Àmì Ìdánimọ̀ Ohun-èlò Bíbélì
Ṣe Àwárí

රෝම 1

1
1ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ දාසයකු වූ, අපෝස්තුලුවරයකු වීමට කැඳවීම ලැබූ, දෙවියන්වහන්සේගේ ශුභාරංචියට වෙන් කරන ලද පාවුල් වෙතිනි. 2කල් ඇති ව උන්වහන්සේ තම දිවැසිවරුන් මගින් ශුද්ධ ලියවිලි තුළින් පොරොන්දු වූ මෙම ශුභාරංචිය, 3උන්වහන්සේගේ පුත්‍රයාණන් පිළිබඳව ය. මාංසාකාරයෙන් දාවිත්ගෙන් පැවත ආ මෙතුමාණෝ, 4ශුද්ධත්වයේ ආත්මයාණන් මගින්, මළවුන්ගෙන් නැගිටීම තුළින්, දේව පුත්‍රයාණන් බවට බලයෙන් යුක්ත ව ප්‍රකාශ කරනු ලැබූ යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේ ය. 5උන්වහන්සේ තුළින් අනුග්‍රහයත්, අපෝස්තලික තනතුරත් අප ලබා ඇත්තේ, සියලු ජාතීන් අතරෙහි උන්වහන්සේගේ නාමය උදෙසා ඇදහිල්ලේ කීකරුකමට පැමිණවීම පිණිස ය. 6යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ එම කැඳවීම ලද්දවුන්ට ඔබත් ඇතුළත් ය.
7දෙවියන්වහන්සේ විසින් ප්‍රේම කරනු ලබන, ශුද්ධවන්තයින් වීමට කැඳවීම ලැබූ, රෝමයේ වෙසෙන සියලු දෙනා වෙතයි:
අපගේ පියාණන් වූ දෙවියන්වහන්සේගෙන් හා යේසුස් ක්‍රිස්තුස් ස්වාමින්වහන්සේගෙන් ඔබට අනුග්‍රහයත්, සාමයත් අත් වේවා!
රෝමයට යෑමේ ආශාව
8පළමු කොට, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මගින් ඔබ හැම ගැන මගේ දෙවියන්වහන්සේට මා ස්තුති කරන්නේ, ඔබගේ ඇදහිල්ල මුළු ලෝකයේ ම ප්‍රසිද්ධ ව ඇති බැවිනි. 9මා නොකඩව ඔබ සිහි කරන වගට මගේ සාක්ෂිය, උන්වහන්සේගේ පුත්‍රයාණන්ගේ ශුභාරංචිය තුළ මගේ ආත්මයෙන් මා සේවය කරන දෙවියන්වහන්සේ ය. 10හැම විට මගේ යාච්ඤාවලදී මා ඉල්ලා සිටින්නේ, දෙවියන්වහන්සේගේ කැමැත්තෙන් ඔබ හමුවට ඒම දැන්වත් සඵල වන ලෙසට ය.
11මා ඔබ දැකීමේ ආශාවෙන් පසුවන්නේ, ඔබ ශක්තිමත් කෙරෙන පිණිස, ඔබට යම් ආත්මික ත්‍යාගයක් දීමටයි. 12එනම් ඔබේත්, මගේත් අප එකිනෙකාගේ ඇදහිල්ලෙන් අන්‍යෝන්‍ය වශයෙන් අප ධෛර්යවත් වන පිණිස ය. 13සහෝදරයිනි, අන් ජාතීන් අතරේ මා ලැබූ ලෙස, ඔබ අතරදී ද යම් අස්වැන්නක් ලබන්නට, ඔබ වෙත එන්නට මා කීප විටක් සැලසුම් කළ නමුදු, මේ වන තෙක් ම එය වළක්වනු ලැබූ වග ඔබ නො දැන සිටිනවාට නො කැමැත්තෙමි.
14ග්‍රීකයින්ට හා ග්‍රීක නො වන අන්‍යයන්ට ද උගතුන්ට හා නූගතුන්ට ද වගකීමක මම බැඳී සිටිමි. 15රෝමවාසී ඔබට ද ශුභාරංචිය දේශනා කරන්නට මා පුල පුලා බලා සිටින්නේ එබැවිනි.
16මන්ද ශුභාරංචිය ගැන මා ලජ්ජා වන්නේ නැත. මන්ද පළමු කොට යුදෙව්වාට ද එසේ ම ග්‍රීකයාට ද යන අදහන්නා වූ සියල්ලන්ට ගැලවීම සඳහා දෙවියන්වහන්සේගේ බලය එය බැවිනි. 17එය තුළ දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම, පටන් ගැන්මේ සිට අවසානය දක්වා ඇදහීමෙන් වන ආකාරයට එළිදරවු කරනු ලැබ ඇත්තේ, “ධර්මිෂ්ඨයා ඇදහිල්ලෙන් ජීවත් වේ යැ”#1:17 හබක් 2:4 යි ලියා තිබෙන පරිදි ය.
පාපයට එරෙහි දෙවියන්වහන්සේගේ උදහස
18තම අධර්මිෂ්ඨකම්වලින් සත්‍යය යටපත් කරන මිනිසුන්ගේ සියලු අභක්තියට හා අධර්මිෂ්ඨකම්වලට එරෙහිව දෙවියන්වහන්සේගේ උදහස ස්වර්ගයෙන් එළිදරවු වෙමින් තිබේ. 19දෙවියන්වහන්සේ ගැන දැනගත හැකි දෑ, ඔවුන් තුළ පැහැදිලි ව පෙනෙන්නට තිබේ. මන්ද දෙවියන්වහන්සේ ඔවුන්ට ඒවා ප්‍රකාශ කළ සේක. 20මන්ද උන්වහන්සේගේ අදෘශ්‍යමාන ගති-ලක්ෂණ වන උන්වහන්සේගේ සදාතනික බලය හා දිව්‍ය ස්වභාව, ලොව මැවූ තැන් පටන් ඒ මැවිලිවලින් ම වටහා ගත හැකි සේ, සැමට පැහැදිලි ව තේරුම් යන බැවින් නිදහසට කියන්න කරුණක් ඔවුනට නැත.
21මන්ද ඔවුන් දෙවියන්වහන්සේ දැන දැනත්, දෙවියන්වහන්සේට මෙන් උන්වහන්සේට ගෞරව දැක්වූයේ නැත; උන්වහන්සේට ස්තුති කළේ ද නැත. එබැවින් ඔවුන්ගේ මත වාද වැඩකට නැති වී, ඔවුන්ගේ නිස්සාර හදවත් අඳුරු කරනු ලැබ ඇත. 22තමන් පණ්ඩිතයින් යයි ඔවුන් කියා ගත්ත ද, ඔවුහු මෝඩ රැළක් බවට පත් ව, 23අජරාමර දෙවියන්වහන්සේගේ තේජෝ මහිමය, දිරා ජරාවට යන මිනිසුන්ගේ, පක්ෂීන්, සිවුපාවුන් හා උරගයින්ගේ ද පිළිරූවලට මාරු කර ගත්හ.
24එබැවින් ඔවුන්ගේ හදවත්හි තෘෂ්ණාවල දූෂ්‍යතාවට, එකිනෙකා අතර තමන්ගේ ම සිරුරු අවමන් කර ගැනීමට, දෙවියන්වහන්සේ ඔවුන් අත් හළ සේක. 25මන්ද ඔවුන් දෙවියන්වහන්සේ පිළිබඳ සත්‍යය වෙනුවට මිථ්‍යාවක් මාරු කර ගෙන, මැවුම්කරුවාණන්ට වඩා මැවිල්ලට වන්දනා ද මෙහෙවර ද කළ නිසා ය. උන්වහන්සේ සදහට ම ප්‍රශංසනීය ය; ආමෙන්.
26දෙවියන්වහන්සේ මේ හේතුව නිසා, නින්දිත ලිංගික ආශාවන්ට ඔවුන් අත්හැරිය සේක. ඔවුන්ගේ ස්ත්‍රීහු ස්වාභාවික සබඳතා, සොබා දහමට පටහැනි සේවනයට මාරු කර ගත්හ. 27එපරිදි ම පුරුෂයෝ, ස්ත්‍රීන් සමඟ වූ ස්වාභාවික සබඳතා අතහැර, එකිනෙකා සමඟ කාම දාහයෙන් දැවෙන්නට වන්හ. පිරිමි, පිරිමින් සමඟ නිර්ලජ්ජිත ක්‍රියාවල යෙදී, තම දුරාචාරයනට සරිලන දඬුවම තමන් තුළෙහි ම ලදහ.
28තවද දෙවියන්වහන්සේ තම අවබෝධයෙහි රඳවා ගැනීම වටනේයයි ඔවුන් නො සිතූ බැවින්, නො කළ යුතු දෑ කරන පිණිස, නීච මනසකට දෙවියන්වහන්සේ ඔවුන් අත් හළ සේක. 29සියලු ආකාර අධර්මිෂ්ඨකමින්, දුෂ්ටකමින්, තණ්හාවෙන් හා ද්වේෂයෙන් පුරවනු ලැබ සිටින ඔවුහු, ඊර්ෂ්‍යාවෙන්, මිනී මැරීමෙන්, කලහයෙන්, වංචාවෙන් හා ක්‍රෝධයෙන් පිරී සිටිති. ඔවුහු ඕපාදූප පතුරන්නෝ ය; 30අවලාද නගන්නෝ ය; දෙවියන්වහන්සේට වෛර කරන්නෝ ය; අහංකාරීහු ය; මාන්නාධිකයෝ ය; පුරසාරම් දොඩන්නෝ ය; දුෂ්ට උගුල් අටවන්නෝ ය; මව් පියන්ට අකීකරුවන්නෝ ය; 31ඔවුහු බුද්ධිය නැත්තෝ ය; පොරොන්දු කඩ කරන තැනැත්තෝ ය, සිත්-පිත් නැත්තෝ ය, දයාව නැත්තෝ ය. 32මෙබඳු දේ කරන්නෝ මරණයට සුදුස්සෝ ය යනුවෙන් වූ දෙවියන්වහන්සේගේ නියමය දැන දැනත්, ඔවුහු එබඳු දේ ම කරනවා පමණක් නො ව, එසේ කරන්නන්ට අනුබල ද දෙති.

Àwon tá yàn lọ́wọ́lọ́wọ́ báyìí:

රෝම 1: SCV

Ìsàmì-sí

Daako

Ṣe Àfiwé

Pín

None

Ṣé o fẹ́ fi àwọn ohun pàtàkì pamọ́ sórí gbogbo àwọn ẹ̀rọ rẹ? Wọlé pẹ̀lú àkántì tuntun tàbí wọlé pẹ̀lú àkántì tí tẹ́lẹ̀