටහිර අංශයේ ලෑලිවලට හරස් පොලු පහක් ද සෑදිය යුතු වේ. 33ලෑලිවල මැදින් යන මැද හරස් ලීය එක කොනක සිට අනිත් කොන දක්වා විහිදෙන ලෙස ඔහු එය සෑදී ය. 34ඔහු ලෑලි රනින් ආලේප කොට හරස් ලී දැමීමට රන් මුදු ද සාදා, හරස් ලී ද රනින් ආලේප කෙළේ ය.
35ඉන්පසු ඔහු නිල් පාට, දම් පාට, තද රතු පාට නූල්වලින් හා සිහින් ව කටින ලද හණපිළියෙන් තිරයක් සාදා එහි කෙරුබ්වරුන්ගේ රූප ගෙත්තම් කෙළේ ය. 36මෙසේ කොට එය එල්ලීම සඳහා රිදී තවු සතරක් සවි කළ රන් කොකු සතරක් ඇති රන් ගෑ ෂිටිම් ලීයෙන් කණු සතරක් සෑදී ය. 37පසුව ඔහු මණ්ඩපයේ දොරටුවට, නිල් පාට, දම් පාට, තද රතු පාට නූල්වලින් ද සිහින් ව කටින ලද හණවලින් ද මල් වැඩ දැමූ කඩතුරාවක් ගෙතී ය. 38මෙසේ ගොතා ඔහු කොකු සවි කළ කණු පහක් සාදා, ඒවායේ මුදුන් ද ඒවායේ පොලු ද රනින් ආලේප කෙළේ ය. එහෙත් එවායේ තවු පහ ලෝකඩයෙන් සාදන ලදී.

하이라이트

복사

비교

공유

None

모든 기기에 하이라이트를 저장하고 싶으신가요? 회원가입 혹은 로그인하세요

නික්මයාම 36 동영상