නික්මයාම 33

33
නික්ම යාමට අණ දීම
1 # උත් 12:7; 26:3; 28:13 සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “නුඹත්, නුඹ මිසර දේශයෙන් පිටතට ගෙනා සෙනඟත් මෙම ස්ථානයෙන් නික්ම, ‘මම නුඹලාගේ පෙළපතට දෙමි’යි කියා ආබ්‍රහම්ට, ඊසාක්ට හා ජාකොබ්ට දිවුරා පොරොන්දු වූ දේශයට යන්න. 2ඔබට පෙරටුව මම දූතයෙකු යවමි. තවද, මම කානානිවරුන්, අමෝරිවරුන්, හිත්තීවරුන්, පෙරිස්සිවරුන්, හිවීවරුන් සහ ජෙබුසිවරුන් පන්නාදමමි. 3කිරෙන් සහ මී පැණියෙන් ඉතිරෙන දේශයට යන්න. එහෙත්, නුඹ සමඟ මම නොයමි. මන්ද, නුඹලා උඩඟු මුරණ්ඩු සෙනඟක් බැවින් මා අතරමඟ දී නුඹලා වනසාලන්නට පිළිවනැ”යි වදාළ සේක. 4සෙනඟ ද මේ අසුබ ආරංචිය ඇසූ විට වැලපෙන්නට වූ හ. කිසිවෙක් තම කනකර පැළඳ නොගත්හ.
5උන් වහන්සේ මෝසෙස් අමතා, “නුඹලා උඩඟු මුරණ්ඩු සෙනඟකි. මම මොහොතකට වත් නුඹලා අතරට පැමිණියොත් නුඹලා වනසාලමි. එබැවින් දැන් නුඹලාගේ කනකර ආභරණ ගලවා දමන්න. එවිට නුඹලාට කුමක් කළ යුතු ද කියා මම දන්නෙමි’යි ඉශ්රායෙල් ජනයාට කියන්නැ”යි වදාරා තිබිණි. 6ඉශ්රායෙල් ජනයා ද හොරෙබ් කන්දේ සිට ඉදිරියට තම කනකර ආභරණ ගලවාගෙන ගියහ.
7මෝසෙස් මණ්ඩපය රැගෙන කඳවුරෙන් පිටත, ඊට ඈතින් එය පිහිටුවීමට පුරුදු ව සිටියේ ය. ඔහු එයට සම්මුඛ මණ්ඩපය කියා නම් කෙළේ ය. සමිඳාණන් වහන්සේගේ උපදෙස් ලබාගැනීමට ඕනෑ වූ සෑම කෙනෙකු ම කඳවුරින් පිටත වූ සම්මුඛ මණ්ඩපයට යා යුතු විය. 8තවද, මෝසෙස් සම්මුඛ මණ්ඩපයට ඇතුළු වන පිණිස පිටතට ගිය කල, සියල්ලෝ ම නැඟිට තම තමන්ගේ කූඩාරම් දොරටු ළඟ සිටගෙන ඔහු සම්මුඛ මණ්ඩපයට ඇතුළු වන තෙක් ඔහු දෙස බලා සිටියහ. 9මෝසෙස් සම්මුඛ මණ්ඩපයට ඇතුළු වූ විට ම වලා ටැඹ බැස, එහි දොරටුව ළඟ සිටගති. සමිඳාණන් වහන්සේ මෝසෙස් සමඟ කතා කළ සේක. 10සියලු සෙනඟ සම්මුඛ මණ්ඩපයේ දොර ළඟ වූ වලා ටැඹ දුටු විට ඔව්හු නැඟිට තම තමන්ගේ කූඩාරම් දොරටු අසල සිටගෙන නමස්කාර කළහ. 11යමෙකු තම මිතුරා හා සමඟ කතා කරනු මෙන් සමිඳාණන් වහන්සේ මෝසෙස් සමඟ මුහුණට මුහුණ ලා කතා කළ සේක. ඉන්පසු ඔහු කඳවුරට එන්නට ආපසු හැරුණ නමුත් ඔහුගේ තරුණ සේවක නූන්ගේ පුත්, ජෝෂුවා සම්මුඛ මණ්ඩපයෙන් නික්ම නොගියේ ය.
මෝසෙස්ගේ ආයාචනය
12මෝසෙස් සමිඳාණන් වහන්සේ අමතා, “බැලුව මැනව, ‘මේ සෙනඟ ගෙන යන්නැ’යි ඔබ මට කියන නමුත් මා සමඟ යවන්නේ කවරෙක් ද කියා ඔබ මට නොදැන්වූ සේක. තවද, ‘මම නුඹ හොඳින් හඳුනමි. මා ඉදිරියෙහි නුඹ ද අනුග්‍රහය ලැබුවෙහි ය’යි කියා ඇත. 13දැන් ඉතින් කරුණාකර, ඔබ ඉදිරියෙහි මම අනුග්‍රහය ලැබුවෙම් නම්, මා ඔබ හොඳින් දැනහැඳිනගෙන, ඔබේ අනුග්‍රහය නොකඩවා ලබන පරිදි ඔබේ සැලසුම් දැන් මට පෙන්වුව මැනව. මේ ජාතිය ද ඔබේ ම සෙනඟ බව සිහි කළ මැනව”යි කී ය. 14උන් වහන්සේ කතා කොට, “මම නුඹ සමඟ ගොස්, නුඹට යෙහෙන් විසීමට ඉඩ දෙන්නෙමි”යි වදාළ සේක. 15එවිට ඔහු උන් වහන්සේ අමතමින්, “ඔබ අප සමඟ නොඑන සේක් නම්, මෙතැනින් නික්ම යාමට අපට ඉඩ නොහැරිය මැනව. 16ඔබේ සෙනඟත්, මමත් ඔබ ඉදිරියෙහි අනුග්‍රහය ලැබූ බව අපි කෙසේ දැනගනිමු ද? එය අප දැනගන්නේ ඔබ අප සමඟ යෑමෙන් නො වේ ද? එවිට ඔබේ සෙනඟත්, මමත් මිහි පිට සිටින සියලු සෙනඟට වඩා වරප්‍රසාද ලත් අය වන්නෙමු”යි කීවේ ය. 17උන් වහන්සේ ද මෝසෙස්ට පිළිතුරු දෙමින්, “නුඹ ඉල්ලන මේ දේ ද මම ඉටු කරමි. මන්ද, මා ඉදිරියෙහි නුඹ අනුග්‍රහය ලැබුවෙහි ය. මම නුඹ හොඳින් හඳුනමි”යි වදාළ සේක.
මෝසෙස් කන්ද මත සිටීම
18මෝසෙස් සමිඳාණන් වහන්සේට කතා කොට, “ඔබේ මහිමාලංකාරය කරුණාකර මට පෙන්නුව මැනව”යි ඉල්ලී ය. 19#රෝම 9:15උන් වහන්සේ එවිට පිළිතුරු දෙමින්, “මම මාගේ ශෝභනාලංකාරය නුඹට පෙරටුව යන්නට සලස්වමි. මම නුඹ ඉදිරියෙහි ‘සමිඳාණන් වහන්සේ’ වන මාගේ නාමය ප්‍රකාශ කරන්නෙමි. කරුණාව පෑමට මා කැමැති තැනැත්තාට මම කරුණාව පාමි, දයාව පෑමට කැමැති තැනැත්තාට මම දයාව පාමි”යි වදාළ සේක. 20නැවතත් උන් වහන්සේ කතා කොට, “මාගේ මුහුණ දකින්න නුඹට නුපුළුවන, මනුෂ්‍යයකුට මා දැක ජීවත්විය නොහැකි ය”යි වදාළ සේක. 21උන් වහන්සේ තවදුරටත් කතා කරමින්, “මා සමීපයෙහි පර්වතයක් ඇත. නුඹට එය මත සිටගත හැකි ය. 22මාගේ මහිමාලංකාරය නුඹ පසු කර යන විට මම නුඹ කඳු විවරයක පිහිටුවා, නුඹ පසු කර යන තෙක්, මම නුඹ අතින් වසාලන්නෙමි. 23මා අත ඉවතට ගත් විට, නුඹ මාගේ පිටුපස දකින්නෙහි ය. එහෙත්, මාගේ මුහුණ නුඹ නොදකිනු ඇතැ”යි වදාළ සේක.

하이라이트

복사

비교

공유

None

모든 기기에 하이라이트를 저장하고 싶으신가요? 회원가입 혹은 로그인하세요

නික්මයාම 33 동영상