Àmì Ìdánimọ̀ Ohun-èlò Bíbélì
Ṣe Àwárí

ශුද්ධවර මතෙව් 2

2
ශාස්ත්‍රවන්තයන්ගේ පැමිණීම
1හෙරොද් රජු දවස ජුදයේ බෙත්ලෙහෙමෙහි ජේසුස් වහන්සේ උපන් කල, පෙරදිගින් ශාස්ත්‍රවන්තයෝ ජෙරුසලමට අවුත්, 2“ජුදෙව්වරුන්ට රජ ව උපන් උතුමාණෝ කොතැන්හි ද? අපි එතුමාණන්ගේ තාරකාව පෙරදිග දී දැක, එතුමාණන්ට නමස්කාර කරන පිණිස ආවෙමු”යි කී හ.
3එපවත් ඇසූ හෙරොද් රජ ද මුළු ජෙරුසලම් ජනතාව ද කැළඹුණාහ. 4එකල ඔහු සෙනඟගේ සියලු නායක පූජකයන් ද විනයධරයන් ද රැස් කරවා, “ක්‍රිස්තුන් වහන්සේ කොතැන්හි උපදින සේක් දැ”යි ඔවුන්ගෙන් විචාළේ ය. 5ඔව්හු කතා කොට, “ජුදයේ බෙත්ලෙහෙමෙහි ය; ඒ ගැන දිවැසිවරයා මෙසේ ලියා තිබේ;
6 # මීකා 5:2 ‘එම්බා, ජුදා දේශයේ බෙත්ලෙහෙම!
තී ජුදාගේ භූපතීන් අතර කිසි සේත් අල්ප නොවන්නී ය.
මන්ද;
මාගේ ඉශ්රායෙල් සෙනඟ පාලනය කරන මූලිකයෙකු තී කෙරෙන් නික්මෙනු ඇතැ’ “යි
ඔහුට කී හ.
7එකල හෙරොද් ශාස්ත්‍රවන්තයන් රහසින් කැඳවා, තාරකාව පෙනුණු වේලාව ඔවුන්ගෙන් හොඳින් දැනගෙන, 8“ඔබ ගොස් ඒ ළදරුවා ගැන හරි ලෙස විමසන්න; ඔබ විමසා සොයාගත් පසු, මාත් ගොස් උන් වහන්සේට නමස්කාර කරනු පිණිස මටත් දන්වන්න” කියා, ඔවුන් බෙත්ලෙහෙමට යැවී ය. 9රජුගේ බස් අසා ඔව්හු පිටත් ව ගියහ. පෙරදිග දී ඔවුන් දුටු තාරකාව, ළදරුවා සිටි තැනට අවුත් ඉහළින් නවතින තුරු, ඔවුන්ට පෙරටුවෙන් ගියේ ය. 10තාරකාව දැක ඔව්හු අතිශයින් ප්‍රීති ප්‍රමෝද වූ හ. 11ඔව්හු ගෙට පිවිස, ළදරුවා සිය මව වූ මරිය තුමී හා සමඟ සිටිනු දැක, පසඟ පිහිටුවා වැඳ, සිය කරඬු ඇර රන් ද, තුවරලා ද, ගන්ධරස ද යන පඬුරු උන් වහන්සේට පිදූ හ. 12තවද, හෙරොද් වෙත ආපසු නොයන ලෙස සිහිනයකින් දන්වනු ලැබූ ඔව්හු අන් මඟකින් සිය රට බලා ගියහ.
මිසරයට පලා යාම
13ඔවුන් ගිය පසු සමිඳාණන් වහන්සේගේ දූතයෙක් සිහිනයකින් ජෝසෙප්ට දර්ශනය වී, ඔහු අමතා, “නැඟිට ළදරුවා ද උන් වහන්සේගේ මෑණියන් ද රැගෙන මිසරයට ගොස්, මා දන්වන තුරු එහි නවතින්න. මන්ද, හෙරොද් රජ ළදරුවා මරාදැමීමට සොයති”යි කී ය. 14ඔහු රාත්‍රියෙහි නැඟිට ළදරුවා ද උන් වහන්සේගේ මෑණියන් ද රැගෙන මිසරයට ගොස්, 15#හොසි 11:1හෙරොද්ගේ මරණය දක්වා එහි සිටියේ ය. මෙසේ වූයේ,
“මිසරයෙන් මාගේ පුත්‍රයා කැඳවාගතිමි”යි කියා සමිඳාණන් වහන්සේ විසින් දිවැසිවරයා කරණකොටගෙන කියන ලද කීම ඉටු වනු පිණිස ය.
ළදරු ඝාතනය
16එකල හෙරොද් තෙමේ ශාස්ත්‍රවන්තයන් විසින් තමා රවටනු ලැබූ බව දැක, අතිශයින් උදහස් විය. එවිට ඔහු ශාස්ත්‍රවන්තයන්ගෙන් විමසා, හරියාකාර දැනගත් කාලය අනුව, දෑවුරුදු වයස් වූ ද, ඊට බාල වූ ද, බෙත්ලෙහෙම හා ඒ අවට මුළු පෙදෙසෙහි සිටි සියලු පිරිමි දරුවන් මරාදැමීමට අණ කෙළේ ය. 17එකල දිවැසිවර ජෙරමියා විසින් කියන ලද මේ කීම ඉටු විය:
18 # ජෙර 31:15 “හැඬීමේ ද දැඩි වැලපීමේ ද හඬක් රාමාහි ඇසිණි.
රාකෙල් ඇගේ දරුවන් ගැන අඬමින්, ඔවුන් නැති නිසා අස්වැසිල්ලක් ලැබීමට අකමැති වූවා ය.”
මිසරයෙන් හැරී ඒම
19හෙරොද් මියගිය පසු, සමිඳාණන් වහන්සේගේ දූතයෙක් මිසරයේ දී සිහිනයකින් ජෝසෙප්ට දර්ශනය වී, ඔහු අමතා, 20“නැඟිට ළදරුවා ද ඔහුගේ මෑණියන් ද රැගෙන ඉශ්රායෙල් දේශයට යන්න; ළදරුවාගේ ජීවිතය නසන්න තැත් කළ අය මළහ”යි කී ය. 21එවිට ඔහු නැඟිට ළදරුවා ද උන් වහන්සේගේ මෑණියන් ද රැගෙන ඉශ්රායෙල් දේශයට පැමිණියේ ය. 22එහෙත්, අර්කෙලාවුස් සිය පිය වූ හෙරොද් වෙනුවට ජුදා දේශයේ රජකම් කරන බව අසා, ඔහු එහි යන්න බිය ව, සිහිනයකින් දන්වනු ලැබ ගලීලයේ පෙදෙස්වලට ගොස්, 23#මාක් 1:24; ලූක් 2:39; ජොහ 1:45එහි නාසරෙත් නුවර විසී ය. මෙසේ වූයේ,
“උන් වහන්සේ නාසරීයයෙකැ”යි
දිවැසිවරයන් විසින් කියන ලද කීම ඉටු වන පිණිස ය.

Àwon tá yàn lọ́wọ́lọ́wọ́ báyìí:

ශුද්ධවර මතෙව් 2: NRSV

Ìsàmì-sí

Daako

Ṣe Àfiwé

Pín

None

Ṣé o fẹ́ fi àwọn ohun pàtàkì pamọ́ sórí gbogbo àwọn ẹ̀rọ rẹ? Wọlé pẹ̀lú àkántì tuntun tàbí wọlé pẹ̀lú àkántì tí tẹ́lẹ̀