යොහන් 3
3
නැවත ඉපදීම
1යුදෙව් පාලකයකු වූ නිකදේමුස් නම් පරිසිවර මනුෂ්‍යයෙක් සිටියේ ය; 2ඔහු යේසුස්වහන්සේ වෙත රෑ පැමිණ, “රබ්බී, ඔබතුමා දෙවියන්වහන්සේ වෙතින් පැමිණි ගුරුවරයකු වග අප දන්නවා. මන්ද තමන් සමඟ දෙවියන්වහන්සේ නො සිටින කෙනකුට ඔබ දක්වන මේ ලකුණු කරන්නට බැරි යැ” යි කීවේ ය.
3යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “සැබවින් ම, සැබවින් ම මා ඔබට කියන්නේ, නැවත නූපදින කිසි කෙනකුට දෙවියන්වහන්සේගේ රාජ්‍යය දකින්නට නො හැකි බවයි” කී සේක.
4“මිනිසකු මහලු වූ පසු, යළි උපදින්නට පුළුවන් කොහොම ද? නැවත වරක් මවු කුසට ඇතුළු ව උපදින්නට ඔහුට පුළුවන් දැ” යි නිකදේමුස් උන්වහන්සේගෙන් ඇසී ය.
5යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “සැබවින් ම, සැබවින් ම මා ඔබට කියන්නේ, කෙනකු වතුරින් හා ආත්මයාණන්ගෙන් උපන්නොත් මිස, ඔහුට දෙවියන්වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වීමට නො හැකියි. 6මාංසයෙන් උපදින දේ මාංසිකයි; ආත්මයාණන්ගෙන් උපදින දේ ආත්මිකයි. 7‘ඔබ නැවත උපදින්නට ඕනෑ’ යි මා කීවාට පුදුම නො වන්න. 8සුළඟ එය කැමති අත හමයි; එහි හඬ ඔබට ඇසෙයි; එහෙත් එය කොහි සිට එනවා ද? කොතැනක යනවාදැයි ඔබ දන්නේ නැත. ආත්මයාණන්ගෙන් ඉපැදුණු හැම කෙනකු ම අන්න ඒ වගේ යැ” යි කී සේක.
9“ඒක වෙන්නේ කොහොම දැ?” යි නිකදේමුස් ඇසුවේ ය.
10යේසුස්වහන්සේ ඔහුට පිළිතුරු දෙමින්, මෙසේ පැවසූ සේක, “ඉශ්‍රායෙල් ගුරුවරයා ඔබයි; ඒත් ඔබට ඒවා වැටහෙන්නේ නැති ද? 11සැබවින් ම, සැබවින් ම මා ඔබට කියන්නේ, අප පවසන්නේ දන්නා දේයි. සාක්ෂි දරන්නේ අප දුටු දේයි. එහෙත් අපගේ සාක්ෂිය ඔබ පිළිගන්නේ නැත. 12මා පොළොවේ දේවල් ගැන කී විට, ඔබ ඒවා විශ්වාස කරන්නේ නැති නම්, ස්වර්ගීය දේ ගැන කීවොත්, විශ්වාස කරන්නේ කොහොම ද? 13ස්වර්ගයෙන් බැස්සා වූ තැනැත්තාණන් වන මනුෂ්‍ය පුත්‍රයාණන් මිස, කිසිවෙක් කිසි කලෙක ස්වර්ගයට නැගුණේ නැත; 14පාළුකරයේදී මෝසෙස් සර්පයා එසවූ ලෙස මනුෂ්‍ය පුත්‍රයාණන් ද ඔසවනු ලැබිය යුතු ව ඇත. 15ඒ, උන්වහන්සේ අදහා ගන්නා හැම කෙනකුට ම සදාතන ජීවනය අත්වන පිණිසයි.”
16මන්ද දෙවියන්වහන්සේ ලෝකයාට කෙතරම් ප්‍රේම කළ සේක් ද යත්, ස්වකීය එක ම පුතණුවන් දුන් සේක. ඒ, උන්වහන්සේ තුළ අදහා ගන්නා කවරකු වුවත් විනාශ නො වී, සදාතන ජීවනය ලබන පිණිස ය. 17දෙවියන්වහන්සේ ස්වකීය පුත්‍රයාණන් ලෝකයට එවුවේ, ලෝකයා වරදට පත් කරන්නට නො ව, උන්වහන්සේ මගින් ලෝකයා ගලවා ගන්නට ය. 18උන්වහන්සේ තුළ අදහා ගන්නා කිසිවකු දඬුවමට නියම කරනු ලබන්නේ නැත. එහෙත් අදහා නො ගන්න කවරකු වුව දැනටමත් දඬුවමට නියම ව සිටී; මන්ද ඔහු දෙවියන්වහන්සේගේ එක ම පුත්‍රයාණන්ගේ නාමය තුළ විශ්වාස නො කළ බැවිනි. 19තීන්දුව මෙයයි; ලෝකයට ආලෝකය පහළ වී ඇති නමුත්, මිනිසුන් තම ක්‍රියා කලාපය දුෂ්ට නිසා, ඔවුන් ප්‍රිය කරන්නේ ආලෝකයට වඩා අන්ධකාරයට ය. 20නපුර කරන හැම කෙනෙක් ම ආලෝකයට වෛර කරනවාත් හැර, තම ක්‍රියා කලාපය හෙළිවෙතැයි බියෙන් ආලෝකයට එන්නේ ද නැත. 21එහෙත් සත්‍යයෙහි පැවත ක්‍රියා කරන්නා, තමන් කරන දේ දෙවියන්වහන්සේගේ කැමැත්තට එකඟ ව කළ බව පෙනෙන පිණිස, ආලෝකය තුළට එන්නේ ය.
ඉහළින් එන තැනැත්තා
22මින් පසුව යේසුස්වහන්සේ හා උන්වහන්සේගේ ගෝලයෝ යූදා ගම් පළාතට ගියහ; උන්වහන්සේ ටික කලක් ඔවුන් සමඟ ගත කරමින්, බව්තීස්ම ද කළ සේක. 23සාලිම් අසල ඒනොන්හි බෙහෙවින් ජලය තිබූ බැවින් යොහන් ද තමන් වෙත ආ අය බව්තීස්ම කරමින් සිටියේ ය. 24ඒ, යොහන් සිරබාරයට පත් වන්නට කලිනි; 25යොහන්ගේ ගෝලයින් හා යුදෙව්වරයකු අතර පවිත්‍ර වීමේ චාරිත්‍රය පිළිබඳ වාදයක් පැන නැගිණි. 26ඔවුහු යොහන් අමතමින්, “රබ්බී, යොර්දානෙන් එතෙර ඔබ සමඟ සිටි, අර ඔබ සාක්ෂි දැරූ තැනැත්තාත් දැන් බව්තීස්ම කරයි; දැන් හැමෝම යන්නේ ඔහු වෙත යැ” යි කීවේ ය.
27යොහන් පිළිතුරු දෙමින්, මෙසේ පැවසී ය, “ස්වර්ගයෙන් දෙනු ලැබූ දෙයක් මිස අන් කිසිවක් ලබන්නට මනුෂ්‍යයකුට නුපුළුවන. 28‘මා ක්‍රිස්තුස්වහන්සේ නො ව, උන්වහන්සේට පෙරටුව එවනු ලැබූ තැනැත්තා යැ’ යි මා කී වගට ඔබට සාක්ෂි දැරිය හැකියි. 29මනාලිය අයිති මනාලයාටයි. මනාලයා ළඟ සිට ඔහුට සවන් දෙන මිත්‍රයාට මනාලයාගේ කටහඬ ඇසීමත් කිව නො හැකි තරම් ප්‍රීතියක්; එහෙයින් මගේ ඒ ප්‍රීතිය දැන් සම්පූර්ණ වී ඇත; 30උන්වහන්සේ වැඩි වෙන්නටත්, මා අඩු වෙන්නටත් ඕනෑ ය.”
31ඉහළින් එන තැනැත්තා හැමෝට ම වඩා උතුම් ය; පොළොවෙන් වන තැනැත්තා අයිති පොළොවටයි. ඔහු කතා කරන්නේ පොළොවේ කෙනකු වගෙයි. ස්වර්ගයෙන් එන තැනැත්තා සියල්ලන්ට වඩා උතුම් ය. 32උන්වහන්සේ සාක්ෂි දරන්නේ, තමන් ඇසූ දුටු දේ ගැනයි; එනමුත් කිසිවකු උන්වහන්සේගේ සාක්ෂිය පිළිගන්නේ නෑ. 33උන්වහන්සේගේ සාක්ෂිය පිළිගන්නා කවරකු වුව දෙවියන්වහන්සේ සත්‍යය ම බවට, තම මුද්‍රාව තබයි. 34දෙවියන්වහන්සේ එවූ තැනැත්තා පවසන්නේ, දෙවියන්වහන්සේගේ ම වචනයි. මන්ද දෙවියන්වහන්සේ ආත්මයාණන් ප්‍රදාන කරන්නේ සීමාවක් නැතිවයි. 35දෙවියන්වහන්සේ ස්වකීය පුත්‍රයාට ප්‍රේම කරන සේක්, හැම දෙයක් ම පුත්‍රයාණන් අතට දී තිබේ. 36පුත්‍රයාණන් අදහන්නාට සදාතන ජීවනය තිබෙයි. එහෙත් පුත්‍රයාණන්ට කීකරු නො වන්නාට ජීවනය දකින්නට නො ලැබෙයි. දෙවියන්වහන්සේගේ උදහස ඔහු මත රැඳී පවතී.
Valið núna:
යොහන් 3: SCV
Áherslumerki
Deildu
Afrita
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.