යොහන් 13
13
යේසුස්වහන්සේ ගෝලයින්ගේ පාද සේදීම
1ඒ, පාස්කු මංගල්‍යයට මදකට කලින් ය. මෙලොවින් බැහැර ව පියාණන්වහන්සේ වෙත යෑමේ තම පැය පැමිණ ඇති වග යේසුස්වහන්සේ දැනගත් සේක. මෙලොව සිටි ස්වකීයයන්ට ප්‍රේම කළ උන්වහන්සේ, අන්තිමය දක්වා ඔවුන්ට ප්‍රේම කළ සේක.
2රාත්‍රි භෝජනය අතරේ, උන්වහන්සේ පාවා දීමට සීමොන් ඉස්කාරියොත්ගේ පුත් යූදස්ගේ සිත යක්ෂයා විසින් ඒ වන විටත් පොලඹවා තිබිණි. 3පියාණන්වහන්සේ සියලු දේ තම අත්වලට දී ඇති වගත්, තමන් දෙවියන්වහන්සේ වෙතින් පැමිණි වගත්, දෙවියන්වහන්සේ වෙත ආපසු යන වගත් දත් යේසුස්වහන්සේ, 4භෝජනයෙන් නැගිට, උඩු කබාය ගලවා, තුවායක් ගෙන, එය තම ඉඟ දවටා, 5ඉන්පසු බඳුනකට ජලය වත්කර, තම ගෝලයින්ගේ පා සෝදමින්, ඉඟ බැඳි තුවායෙන් පිසදමන්නට වන් සේක.
6උන්වහන්සේ සීමොන් පේතෘස් වෙත ආ කල, “ස්වාමිනි, ඔබතුමා මගේත් පා සෝදනවා දැ?” යි ඔහු ඇසුවේ ය.
7යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “මා කරන දේ ඔබට දැන් නො වැටහුණත්, පසුව ඔබ වටහා ගනු ඇතැ” යි කී සේක.
8එවිට පේතෘස්, “කවදාවත් ඔබ මගේ පාද සෝදන්නේ නෑ” යි උන්වහන්සේට කීවේ ය.
යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “මා ඔබ නො සේදුවොත්, මා සමඟ පංගුකාරකමක් ඔබට නැතැ” යි කී සේක.
9“මගේ පා පමණක් නො වෙයි ස්වාමිනි, මගේ අත් හා හිසත් සෝදන්නැ” යි සීමොන් පේතෘස් කීවේ ය.
10යේසුස්වහන්සේ ඔහු අමතමින්, “නා ගත් කෙනකුට ඕනෑ කරන්නේ, පා සේදීම පමණයි; ඔහු මුළුමනින් පවිත්‍රයි; ඔබත් පවිත්‍රයි. එනමුත් ඔබ හැම කෙනෙක් ම නො වේ” යි කී සේක. 11මන්ද තමා පාවා දෙන්නා කවුරුදැයි උන්වහන්සේ දැන සිටි සේක. “ඔබ හැම කෙනෙක් ම පවිත්‍ර නැතැ” යි උන්වහන්සේ කීවේ එබැවිනි.
12ඔවුන්ගේ පා සේදූ පසු, උන්වහන්සේ තම කබාය යළි ඇඟ ලා, තම අසුනේ හිඳ, ඔවුන්ට මෙසේ පැවසූ සේක. “මා දැන් ඔබට කළ දේ කුමක් දැයි ඔබට වැටහෙනවා ද? 13ඔබ මා අමතන්නේ, ‘ගුරුතුමනි, ස්වාමිනි’ කියායි. එය නිවැරදියි; මන්ද මා එහෙමයි. 14ඔබේ ගුරුවරයාත්, ස්වාමියාත් වන මා ඔබේ පා සේදුවා නම්, ඔබත් එකිනෙකාගේ පා සේදිය යුතුයි. 15මා කළේ, මා කළ ලෙස ඔබත් කළ යුතු බවට ආදර්ශයක් දීමයි. 16සැබවින් ම, සැබවින් ම මා ඔබට කියන්නේ, දාසයා තම ස්වාමියාට වඩා උතුම් නො වේ; පණිවුඩකරුවෙක් ඔහු යැවූ තැනැත්තාට වඩා උතුම් නො වේ; 17දැන් ඔබ මේවා දන්නා නිසා, ඔබ ඒවා පිළිපදිනවා නම් ඔබ භාග්‍යවන්තයි.
පාවා දෙන්නේ කවුරු ද?
18“මා කතා කරන්නේ ඔබ හැම කෙනකු ගැන නො වෙයි. මා තෝරාගත් අය කවුරුදැයි මා දන්නවා. එනමුත් ‘මා හා එක පතේ කෑ තැනැත්තා මට ද්‍රෝහි වී යැ’#13:18 ගීතා 41;9 යි#13:18 ග්‍රීක් විලුඹ එසවී ය ලියා ඇති ශුද්ධ ලියවිල්ල සැබෑ විය යුතුයි.
19“සිදු වන්නට කලින් දැන් මා ඔබට කියන්නේ, එය සිදු වූ කල, උන්වහන්සේ මා වග ඔබ විශ්වාස කරන පිණිසයි. 20සැබවින් ම, සැබවින් ම මා ඔබට කියන්නේ, මවිසින් එවන කවරකු හෝ පිළිගන්නා, මා පිළිගනියි; මා පිළිගන්නා, මා එවූ තැනැන්වහන්සේ පිළිගනී යැ” යි පැවසූ සේක.
21එසේ පැවසූ පසු, යේසුස්වහන්සේ ආත්මයෙන් කැලඹී, “සැබවින් ම, සැබවින් ම මා ඔබට කියන්නේ, ඔබගෙන් කෙනෙක් මා පාවා දෙන්නේ යැ” යි පැවසූ සේක.
22උන්වහන්සේ කීවේ කවුරුන් ගැනදැයි සැකයෙන් ගෝලයෝ එකිනෙකා දෙස බලන්නට වූහ. 23ගෝලයන්ගෙන් කෙනකු වූ යේසුස්වහන්සේ ප්‍රේම කළ ගෝලයා මේසයෙහි උන්වහන්සේගේ ළයට ළං ව හේත්තු වී සිටියේ ය. 24සීමොන් පේතෘස් ඔහුට සංඥා කොට, උන්වහන්සේ අදහස් කළේ කවරකු ගැනදැයි අසන්නට කීවේ ය.
25එබැවින් ඔහු යේසුස්වහන්සේගේ ළයට හේත්තු වී, “ස්වාමිනි ඒ කවුරුන් දැ?” යි ඇසී ය.
26යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “මා මේ රොටි කැබැල්ල පොඟවා දෙන්නේ කවරකුට ද, ඒ ඔහු යැ” යි කියා, උන්වහන්සේ රොටි කැබැල්ල පොඟවා, සීමොන් ඉස්කාරියොත්ගේ පුත් යූදස්ට එය දුන් සේක. 27ඔහු රොටි කැබැල්ල ගත් විගස, සාතන් ඔහුට ඇතුළු විය.
එවිට යේසුස්වහන්සේ ඔහු අමතා, “ඔබ කරන්නට යන දේ විගසින් කරන්නැ” යි කී සේක. 28උන්වහන්සේ එසේ කීවේ මන්දැයි මේසයට හිඳ සිටි කිසිවකුත් දැන සිටියේ නැත. 29මුදල් පසුම්බිය බාර ව සිටියේ යූදස් බැවින්, මංගල්‍යය සඳහා යමක් මිලට ගැනීමට හෝ දිළිඳුන්ට යමක් දීමට හෝ යේසුස්වහන්සේ ඔහුට කියන්නට ඇතැයි සමහරු සිතූහ. 30රොටි කැබැල්ල ගත් විගස යූදස් පිටතට ගියේ ය. එය රාත්‍රිය විය.
අලුත් ආඥාවක්
31ඔහු ගිය පසු යේසුස්වහන්සේ කතා කොට, “දැන් මනුෂ්‍ය පුත්‍රයාණන් තේජසට පමුණු වන ලද්දේ ය; දෙවියන්වහන්සේ එතුමන් තුළ තේජසට පත් වූ සේක. 32එතුමන් තුළ දෙවියන්වහන්සේ තේජසට පැමිණි සේක් නම්, උන්වහන්සේ තමන් තුළ පුත්‍රයාණන් ද තේජසට පමුණු වන සේක; වහාම එතුමාණන් තේජසට පත් කරන සේක.
33“මගේ දරුවනි, තව ටික වේලාවක් මම ඔබ සමඟ සිටින්නෙමි. ඉන්පසු ඔබ මා සොයන නමුත්, මා යුදෙව්වරුන්ට කී ලෙස, දැන් ඔබටත් කියන්නේ, මා යන තැනට එන්නට ඔබට නුපුළුවන් බවයි.
34“අලුත් ආඥාවක් මම ඔබට දෙන්නෙමි. එකිනෙකාට ප්‍රේම කරන්න; මා ඔබට ප්‍රේම කළා සේ, ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න. 35එකිනෙකාට ඔබ ප්‍රේම කරන්නේ නම් එයින් ම, ඔබ මගේ ගෝලයින් වග සියලු දෙනා දැනගනු ඇතැ” යි පැවසූ සේක.
36“ස්වාමිනි, ඔබතුමා යන්නේ කොහේ දැ?” යි සීමොන් පේතෘස් ඇසී ය.
යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “මා යන තැනට මා අනුව ඒමට දැන් ම ඔබට බැරි ය. එහෙත් පසුව ඔබ එනු ඇතැ” යි කී සේක.
37පේතෘස් උන්වහන්සේ යළි අමතමින්, “ස්වාමිනි, දැන් ම ඔබ අනුව එන්නට මට බැරි ඇයි? ඔබ උදෙසා මා ජීවිතය වුවත් දෙනවා” යි කීවේ ය.
38යේසුස්වහන්සේ එවිට, “මා උදෙසා ඔබේ ජීවිතය දෙනවා ද? සැබවින් ම, සැබවින් ම මා ඔබට කියන්නේ, කුකුළා හඬලන්නට පළමු මා හඳුනන්නේ නැතැයි ඔබ තුන් වතාවක් ම කියනු ඇත කියා” යි කී සේක.
Valið núna:
යොහන් 13: SCV
Áherslumerki
Deildu
Afrita
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.