නික්මයාම 34
34
දෙ වන වරටත් ගල් පුවරු සෑදීම
(ද්වි.නී. 10:1-5)
1සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “පළමු ඒවාට සමාන ගල් පුවරු දෙකක් කපන්න. නුඹ බිඳ දැමූ පළමු ගල් පුවරුවල තිබූ වචන මම ඒවායේ ලියන්නෙමි. 2හෙට අලුයම් වේලෙහි සූදානම් ව, සීනයි කන්දට නැඟ, කන්ද මුදුනෙහි මා ඉදිරියෙහි පෙනී සිටින්න. 3කිසි මනුෂ්‍යයෙකු නුඹ සමඟ උඩට නො ආ යුතු ය. කන්දේ කිසි තැනක කිසි මනුෂ්‍යයෙකු දක්නා නොලැබිය යුතුයි. එළු බැටළු පට්ටි හෝ ගව පට්ටි කිසිවක් හෝ කන්ද ඉදිරියෙහි තණ නො කෑ යුතු ය”යි වදාළ සේක. 4සමිඳාණන් වහන්සේ ඔහුට වදාළ පරිදි මෝසෙස් පළමු ඒවාට සමාන ගල් පුවරු දෙකක් කපා අලුයමින් නැඟිට සීනයි කන්දට නැංගේ ය; ගල් පුවරු දෙක ද තම අතේ ගෙන ගියේ ය. 5සමිඳාණන් වහන්සේ ද වලාකුළක ආකාරයෙන් බැස, එහි ඔහු සමඟ සිටගෙන, ‘සමිඳාණන් වහන්සේ’ යන ස්වකීය නාමය ප්‍රකාශ කළ සේක.
6 #
නික්ම 20:5-6; ගණන් 14:18; ද්වි.නී. 5:9-10; 7:9-10 උන් වහන්සේ ඔහු ඉදිරියෙන් ගමන් කරමින්, “මම සමිඳාණන් වහන්සේ ය. මම දයානුකම්පාවෙන් පූර්ණ, වහා නොකිපෙන සුලු, මහා කාරුණික සහ විශ්වාසදායී දෙවියන් වහන්සේ ය; 7මම දහස් ගණනකට කරුණාව පාමින්, දුෂ්ටකමට ද නපුරට හා පාපයට ද කමාව දෙන්නෙමි. එහෙත් වරදකරුවන් නිදහස් නොකර, පියවරුන්ගේ පව් නිසා තුන් වන, හතර වන දරු පරපුර දක්වා ඔවුන්ගේ දරු මුණුබුරන්ට දඬුවම් කරන දෙවියන් වහන්සේ මම යැ”යි වදාළ සේක. 8මෝසෙස් ද වහා බිමට හිස නමා නමස්කාර කෙළේ ය. 9ඉන්පසු ඔහු කතා කොට, “සමිඳුනි, ඔබ ඉදිරියෙහි මම අනුග්‍රහය ලබා ඇත්තෙම් නම්, මාගේ සමිඳුන් වන ඔබ අප සමඟ වඩින ලෙස මම අයැද සිටිමි. මේ සෙනඟ නම් මුරණ්ඩු ය. අපේ දුෂ්ටකම හා පාප කමා කොට අප ඔබේ ම උරුමය වශයෙන් ගත මැනව”යි කී ය.
ගිවිසුම අලුත් කිරීම
(නික්ම 23:14-19; ද්වි.නී. 7:1-5; 16:1-17)
10එවිට උන් වහන්සේ ඔහු අමතමින් මෙසේ වදාළ සේක: “බලන්න, මම නුඹ සමඟ ගිවිසුමක් පිහිටුවන්නෙමි. මුළු මිහි පිට වේවා, කිසි ම ජාතියක් අතර වේවා, කවදා වත් නොකළ අරුමපුදුම දේ මම නුඹේ සෙනඟ ඉදිරියෙහි සිදු කරමි. එවිට සමිඳාණන් වහන්සේ වන මට කරන්නට හැකි දේ නුඹ සමඟ සිටින සියලු සෙනඟ දැනගනු ඇත. මන්ද, නුඹ මඟින් මා කරන්න යන්නේ භයානක දෙයකි. 11අද දින මා නුඹට අණ කරන පනත් පිළිපදින්න. බලන්න, නුඹ යන්න කලින් අමෝරිවරුන්, කානානිවරුන්, හිත්තීවරුන්, පෙරිස්සිවරුන්, හිවීවරුන් හා ජෙබුසිවරුන් මම පන්නාදමමි. 12නුඹ යන දේශයේ වැසියන් සමඟ ගිවිසුමක් නොකිරීමට බලාගන්න. මන්ද, එය නුඹට මර උගුලක් වන්නට පුළුවන. 13#ද්වි.නී. 16:21තවද, නුඹ ඔවුන්ගේ පූජාසන වනසා ශිලාස්තම්භ කුඩු කොට, අෂේරා නම් ශුද්ධස්ථාන සිඳ හෙළිය යුතු යි.
14“නුඹ අන් දෙවියෙකුට නමස්කාර නොකළ යුතු ය. මන්ද, සමිඳාණන් වහන්සේ වන මාගේ නාමය, ‘ප්‍රතිවාදීන් නොඉවසන උතුමාණෝ’ යනු බැවින් මම ප්‍රතිවාදීන් නොඉවසන දෙවි කෙනෙකි. 15එබැවින් නුඹ දේශයේ වැසියන් සමඟ ගිවිසුමක් නොකළ යුතු ය. මන්ද, ඔවුන් මට අවිශ්වාසවන්ත වී අන් දෙවිවරුන් වැළඳගෙන පුද පූජා ඔප්පු කරන බැවින්, නුඹ ද කැඳවූ කල, නුඹත් ඒ පිදේනිවලින් කන්න පුළුවන. 16ඇරත් නුඹේ පුතුන්ට ඔවුන්ගේ දූවරුන් පාවා දී, ඔවුන්ගේ දූවරුන් මට අවිශ්වාසවන්ත වී අන් දෙවිවරුන් වැළඳගන්න කල නුඹලාගේ පුතුන් ද මට අවිශ්වාසවන්ත වී අන් දෙවිවරුන් වැළඳගන්න පුළුවන.
17 #
නික්ම 20:4; ලෙවී 19:4; ද්වි.නී. 5:8; 27:15 “වාත්තු කළ දෙව් පිළිම සාදා නොගත යුතු ය.
18 #
නික්ම 12:14-20; ලෙවී 23:6-8; ගණන් 28:16-25 “නුඹ නුමුහුන් පූප මංගල්‍යය පැවැත්විය යුතු ය. මා නුඹට අණ කළ පරිදි ආබිබ් නම් මාසයේ දී දින හතක් නුමුහුන් පූප අනුභව කළ යුතු ය. මන්ද, නුඹ මිසර දේශයෙන් පිටත ආවේ ඒ මාසයේ ය. 19#නික්ම 13:2සියලු කුලුඳුලෝ මට අයිති වෙති. නුඹේ ගොවිපළේ ගවයන්ගේ හෝ බැටළුවන්ගේ හෝ සෑම කුලුඳුල් පිරිමි සතෙක් ම මට අයිති වේ. 20#නික්ම 13:13කුලුඳුල් කොටළුවෙකු වෙනුවට බැටළු පැටවෙකු දී ඌ මුදාගත යුතු ය. නුඹ ඌ මුදා නොගන්නෙහි නම්, උගේ බෙල්ල කැඩිය යුතු ය. තවද, සියලු ම කුලුඳුල් පිරිමි දරුවන් නුඹ මුදාගත යුතු ය. කිසිවෙකු හිස් අතින් මා ඉදිරියට නො ආ යුතු ය.
21 #
නික්ම 20:9-10; 23:12; 31:15; 35:2; ලෙවී 23:3; ද්වි.නී. 5:13-14 “දවස් හයක් නුඹ වැඩ කර, හත් වන දවසේ නිවාඩු ගත යුතු ය. සීසාන කාලයේ හෝ අස්වැන්න නෙළන කාලයේ හෝ වුවද එදින නිවාඩු ගත යුතු ය.
22 #
ලෙවී 23:15-21,39-43; ගණන් 28:26-31 “තවද නුඹ සති මංගල්‍යය ද තිරිඟු අස්වැන්නේ නාඹුල් පල මංගල්‍යය ද අවුරුද්ද අවසානයේ දී පලතුරු රැස් කිරීමේ මංගල්‍යය ද පැවැත්විය යුතු ය.
23“අවුරුද්දකට තුන් වරක් නුඹේ සියලු පිරිමින්, ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ වන මා ඉදිරියෙහි පෙනී සිටිය යුතු ය. 24නුඹේ රටට නුඹ ඇතුළු වන්නට කල් තියා, මම ජාතීන් නෙරපාදැමූ පසු නුඹේ දේශ සීමා විශාල කරන්නෙමි. අවුරුද්දකට තෙවරක් නුඹේ දෙවි සමිඳාණන් වහන්සේ වන මා ඉදිරියෙහි පෙනී සිටින්න යන විට කිසිවෙක් නුඹේ දේශය යටත් කරගන්න උත්සාහ නොකරන්නෝ ය.
25 #
නික්ම 12:10
“නුඹ මට පුද කරන යාගයේ ලෙය මුහුන් සමඟ ඔප්පු නොකළ යුතු ය. තවද පාස්කු මංගල්‍යයේ යාගය ද උදය දක්වා නොතැබිය යුතු ය.
26 #
ද්වි.නී. 14:21; 26:2 “නුඹේ කෙත්වලින් ඉස්තරම් නාඹුල් පල නුඹේ දෙවි සමිඳාණන් වහන්සේ වන මාගේ ගෘහයට ගෙනා යුතු ය.
“තවද එළු පැටියෙකු උගේ මවගේ කිරෙහි නොපිසිය යුතු ය.”
27නැවතත් සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට,
“නුඹ මේ වචන ලියාගන්න. මන්ද, මේ වචන අනුව මා නුඹ සමඟ ද ඉශ්රායෙල්වරුන් සමඟ ද ගිවිසුමක් පිහිටුවන හෙයිනි”යි වදාළ සේක. 28මෝසෙස් ද කන්ද මත සමිඳාණන් වහන්සේ සමඟ දාවල් හතළිහක් හා රාත්‍රි හතළිහක් කිසිවක් නොකා නොබී සිටියේ ය. ඔහු ගිවිසුමේ වචන වන දස පනත ගල් පුවරුවල සටහන් කෙළේ ය.
මෝසෙස් කන්දෙන් බැස ඒම
29 #
2 කොරි 3:7-16
මෝසෙස් සාක්ෂි ගල් පුවරු දෙක තම අතේ තබාගෙන කන්දෙන් බැස්සේ ය. එහෙත්, සමිඳාණන් වහන්සේ සමඟ කතා කිරීම නිසා තම මුහුණ බැබළෙමින් තිබුණ බව ඔහු කන්දෙන් බැස එන කල නොදැන සිටියේ ය. 30ආරොන් සහ සියලු ඉශ්රායෙල් ජනයා මෝසෙස් දුටු විට, පුදුමයකි! ඔහුගේ මුහුණ බැබළෙමින් තිබිණි. ඔව්හු ඔහු ළඟට එන්නට බිය වූ හ. 31එහෙත්, මෝසෙස් ඔවුන් කැඳවූ කල ආරොන් සහ ප්‍රජා මූලිකයන් සියලු දෙන, ඔහු වෙත හැරී ආ විට ඔහු ඔවුන් සමඟ කතා කෙළේ ය. 32ඉන්පසු මුළු ඉශ්රායෙල් සෙනඟ ම ඔහු වෙත ළඟා වූයෙන් ඔහු සමිඳාණන් වහන්සේ ඔහුට සීනයි කන්දේ දී වදාළ ආඥා සියල්ල ඔවුන්ට දුන්නේ ය. 33මෝසෙස් ඔවුන් සමඟ කතා කොට නිම වූ පසු තම මුහුණ වැස්මකින් වසාගත්තේ ය. 34එහෙත්, ඔහු සමිඳාණන් වහන්සේ සමඟ කතා කිරීමට උන් වහන්සේගේ අභිමුඛයට ප්‍රවේශ වූ විට, ඉන් පිටත එන තෙක් ඒ වැස්ම ඉවත් කොට තැබී ය. ඔහු පිටතට පැමිණ තමාට අණ කළ සියල්ල ඉශ්රායෙල් සෙනඟට දැන්විය. 35ඉශ්රායෙල් සෙනඟ මෝසෙස්ගේ මුහුණ දෙස බැලූ කල ඔහුගේ මුහුණ බැබළෙමින් තිබුණ බව දුටහ. ඔහු සමිඳාණන් වහන්සේ සමඟ කතා කරන්න ආපසු යන තෙක් තම මුහුණ වැස්මෙන් වසාගත්තේ ය.